අද රිදී තිරයට එන විජයබා කොල්ලය

අගෝස්තු 1, 2019

නීලමණී සඳහා තෝරා ගැනුණු සෙනාලි ෆොන්සේකා ඒ වන විට ටෙලි නාට්‍යයක රඟපා තිබුණාය. නයනානන්ද ගේ චරිතයට තෝරා ගැනුණේ යොවුන් පරපුරේ වඩාත් ආදරය දිනූ හේමාල් රණසිහංය. ගෞරවනීය පෙම්වතා අසංග ගේ චරිතයට සම්මානනීය නළු අශාන් ඩයස් තෝරා ගැනිණ. හමිදුම්මා වූයේ චුලක්ෂි රණසිංහය. ද ලසර්දා වූයේ හාන්ස් බිලිමෝරියා ය.

1505 වසරේ දී වෙනත් නාවික ගමනක් අතරතුර කුණාටුවකට හසුව මුහුදේ අතර මං වූ ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගාල නාවික පිරිස ලංකාවට ගොඩ බැස්සේ යන එන මං නැතිවූ කලක අහම්බයක් හැටියටය. 1948 වසරේ දී එකී පෘතුගීසි සමය පාදක කර ගෙන මෙරට චිත්‍රපටයක් තනන්නට පැමිණි ජුලියෝ පෙට්‍රෝනි නම් ඉතාලි සිනමාකරුවකු මෙරට අතරමං වූයේ තමන් මෙහි කැඳවූ විශ්ව රංග මුවිටෝන් සමාගම චිත්‍රපටය හදන්නටත් කලින් බංකොලොත් වූ හෙයින්ය. පෘතුගීසිකාරයෝ ආක්‍රමනිකයන් වුව මෙරටට ඇතැම් දෑ දායාද කළහ. ඉතාලි සිනමාකරුවෝ මෙරට රජයේ චිත්‍රපට අංශය ආරම්භ කොට විශ්ව කීර්තිධර වාර්තා චිත්‍රපට රැසක් මෙරටට තිළිණ කරන්නට මග පෑදුහ. පෘතුගීසින් කරුමයකට හෝ මේ රටම ආක්‍රමණය කළේ නම් අපේ ඉතිහාස කතාව සහමුලින් වෙනස් වන්නට ඉඩ තිබිණ. මේ ඉතාලි සිනමාකරුවන් හදන්නට ගිය චිත්‍රපටය හැදුවා නම් මෙරට සිනමා කතාව එහෙම් පිටින් වෙනස් වන්නට ඉඩ තිබිණ. ඉතාලි සිනමාකරු හදන්නට ගියේ විජයබා කොල්ලයයි. නිෂ්පාදකවරුන්ට අවශ්‍යව තිබුණේ ඉන්දියානුවන් අතින් නොව ඉතාලි නවරැල්ලේ ආස්වාදය ලැබූ සිනමාකරුවන් අතින් මේ මාහැඟි කෘතිය සිනමාවට ගෙන එන්නටය. විජයබා කොල්ලය ලියැවුණේ 1938 වසෙර්ය. ඒ මහ ගත්කරු ඩබ්ල්යු.ඒ.සිල්වා සූරීන් අතින්ය. විජයබා කොල්ලය සිනමාවට නැගීම එදා අවසන් වුවද ඒ සිහිනය අවසන් නොවීය. එම සිහිනය යුගයෙන් යුගයට අලුත් වන විජයබා කොල්ලය කියවන බොහෝ දෙනාගේ සිහිනයක් විය.

