පහළොස් වසරකට පසු මාලිනී - සනත් යළි එක් කරන “මොනරවිලක්”

අගෝස්තු 22, 2019

දරු ප්‍රසූතියට ආසන්න දින කිහිිපයේ කල් ගෙවන වන්දනා මට හමු විය. ඇගේ උවන විඩාබර ගතියෙන් පෙළෙයි. එය කිසි දිනෙක නොසංසිඳෙනා එකක් බවට ද කියාපායි. අවුල් වූ කෙහෙරැලි වන්දනාගේ මැළි වූ ස්වභාවය තව තවත් තීව්‍ර කරයි.

වන්දනා . . . යනුවෙන් මම ඇය අමතමි. එය නෑසුණාදෝ කියා මට සිතිණි. ඇය හැරී නොබැලුවාය. වන්දනාගේ කතාව දැනගන්නේ කෙසේද, මම විමිසිලිමත් වුණෙමි.

මොනවා හරි දැනගන්නට ඕනද? වටපිට බලපු නිසා ඇහැව්වෙ?

කෙනෙකු මගෙන් විමසයි.

මම රසික ලියනගේ . . . මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් . . . එන්න වාඩි වෙමු.

ඔහු මා යාබද වූ අසුනක් වෙත කැඳවාගෙන ගියේය.

මේ තමයි වන්දනා . . . ඔහු මට වන්දනාව නැවතත් පෙන්වීය.

මොකද මෙයාට වුණේ.

ඒක දිග කතාවක්. මෙයාට අම්මයි තාත්තයි නැහැ. දෙන්නම පොඩි කාලේ නැති වුණා. වන්දනා කසාද බැන්දෙ වලව්වකින්. මනමාලයාගේ අම්මා මහන්තත්තකමින් උතුරනවා. වන්දනා කැන්දන් ආවේ හිස් අතින්. දෑවැදි ගැන මහ ලොකුවට බලාගෙන සිටි නැන්දම්මට ඒක මහ මදිකමක් වුණා. ඇය වන්දනාට දිගින් දිගටම කෙනෙහිලිකම් කළා. බැරිම තැන ඇය වලව්වෙන් පැනලා යනවා. එතකොටත් වන්දනා ප්‍රෙග්නන්ට්. මේ යන ගමන අතරෙදි තමයි ඔයාලා අපි මුණ ගැසුණේ.

කවුද ඒ නපුරු නැන්දම්මා?

ආං ඉන්නවා.

ඔහු පෙන් වූ දෙස මම බැලුවෙමි. එතැන සිටියේ වීණා ජයකොඩිය.

මං තමයි නපුරු නැන්දම්මා.

ඇය චරිතයට ආරූඨ වී ඒ මුහුණුවරින්ම මට පවසයි.

අපි යමු මාලම්මා මුණ ගැහෙන්න.

වන්දනා මා කැඳවාගෙන යන්නේ මේ කාව මුණ ගැහෙන්නද?

මාලම්මාව මම දුටිමි. සුපුරුදු සිනහව මුවගේය.

ආයුබෝවන් . . .

මම ඇයට ආචාර කළෙමි.

ආයුබෝවන් යැයි පෙරළා ඇය මට කීවේය.

වන්දනාට කරුණාව දක්වන්නී මාලම්මාය. ඇය ඔබ වඩාත් හඳුනන්නේ අප නිළි රැජන හැටියටයි. ආ . . . ඊට ප්‍රථම මට වන්දනා කවුද කියා හඳුන්වාදීමට බැරි විය. එලෙස වෙස් ගැන් වී සිටින්නේ උමයංගනා වික්‍රමසිංහයි. ඉතා දිගු කලකට පසු ඇය මෙලෙස සිනමාපටයකට දායක වි සිටියි. මාලම්මා මාලිනී ෆොන්සේකා වේ. මෙවන් වූ පිරිස එකතු කොට රසික තනන සිනමාපටය මොනරවිලක් වේ.

අන්න ඇමතිතුමා එනවා . . .

පිරිස අතර සිටින කවුදෝ කියයි. ඔහු මේ එන්නේ මාලම්මා ළඟටය. කෝවිල ළඟ මල්මාලා විකුණන මාලම්මාගෙන් මල් මිල දී ගැනීම ඇමතිතුමාගේ පුරද්දකි. ඒ ගමන නවතා ඇමැතිතුමා අප සිටින දෙසට එනු පෙනිණ. ක්ෂණයකින් ඔහු අපි හඳුනා ගත්තෙමු. ඇමැති ලෙස නැවතත් හැඳ පැළඳ සිටින්නේ සනත් ගුණතිලකයි. මාලිනී, සනත්, වීණා ඇතුළු පිරිස එකතුකොට තැනෙන මොනරවිලක් වෙනස්ම ආකරයේ කතා පුවතක් බව පැහැදිලිය. මේ කතාව අතරතුරදී තවත් සුවිශේෂී වූ කරුණක් සඳහන් කරන්නට කැමැත්තෙමි. මාලිනී සනත් එකට අවසානයට රඟපෑ චිත්‍රපටය වූයේ මහ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වෑකන්ද වලව්ව සිනමාපටයේදීය. ඉන් අනතුරුව කාලාන්තරයකට පසු මේ ප්‍රවීණයින් දෙදෙනා සිනමා කැමරාවක් ඉදිරියේ මෙලෙස හමු වී සිටිති. වන්දනාගේ කතාව කඩවත අවට රූ ගැන්වෙයි. ඒ අතරතුරදී නිශ්ශංක විජේරත්න කැමරාව මානාගෙන නළු නිළියන් සිය උපනෙතහි සටහන් කොට ගනියි. මොනරවිලක් රංගනයෙන් හැඩ කරන්නෝ මෙසේය.

මාලිනී ෆොන්සේකා, සනත් ගුණතිලක, වීණා ජයකොඩි, දර්ශන් ධරමරාජ්, සම්පත් ජයවීර, ස්වර්ණලතා රණසිංහ, ගයනා සුදර්ශනී, චමින්ද මුදලිගේ

 

 

 

 

 

 

 

 


CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.