යකඩයා යළි එයි

Terminator: Dark Fate
ඔක්තෝබර් 31, 2019

තවත් අවුරුදු දහයකින් නැතහොත් 2029 වසර වන විට මිනිසා අබිබවා යකඩයා නැගී සිටින්නේය. යකඩයා පරාජය කළ හැකි දරුවා ජෝන් උපදින්නට පෙර ඔහුගේ මව මරා දැමීමෙන් මේ ප්‍රශ්නය විසඳීය හැකිය. පණ්ඩුකාභය කතාවේ පමණක් නොව ලෝකය පුරා මෙබඳු කතා බහුලය. එහෙත් එබන්දෙකු මරා දැමීම පහසු නැත. 1984 වසරේ දී සාරා කෝනර් නම් අමෙරිකානු යුවතියකට මරණ තර්ජනය එල්ලවනුයේ 2019 වසරේ බලසම්පන්න යකඩයන්ට මේ අනාවැකිය වැටහුණු නිසාය. එබැවින් ඇය මරා දැමීමේ අරමුණින් ටී 800 1984 වසරට පැමිණිය ද පෙනුමෙන් මිනිස් ස්වරූපය සහිත ඇතුළතින් යකඩයා සැබෑ සාරා කවුරුන්දැයි දන්නේ නැත. එබැව්න් දුරකථන නාමාවලියේ ඇති සියලු සාරා කෝනර් ලා ඝාතනය වෙයි.

සාරා බේරා ගැන්මට අනාගතයේ සිටම මිනිස් සොල්දාදුවෙකු වර්තමානයට පිවිසෙයි. සාරා ඝාතකයා හා රැකවලා අතර වෙනස හඳුනා නොගැනීම බරපතල ප්‍රශ්නයක් විය. එබැවින් අනාගතයේ මිනිස් වර්ගයා බේරා ගැන්මට සාරාට ජෝන් නම් දරුවා ඉපදවිය හැකි ද? ඒ දරුවාගේ පියා වන්නේ කවුරුන්ද ? 1984 වසරේ මුල් වරට ලොව පුරා තිර ගතවීම ඇරඹූ අතිශය ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධයක් වූ ටර්මිනේටර් චිත්‍රපටයේ තේමාව එයයි. හොලිවුඩ් චිත්‍රපට අතර අඩු වියදම් චිත්‍රපටයක් වූ එය වැය කළ ඩොලර් මිලියන 6 කි. පළමුවටයෙන්ම එය අමෙකාවේ දී පමණක් ලත් ආදායම ඩොලර් මිලියන 80 ඉක්මවූයේය. ප්‍රධාන සිනමා සමාගම් පවා ප්‍රතික්ෂප කළ එය බෙදාහැරියේ ඔරයන් පික්චර්ස් ආයතනයයි. එතැන් පටන් එහි ආභාෂය ලබමින් මානව වෙස් ගත් යකඩ මිනිසුන් පිළිබඳ චිත්‍රපට වැල නොකැඩී තිරයට ආයේය. එපමනක් නොව ද ටර්මිනේටර් තුන් දෙනෙක් හොලිවුඩයේ ඉහලටම ගෙන ගියේය. එයින් පළමුවැන්නා කැනේඩියානු සිනමාකරුවෙකුව සිටි ජේම්ස් කැමරන්ය. ඒ වන විට තිස් හැවිරිදි ඔහු නිර්මාණය කර තිබුණේ පිරඤ්ඤා 2 නමැති චිත්‍රපටය පමණකි. දෙවැන්නිය 29 හැවිරිදි වියේ පසු වූ නිෂ්පාදිකා ගේල් ඈන් හර්ඩ්ය. ගේල් ඈන් පැසිෆික් වෙස්ටර්න් නමින් තමාගේම චිත්‍රපට සමාගමක් (වර්තමානයේ වල්හලා)ගොඩ නගා ගත් අතර එමගින් ටර්මිනටෙර් 2 සහ 3 ද රැම්බෝ, තෘ ලයිස් වැනි චිත්‍රපට රාශියක්ම නිපදවූවාය. තෙවැන්නා ඒ වන විට කොනැන් චිත්‍රපට දෙකක් හරහා අවධානය යාන්තමට දිනා සිටි අයෝමය පුරුෂයකු වූ ආනෝල්ඩ් ස්වසෙනගර්ය. එයින් සුපිරි නළුවකු බවට පත් ස්වසෙනගර් පසුකලක එහි බලමහිමයෙන් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරධුරයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරග වැද මහජන ඡන්දයෙන් තේරි පත්වූයේය.