මෙරට ලේඛකයන් අතරින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් ග්‍රන්ථකරණයේ නියැළුණු ලේඛකයකු වන මහා ගත්කරු ඩබ්ල්යූ .ඒ. සිල්වා විසින් රචනාකරන ලද කෘතින් ඇතැම් ප්‍රජාවගේ විවේචනයට ලක් වුව ද මෙරට ජනතාව කියැවීමට පුරුදු කිරීමට එතුමන් අතින් වූ මෙහෙය කිසිසේත් අවතක්සේරු කළ නොහැකිය. එමෙන්ම කවර ප්‍රබන්ධයක වුව ඒ චරිත හා සිද්ධි ගොඩ නැගීමේ දී ගවේෂණය කරනු ලබන සියලු කාරණා ද චරිත ගොඩ නැගීමේ දී ඔහු විසින් දක්වන ලද විශිෂ්ට ප්‍රතිභාවට අලගු තබන්නට සමත් කිසිදු ලේඛකයකු සමකාලීන කිසිදු ලේඛකයකු අතර නොවීය යන්න අතිශයෝක්තියක් නොවේ. විජයබා කොල්ලය නවකතාවේ මූලික ප්‍රේම වෘත්තාන්තය බ්‍රිතාන්‍ය නාට්‍යකරු රිචඩ් ෂෙරිඩන්ගේ පිසාරෝ ඇසුරෙන් ගොඩ නගන ලද්දකැයි කරන චෝදනාව සිල්වා සූරීන් විසින්ම පිළිගනු ලබන්නකි. ( ෂෙරිඩන් විසින් 1799 වසරේ දී එය රචනා කරන ලද්දේ ජර්මානු නාට්‍ය රචකයකු වූ කොට්ස්බු ගේ පේරු (1796) නාටකය ඇසුරෙනි) එහෙත් මේ තුන් කොන් ප්‍රේම කතාව 1515 වසරේ පමණ කෝට්ටේ යුගයේ සිදු වූ එතිහාසික දේශපාලනික කාරණා හා සම්බන්ධ කොට ඒ පිළිබඳ කදිම වෘත්තාන්තයක් ගොඩ නගන්නට ඔහු සමත්වෙයි. මෙහිදී ඔහු විසින් ගොඩ නගනු ලබන පරිසරය ඉතිහාසගත සිදුවීම් සියල්ල ලේඛකයාගේ හුදු හිතලුවලින් බැහැර වන්නකි.

විජයබා කොල්ලය ගොඩ නගද්දී ඩබ්ලිව්.ඒ.සිල්වා සූරීන් කෝට්ටේ රජ වූ නව වැනි ධර්ම පරාක්‍රමබාහු රජතුමන්ගෙන් පසු රජ වූ ඔහුගේ සොහොයුරු සය වැනි විජයබාහු රජතුමන් ද ඔහුගේ පුතුන් වන බුවනෙකබාහු, මායාදුන්නේ, පරරාජසිංහ කුමාරවරුන් පිළිබඳ පුරාවෘත්තාන්තයන් ද මෙරට ඉතිහාසයේ සිදුවීම්ය. විජයබා රජ සමයේ සිදුවූ පෘතුගීසින්ගේ කෝට්ටේ අක්‍රමණය ද එබන්දකි. මෙකී සියලු සිදුවීම් මැදට ඩබ්ල්යූ.ඒ.සිල්වා සූරීන් අපූරු ප්‍රේම වෘත්තාන්තයක් ගොඩ නගනුයේ කල්පිත චරිත එක් කරමිනි. කෝට්ටේ රාජධානියට නායක සෙනෙවියකු සිටීම අනිවාර්ය කරුණකි. ඔවුන් ගැන ඉත්හාසයේ සඳහන් නොවෙතත් එම තනතුර අනිවාර්ය කරුණකි. ඔහුට දියණියක සිටීම ද විය හැක්කකි. ඒ දියණියට සිල්වා සූරීන් යොදනුයේ නීලමණී නමය. සිය හමුදා නායකයා ගේ රූමත් දියනිය ගැන එහි සිටින රණශූරයකු වන අසංග නම් කඩවසම් තරුණ සෙනෙවිවරයාගේ සිත ඇදී යා නොහැකිද ? එසේනම් උඩරට සිට පැමිණෙන තරුණ සෙනෙවියකුවූ නයනානන්ද ගේ සිත නීලමණී පැහැර ගත් කල සිදුවිය හැක්කේ කුමක්ද? සත්‍ය සහ ප්‍රබන්ධය මිශ්‍ර කරමින් ඓතිහාසික කරුණු ගවේෂණය කරමින් ඩබ්ල්යු.ඒ.සිල්වා කල්පිත පුවතක් ප්‍රබන්ධයේ යෙදිණ. නැතහොත් පිසාරෝ අපේ ඉතිහාසය හා බද්ධ කර ගන්නේය.

