සුනාමි

ආචාර්ය සෝමරත්න දිසානායකගේ පූර්ව ප්‍රචාරකපටය හා ගීත ජනගත කිරීම අද
සැප්තැම්බර් 26, 2019

 

සරෝජා, සූරිය අරණ, පුංචි සුරංගනාවි, සිරිරජසිරි, සිරිපැරකුම්, සරිගම, සමනල තටු අදී චිත්‍රපට නිර්මාණය කළ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා සිත්තම “සුනාමී” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය හා එහි ගීත ජනගත කිරීම අද සවස 4.00 ට වැල්ලවත්ත සැවෝයි 3ච් ප්‍රධාන සිනමා ශාලාවේදී සිදු කෙරේ. චිත්‍රපටයේ කාර්මික ශිල්පීන්, නළු නිළියන් ඇතුළු විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් එළි දක්වන මෙම උත්සවයේදී ගීත දෙකක් හා නිර්මාණ තොරතුරු ජනගත කිරීම සිදු කෙරේ.

ඊ. ඒ. පී. සැවෝයි මණ්ඩලය ඇතුළු දිවයින පුරා ප්‍රධාන සිනමා ශාලා රැසක ළඟදීම ප්‍රදර්ශනය වීමට නියමිත සුනාමී චිත්‍රපටයේ මංගල දර්ශනය ලබන වසරේ ජනවාරි මස ආරම්භයත් සමඟ ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නට එහි නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මේ දිනවල යුහුසුලුව කටයුතු කරමින් සිටී. 2004 වසරේ සුනාමී ඛේදවාචකයේ එක් සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් වසර කීපයක් පුරා සිදු කළ ගවේෂණාත්මක නිරීක්ෂණයකින් අනතුරුව ආචාර්ය සෝමරත්න දිසානායකයන් සුනාමී තිර රචනය කරන ලදී.

අන්තර් ජාතික මට්ටමේ සිනමා කෘතියක් වන සුනාමී සඳහා දැනට ලෝක සිනමාවේ භාවිත වන ඉහළම තාක්ෂණය යොදාගෙන භාවිත කර ඇති අතර ආචාර්ය සෝමරත්නයන් මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලට වඩා වැඩිම කාලයක් හා වැඩිම පිරිවැයක් දරා නිර්මාණය කළ චිත්‍රපටය වනුයේද මෙම චිත්‍රපටයයි.

ත්‍රිකුණාමලය, කුච්චවේලි, තිස්සමහාරාමය, කිරින්ද, මහනුවර, පුල්මුඩේ, රන්මිහිතැන්න, ඉංගිරිය, ජාඇල, කොළඹ ආදී ප්‍රදේශ රැසක මාස තුනක් පුරා අඛණ්ඩව රූපගත කිරීම් සිදු කළ මෙම චිත්‍රපටය සඳහා නළු නිළියන් සමඟ කාර්මික ශිල්පීන් සියයකට වැඩි පිරිසක් දායක වූහ.

මේ වන විටත් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළ කිහිපයක් සඳහා ඉදිරිපත් කිරීමට ආරාධනා ලැබ ඇති මෙම සිනමා කෘතිය සිංහල, දෙමළ, ඉංග්‍රිසි තෛ‍්‍ර භාෂාවලින් නිර්මාණය කොට ඇත.

මෙතෙක් ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කොට ඇති මෙම චිත්‍රපටය තිරගත කළ හැකි වනුයේ එම නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ සිනමා ශාලාවල පමණක් වන අතර යම් අයුරකින් එම තාක්ෂණයට අනුගත නොවූ සිනමා ශාලා තිබේ නම් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර එවැනි සිනමා ශාලා මෙම නවීන තාක්ෂණික මෙවලම්වලින් සමන්විත යුතු බව ආචාර්ය සෝමරත්නයන් පවසා සිටී. දිවයින පුරා ඇති නවීකරණය කරන ලද සියලුම සිනමා ශාලා වැඩිම සංඛ්‍යාවක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තම ඒකායන අරමුණ බවත් එයින් චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාට සිනමා රසාස්වාදයේ උපරිමය අත් විඳිය හැකි බවත් නිර්මාණකරුවා විදියට තමන්ගේ කෘතියේ උපරිම අභිප්‍රාය ඉටුවීම පිළිබඳ සතුටු විය හැකි බවත් ඔහු පවසා සිටී.

නෙරංජනී ෂම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, මෙනාරා වීරතුංග (ළමා), සුනෙත් ශාන්තප්‍රිය, ස්වේතනී (ළමා) බර්නි (ළමා) විශ්වජිත් ගුණසේකර, ගිරිරාජ් කෞශල්‍ය, ජේ. යෝගරාජ්, අශෝක සේරසිංහ, සම්පත් තෙන්නකෝන්, කුමාර තිරිමාදුර, සරත් චන්ද්‍රසිරි, රත්නා ලාලනී, රංජනී රාජ්මෝහන්, චින්තක කුලතුංග, අනුරුද්ධිකා පාදුක්කගේ. ලලිත් ජනකාන්ත, අරුනි මෙන්ඩිස්, ජයන්ත මුතුතන්ත්‍රි, ගිහාන් ප්‍රනාන්දු, සිනේති අකිලා ආදීන් රංගනයෙන් ද විදුර අබේධීර වේශ නිරූපණයෙන්, මෙත්නුවන් විජේසිංහ ඇඳුම් නිර්මාණයෙන්, කසුන් මාලින්ද දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණයෙන් ද, සුනිල් විජේරත්න කලා අධ්‍යක්ෂණයෙන්, චාමර සේලාර සහාය අධ්‍යක්ෂණයෙන්, ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද පරිපාලනයෙන්, අජිත් රාමනායක සංස්කරණයෙන්, ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනයෙන්, ආචාර්ය සෝමරත්න දිසානායක ගීත රචනයෙන්, විශාරද හර්ෂන දිසානායක සහ හිරුනි නිමේෂිකා ගායනයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්, විශ්ව බාලසූරිය කැමරා අධ්‍යක්ෂණයෙන්, රේණුකා බාලසූරිය නිෂ්පාදනයෙන් හා නිෂ්පාදන සැලසුම්කරණයෙන් ද, ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් ද සුනාමී නිර්මාණයට දායක වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.