ඔහුගේ ඡන්ද ව්‍යාපාරය පාදක කර ගත්තේ ටර්මිනේටර් චිත්‍රපටයේ වීරත්වයයි. කැමරොන් චිත්‍රපටය නිම වී අවුරුද්දක් ගෙවුණ තැන ගේල් ඈන් සමග විවාහ වී සිව් වසරකින් ඇය අත හැර සිනමාවේදිනි කැතරින් බිගලොව් සමග විවාහ වී එය ද තෙවසරකින් කටු ගා දමා සාරා කෝනර් වූ ලින්ඩා හැමිල්ටන් සමග විවාහ විය. එය අවසන් වූයේ සාරා ට ජෝන් නමින් පුතෙකු කොයි හැටි වෙතත් ලින්ඩාට කැතරින් නම් දියණියක් ද ලැබීමෙනි. දෙවසරකින් එම විවාහය අවසන් වූයේ ඒ වන විට නොම්මර එකේ අධ්‍යක්ෂවරයෙක් වූ කැමරොන් වෙතින් ලින්ඩාට ඩොලර් මිලියන පනහක් වන්දි වශයෙන් ලැබීමෙනුත්ය. ස්වසෙනගර් හා ලින්ඩා ගේ යාළුකම කොයිතරම් ද යත් ස්වසෙනගර් ඡන්දයට තරග කරද්දී උපන් ගෙයි ඩිමොක්‍රැටික් පාක්ෂිකයකු වූ ලින්ඩා එය අමතක කර සිය රිපබ්ලිකන් හිතවතාට කඩේ ගියාය. ටර්මිනේටර් මුල් චිත්‍රපටයේ ජනප්‍රියත්වයෙන් පසු දැවැන්ත වියදමක් කොට එහි දෙවැන්න ටර්මිනේටර් 2, ජජ්මන්ට් ඩේ නිර්මාණය වූයේ කැමරන්, ගේල් ඈන් ,ලින්ඩා මෙන්ම ස්වෂෙනගර් ද දායක වෙමින්ය. 1991 වසරේ තැනුණු එය ඒ අවදියේ නිර්මාණය වූ වඩාත්ම බලසම්පන්න දෘෂ්ටි ප්‍රයෝග වලින් යුක්ත චිත්‍රපටය විය. එහි ඝාතකයා බිහිවනුයේ ද්‍රාවමය එකතුවකිනි. එබඳු දෘෂ්‍ය ප්‍රයෝග ජවනිකාවක් එකල අම්මා මුතුන් කාලෙකවත් කිසිවකු හෝ දැක නොතිබිණ.

මෙම චිත්‍රපටයේ ස්වෂෙනගර්ට ගෙවන ලද මුදල පමණක් මිලියන 15 ක් විය. තෙවැන්න රයිස් ඔෆ් ද මැෂින් 2003 වසරේ නිර්මාණය විය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ජොනතන් මොස්ටව් විසින්ය. එහි නිෂ්පාදනය සදහා ගේල් ඈන් හර්ඩ් දායක විය. මුල්වරට අමෙරිකානු ප්‍රධාන සමාගම් අතර ඇති වෝර්නර් සහ කොලොම්බියා පික්චර්ස් චිත්‍රපටයට දායක වූයේ එමගින්ය. සිව්වැන්න 2009 වසරේ තැනුනු ටර්මිනේටර් සැල්වේෂන්ය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ මැක්ජී විසින්ය. එයට මුල් චිත්‍රපටයට දායක වූ කිසිවකු හෝ සම්බන්ධයක් වූයේ නැත. 2015 වසරේ දී ටර්මිනේටර් ජිනිසස් නමින් තැනුණු අතර එයට ස්වෂෙණගර් යළි දායක විය. එය ඇලන් ටේලර් ගේ අධ්‍යක්ෂනයක් විය.