එය වසර ගණනාවක් මුළුල්ලේ පාසල් අත් පොතක් ලෙස හෝ නැතිනම් එයින් උපුටන ලද කොටසක් හෝ පාඩමක් ලෙස පැවතුණේ එහි පැවැති අලංකාර භාෂාව සමගය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මුල්වරට විජයබා කොල්ලය කියවන්නේ එලෙස පාසල් අත්පොතක් හැටියටය. එයින් කවර තරම් වසඟ වී ද යත් ඒ නිසාම එනම් 1964 වසරේ ඔහු විසින් අලකේෂ්වර නමින් නවකතාවක් ලියා පළ කරන ලද්දේය. ඒ සිනමාකරුවකු හැටියට සිහින මැවූ යුගයක් නොව නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ සිසුවකුව සිටි අවදියයි.

ඔහු විජයබා කොල්ලය නිර්මාණය කරන්නට මුලින් වැර දරනුයේ තම සිනමාවේ මුල් අවදියේය. වාසනාවට ඔහුට කිසිකලකත් නිෂ්පාදකවරුන්ගෙන් හිඟයක් නොවිණ. ඒ අනුව ඩබ්ල්යු.ඒ.සිල්වා සූරීන්ගේ පොත පත ගැන සොය බැලීමේ දී දැන ගන්නට ලැබුණේ විජයබා කොල්ලය මෙන්ම ජූලි හත කෘතිය ද චිත්‍රපට ගත කිරීමේ අයිතිය ඒ වනවිටත් සම්මානනීය නිෂ්පාදක බුද්ධි කීර්තිසේන විසින් ලබාගෙන ඇති බවය.

මහාචාර්ය ආරියරත්න බුද්ධි කීර්තිසේනයන් හමුවී විජයබා කොල්ලය ඉල්ලා සිටියේය. බුද්ධිගේ අපේක්ෂාව කවදාක හෝ ඔහු අතින් එය නිපදවීමය. කතාබහ අවසන් නොවන තැන බුද්ධි අයිතිය පැවරීමට නොකෙරෙන ගාණක් පැවසුවේය. එයින් පසු බා ගිය මහාචාර්යතුමන් අවධානය යොමු කළේ කැලෑ හඳ ප්‍රතිනිර්මාණයටය. සොයා බලද්දි මීගමුව උසාවියේ පැරැණි නඩු වාර්තාවක් ද සොයා ගන්නට ඔහු සමත්විය. නඩුව පැවැතියේ එදා කැලෑහඳ නිපද වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න සහ සිල්වා සූරීන් අතර ය. කැලෑහඳ ද ප්‍රතිනිෂ්පාදනය කිරීමේ කටයුත්ත මහාචාර්ය සුනිල් ආරියරත්න හිතින් අත් හැරියේය.

තවත් කලක් ගත විණ. විජයබා කොල්ලය විශාල වියදමක් දැරිය යුතු චිත්‍රපටයක් බැවින් දිනෙන් දින කල් ගියේය. ඒ අතරවාරයේ මහාචාර්ය සුනිල් ආරියරත්න කුස පබා, පත්තිනි, යසෝදරා වැනි චිත්‍රපට හරහා මෙරට බොක්ස් ඔෆිස් අධ්‍යක්ෂවරයෙකු ලෙස නමක් දිනා ගත්තේය. ගිය වසරේ වැඩිම ආදායමක් දිනූ යසෝධරා ඇතුළු චිත්‍රපට රැසක් නිපද වූ සම්මානනීය නිෂ්පාදක සරසවි චිත්‍රපට අධිපති එච්.ඩී.ප්‍රේමසිරි යළිත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග අලුත් චිත්‍රපටයක් නිපදවීමට සැලසුම් කළේය. විජයබා කොල්ලය ගැන යළි අවධානය යොමුවිය. ඒ වනවිට එහි තිර රචනය ඉංග්‍රීසි බසින් රචනා කර තිබිණ. ඒ තිස්ස අබේසේකරයන් අතිනි. විජයබා කොල්ලයේ මූලික සැලසුම් සම්මානනීය සිනමාකරු විශ්වනාත් බුද්ධික කීර්තිසේන සකසමින් සිටියේය. එහෙත් චිත්‍රපටය අති දැවැන්ත හා වියදම් අධික එකක් බැවින් බුද්ධි එය ඉන්දියානු ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස ගෙන ඒමට උත්සාහ කළේය. එවර ද චිත්‍රපටය කල් යනු දුටු මහාචාර්ය සුනිල් ආරියරත්න යළිත් චිත්‍රපටය තනන්නට අයිතිය ඉල්ලා සිටියේ නිෂ්පාදක එච්.ඩී.ප්‍රේමසිරි එහි බර පැන දරන්නට කැමැතිව සිටි බැවින්ය. එවර චිත්‍රපටය මහාචාර්ය සුනිල් ආරියරත්නට පවරන්නට අකුටිල සිතින් යුතුව එකඟ වන්නට බුද්ධි සහ බූඩි පිය පුතු දෙපොළ එකඟවිය.

