සුනාමි අතළඟ

ඔක්තෝබර් 3, 2019

මෙරට සිනමා වංශ කතාව තුළ නව පරිච්ඡේදයක් නිර්මාණය කළ ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය යුවළ ඉකුත් 26 වැනිදා අපට ආරාධනයක් කරනු ලැබුවා වැල්ලවත්ත සැවෝයි 3D සිනමා ශාලා පරිශ්‍රයට පැමිණෙන ලෙසට. එම ආරාධනයත් සමඟ අප එතනට යනවිට මාධ්‍ය සගයන් සේම කලා ක්ෂේත්‍රයේ බොහෝ කලාකරුවන් එතනට එක් රොක් වෙලා හිටියේ මොවුන් දෙපළගේ ආරාධනය පරිද්දෙන්. මහ සයුර වියරු වී අපට කියා දුන් මිනිසත්කමේ පාඩමක් ගැන අපට කියා දෙන්න තමයි මේ දෙපළ අපට එන්න කියලා තිබුණේ. සාමාන්‍යයෙන් සිනමා ශාලාවකට අපව කැඳවන්නේ චිත්‍රපටයක මාධ්‍ය දැක්මක් වෙනුවෙන් මිසක් මෙවැනි පාඩමක් කියා දෙන්න කියන දේ තුළ අපිටත් යම් කුකුසක් ඇති වුණා.

පැමිණ සිටි කවුරුත් සිනමා ශාලාව තුළ අසුන් ගත්තේ අපි ආදරයට ආමන්ත්‍රණය කරන සෝමෙගෙත් රේණුකාගෙත් මේ වැඩේ මොකක්ද කියලා බලන්න.

මුලින්ම මයික්‍රෆෝනය අතට ගත්ත රේණුකා සියලුදෙනා ආදරයෙන් පිළිගෙන අපට එකින් එක පහදලා දුන්නේ මහ සයුර වියරු වී අපට කියා දුන් මිනිස්කමේ පාඩම මොකක්ද කියලයි.

රේණුකා එහෙම කියන කොට පැමිණ සිටි සියලු දෙනාගේම මතකය ඈත අතීතයට රැගෙන ගියේ ඒ ව්‍යසනයේ භයංකාරත්වය අත් විඳි සියල්ලන්ගේම සිතට චකිතයක් ඇති කරමිනි. ඒ සියලු දෙනාම තුළ 2004 දෙසැම්බර් 26 වැනිදා රික්ටර් මාපක 9.3 ක් ලෙස සටහන් වූ මහා භුමි කම්පාවක් නිසා ලෝකයේ රටවල් බොහොමයක මිනිසුන් මිලියන ගණනක් මියඇදුන සිද්ධියේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර, දකුණු ප්‍රදේශයේ තිස්පන් දහසකට අධික මිනිසුන් සංඛ්‍යාවක් බිලිගත් සුනාමි ඛේදවාචකය සිහි ගන්වන්නට වුණා.

ලබන වසරේ මුල් භාගයේ ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කරන්නට සැලසුම් කර ඇති මෙම සුනාමි චිත්‍රපටයේ ට්‍රේලරය තිරයේ දිගහැරුණේ මීට වසර 15 කට පෙර අත්විඳි ඒ සිද්ධිදාමය සිහි ගන්වමිනි.

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දැකගත හැකි වනුයේ එම නිර්මාණය හෝ එහි යම් යම් කොටස් පමණක් වන නමුත් රේණුකාගේත්, සෝමේගේත් මේ දැවැන්ත නිර්මාණයේ අප ප්‍රේක්ෂකයන් විධියට නොදකින පැතිකඩක් ඔවුන් අපට දැකගන්නට සලසා තිබුණේ පැමිණ සිටි සියල්ලම පාහේ මවිතයට පත් කරමිනි.

තිරය පිටුපස සිදුවන සියල්ල කෙසේ සිදු කළා ද කියා මේ සුනාමි සිනමා නිර්මාණයේ දැවැන්ත කර්තව්‍යය අපේ දෑස ඉදිරියේ ගෙනහැර පෑවේ නිර්මාණය වෙනුවෙන් කර තිබෙන අසීමිත කැප කිරීම කොතරම් ද කියා පසක් කරමිනි. සුනාමි රළ නිර්මාණය සුනාමියෙන් විනාශ වූ දේපල, ගොඩනැඟිලි, සතා සිව්පාවුන්, ගස් කොලන්, මිනිස් ජීවිත, යාන වාහන මේ සියල්ල විනාශ වී ගොස් තිබූ ආකාරය දර්ශන තලවල ප්‍රතිනිර්මාණය කළ ආකාරය මේ අයුරින් දැකීම කෙනෙකු තුළ විමතිය දනවන සුළු විය.

සිනමා ප්‍රේක්ෂකයා තුළ ත්‍රාසය, කුතුහලය, භීතිය ඇති කරන්නට මෙන්ම සංවේදීතාවය ඇති කරන්නටත්, තිරය පිටුපස දහදිය වැගිරූ තම ශ්‍රමය දිවි දෙවැනි කොට නිර්මාණය වෙනුවෙන් දායකත්වය එක් කරලන්නට දායක වූ සැවොම රේණුකා ආරාධිත පිරිස ඉදිරියට කැඳවා ඔවුන් හඳුන්වා දෙමින් තම නිෂ්පාදන කර්තව්‍යයේ උරෙන්උර ගැටුණු සැවොම වෙනුවෙන් ස්තූතිය පිරිනැමුවේ හෘදයංගම බැඳීමකිනි. සාමාන්‍යයෙන් චිත්‍රපටයක කාර්මික ශිල්පීන් මේ අයුරින් ඉදිරියට ගෙනවිත් ප්‍රශංසාත්මක ඇගැයීමක් කිරීම මෙන්ම චිත්‍රපටයක් නිර්මාණයේදී එහි තිරය පිටුපස සිදු වූ ඒ දැවැන්ත කාර්ය මේ අයුරින් දැකගන්නට සැලැස්වීම සාමාන්‍යයෙන් අපේ සිනමා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන්නට කදිම නිදසුනක් වන්නට බැරි නැත.

ආචාර්ය සෝමරත්න දිසානායක තම සිනමා නිර්මාණය වෙනුවෙන් තිස්තුන් කෝටියක් දෙවියෝ ඇස් කන් පියා සිටියෝ ගී පබැඳුම රචනා කරමින් අප සැමට ඉදිරිපත් කර තිබුණේ කුමන වෙනස්කම් දැක්වුවත්, අප ඇන කොටා ගත්තත් අප සියල්ලෝම එකම මිනිස් වර්ගයක් බවය.

මිනිත්තු 105 පුරා තිරයේ දිග හැරෙන සුනාමි සිනමා සිත්තමෙන් කියවෙන්නේ මිහිමත සිටින්නේ එකම ජාතියක් බවය. එකම වර්ගයක් බවය. එනම් මනුස්ස ජාතිය හා මනුස්ස වර්ගයයි යන්නය. සමාජයට පණිවිඩයක් ගෙන යන්නට මේ සිනමා නිර්මාණය කළ බවත් ආචාර්ය සෝමරත්නයන් සැමට පවසා සිටියේ මේ දැවැන්ත නිර්මාණයේ සිනමා රසය අත් විඳින්න ලබන වසරේ ආරම්භයත් සමඟ දෙගොඩ තලා යාමට පෙර දැනුම්වත් වී සිටින ලෙසයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.