ටර්මිනේටර් සය වැන්න හෙට ලොව පුරා තිරයට එන්නේය. එයට යළි මුල් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මෙන්ම සාරා කෝනර් ගේ චරිතය ද ඇතුළත් අතර සාරා ලෙස යළි ලින්ඩා හැමැල්ටන් මරංගනයට පිවිසෙන්නීය. ටර්මිනේටර් සය වැන්න හෙවත් ඩාර්ක් ෆේට් ගෙතෙන්නේ එහි දෙවැන්න ජජ්මන්ට් ඩේ චිත්‍රපටයේ දිගුවක් හැටියටය. අලුත් චිත්‍රපටයට වැය වී ඇති මුදල මිලියන 160 ඉක්මවා ඇත. ටිම් මිලර් මෙහි අධ්‍යක්ෂවරයාය. දෘෂ්ටි ප්‍රයෝග ශිල්පියකු වන මිලර් 49 වැනි වියේ පසුවන්නකි. 2016 වසරේ ඩෙඩ්පූල් චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ ද ඔහු විසින්ය. කැමරන් යළි චිත්‍රපටයට එක්වූයේ ස්වෂනගර් චිත්‍රපටයට එක්වන්නේ නම් පමණක් යන කොන්දේසිය සහිතවය. ඔහු තිරනාටකයේ සිටම නිෂ්පාදනය ට දායක වන්නට වග බලා ගත්තේය. ඔහුට ඒ සඳහා ආරාධනා කරන ලද්දේ වර්තමානයේ ටර්මිනේටර් නිපදවන ස්කයිඩාන්ස් නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක ඩේවිඩ් එලිසන් විසින්ය. කැමරොන් ද හවුල් වූ කතාවේ මුල් තිරනාටක පිටපත ඩේවිඩ් ගෝර් විසින් රචනා කරන ලද අතර බිල් රේ එය යළි සකස් කළේය. ටිම් මිලර් ක්‍රියාදාම ජවනිකා රචනා කළේය. අමෙරිකානු ලේඛක සංසදයේ එකඟතාව මැද චිත්‍රපටයේ තිර රචකයන් ලෙස ගෝයර් හා ජස්ටින් රෝඩ්ස් සහ බිලි රේ ද කතා රචකයන් ලෙස එයට අමතරව කැමරොන් ,චාල්ස් එච්.ඉග්ලී, ජෝශ් ෆ්‍රයිඩ්මාන් ගේ නම් ද සඳහන් කොට ඇත. චිත්‍රපටය යළි ප්‍රාණවත් කිරීම සඳහා සාරා ගේ චරිතයට ලින්ඩා හැමිල්ටන් යළි කැඳවීමට කැමරන්, එලිසන් හා මිලර් තීරණය කළහ. චරිතයේ ඇති වටිනාකම කියාපාමින් කැමරොන් සිය පැරණි බිරිඳට දිග ඊමේලයක් යැව්වේය. ඒ වන විට තිරනාටකය සම්පූර්ණ ව නොතිබිණ.

චිත්‍රපටය හංගේරියාව, එංගලන්තය,ස්පාඥ්ඤය හා මැක්සිකොවේ දී රූප ගත කෙරිණ. එහි මුල් නම වූයේ ටර්මිනේටර් ෆීනික්ස් වුවත් පසුව එය වෙනස් කෙරිණ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.