චිත්‍රපටය ලහිලහියේ සැලසුම් කෙරුණේ ඒ අනුවය. මහාචාර්ය සුනිල් ආරියරත්න චිත්‍රපටයේ දෙබස් රචනා කළේය.

මෙතෙක් ඔහු සමග කටයුතු නොකළ රංගන ශිල්පීන් සමූහයක් මෙවර යොදා ගන්නට ඔහුට අවශ්‍ය විය. වඩාත්ම ගැටලුව වූයේ බොහෝ නළු නිළියන් ටෙලි නාට්‍ය හරහා ඇට්ටකුණා වී තිබීමය. එසේ නොවුණ රංග වේදින් සෙවීම නොමළ ගෙයකින් අබ සෙවීමටත් වඩා අමාරුය. නීලමණී සඳහා තෝරා ගැනුණු සෙනාලි ෆොන්සේකා ඒ වන විට ටෙලි නාට්‍යයක රඟපා තිබුණාය. නයනානන්ද ගේ චරිතයට තෝරා ගැනුණේ යොවුන් පරපුරේ වඩාත් ආදරය දිනූ හේමාල් රණසිහංය. ගෞරවනීය පෙම්වතා අසංග ගේ චරිතයට සම්මානනීය නළු අශාන් ඩයස් තෝරා ගැනිණ. හමිදුම්මා වූයේ චුලක්ෂි රණසිංහය. ද ලසර්දා වූයේ හාන්ස් බිලිමෝරියා ය.

චිත්‍රපටය රූප ගත කරද්දී වඩාත්ම ගැටලුව පසුතල දර්ශන සොයා ගැන්මය. අනුරාධපුර පොළොන්නරු යුග රූප ගත කළත් ලංකා ඉතිහාසයේ නටබුන් සොයා ගත නොහැකි එකම යුගය කෝට්ටේ යුගය බව අමුතුවෙන් කිවයුතු නැත. කෝට්ටේ ඇත්තේ අහවල් තැන මෙතැනයැයි හැඟවෙන නාමපුවරු පමණකි. එසේ රූප ගත කරන්නට නම් අසල්වැසි ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයට යායුතුය. එය දුෂ්කර එමෙන්ම වියදම් වැඩි කාර්යයකි.

විජයබා කොල්ලය ආරම්භයේ පවසන පරිදි ඒ වන විට කොළඹ ජනාකීර්ණ නැත. එහෙත් මේ වන විට කොළඹ සිට දකුණු මුහුදු තීරයම පීරා බැලුවත් චිත්‍රපටය රූප ගත කරන්නට සුදුසු වෙරළ තීරයක් සොයා ගත නොහැකිය. හැම වෙරළ තීරයකම හෝටල් ගොඩනැගිලිය. සොයන්නාට අන්තිමට සම්බ විය. ඒ නෝනාගමින් හැරී වැලිපටන්විල මුහුදු තීරයයි. සමහරවිට තව නොබෝ දිනකින් එහි ද මහ හෝටලයක් මැවෙනු ඇත. පැරණි කොළඹ සහ කෝට්ටේ ඉදිවුණේ රන්මිහිතැන්නේය. එය වඩාත් ඵලදායි ස්ථානයක් විය. එය නැරඹීමට බොහෝ දෙනා පැමිණිය ද එයින් දර්ශන රූප ගැන්වීමට බාධාවක් නොවිණ. රන්මිහිතැන්නේ දී නවාතැන් ද වෙස් ගැන්වීම් කටයතු ද දර්ශන තලය ද එක ළඟින් පිහිටා තිබීම කාලය ඉතුරු කර දෙන්නට සමත් විය. මේ දර්ශන තල තවත් වසර කිහිපයක් ආරක්ෂිතව තැබිමට නියමිත වුවත් එහි වෙනත් කිසිදු රූප ගතකිරීම් නොකෙරෙනු ඇත.

වසර ගණනාවකට පෙර බයිලා කපිරිඤ්ඤා සම්බන්ධයෙන් කළ පර්යේෂණයේ දී උකහා ගත් දැනුම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ට චිත්‍රපටය නිර්මාණය සඳහා මහෝපකාරි විය. මෙහිදී කලා අධ්‍යක්ෂ බිමල් දුෂ්මන්ත නව තාක්ෂනයේ ද නිපුනයෙකු බැවින් පැරණි පෘතුගිසි දවස ප්‍රතිනිර්මානය සඳහා ගත් වෙහෙසට වඩාත් උපකාරයක් විය. එයට අනගි සහායක් වූයේ වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පි වෙනුක වික්‍රමාරච්චිය. ඔවුන්ගේ යාවත්කාලින දැනුම මෙරට බොහෝ නව පරපුරට ද ආදර්ශයක් බඳුය. චන්න දේශප්‍රියගේ කැමරාකරණය මේ සියල්ල ඉහළින් රූපයට නංවාලූයේය. චන්න නොඅනුමානවම වර්තමාන පරම්පරාවේ ප්‍රතිභාපූර්ණ කැමරා අධ්‍යක්ෂවරයාය.

චිත්‍රපටය වැඩ ඇරඹුණේ දහ තුන් වැනි දා වකය.ඒ නැකත් දවසකි. දහ තුන බැවින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරක් එයට අදිමදි කළත් දිනය සුබ දවසක් බව ජ්‍යෙතිශාස්ත්‍රඥයා ගේ මතය විය. සුබ නැකතට ඇරඹි විජයබා කොල්ලයේ රූප ගත කිරීම් සැලසුම දින තිස් පහකි. මේ සා දැවැන්ත කටයුත්තක් වුව කිසිදු අතුරු අන්තරාවකින් තොරව සැලසුම් කළ දින තිස් පහ පුරා චිත්‍රපටයේ රූප ගත කිරීම් අඛණ්ඩව සිදුවිණ. එයින් පසු එහි දෘශ්‍ය නිර්මාණ අධීක්ෂණයේ යෙදුනේ බූඩි කීර්තිසේනගේ ද මෙහෙයුමත් ඇතුවය. ත්‍රිමාණ චිත්‍රපටයක් ලෙස ද එළි දකින විජයබා කොල්ලයේ ත්‍රිමාණ ශිල්පීන්වූයේ බුද්ධික විජයරත්න සහ සමින්ද වතවන විතානගේ ඇතුළු පිරිසගේ දායකත්වයෙනි. කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රි,චාන්ද්‍රි හපුතන්ත්‍රි චිත්‍රපටයේ සහාය නිෂ්පාදකවරුන්ය. විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂණයෙන් ද නිමල් විජේසිරි සේනාධීර නිෂ්පාදන කළමනාකාරිත්වයෙන් ද නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ඒ.ඩී.රන්ජිත්කුමාර ද හර්ෂ මංජුල වේශ නිරූපණයෙන් ද සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර ද සංගීත අධ්‍යක්ෂණයෙන් රෝහණ වීරසිංහ ද ගායනයෙන් උමාරියා සිංහවංශ සහ සනුක වික්‍රමසිංහ දායකව සිටිති. අපේ සිනමා ඉතිහාසය පුරා පෘතුගීසි යුගය සිනමාවට නැංවුණේ මෙයට පෙර අවස්ථා දෙකකි. එකක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් තැනූ සංදේශයයි. අනෙක ලෝරන්ස් කුරේ සහ ඩිල්මන් ජයරත්න සිනමාවට ගෙනා රණ දෙරණයි.

අද දිග හැරෙන්නේ සියවස් ගණනක් පැරණි ඉතිහාසයක් ගොඩ නැගූ 81ක් වසරක් පැරැණි නවකතාවක රූපමය අනුවර්තනයයි. එහි නිෂ්පාදනය එච්.ඩී.ප්‍රේමසිරි ගෙනි

       

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.