සිනමා ශාලා සූදානම්ද? සුනාමි ලෑස්තියි

ආචාර්ය සෝමරත්න දිසානායක
නොවැම්බර් 14, 2019

අද සිනමාහල් හිමිකරුවෝ මගේ පස්සේ

 

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ “සුනාමි” චිත්‍රපටයේ සියලු නිර්මාණ කටයුතු නිමවා මහජන ප්‍රදර්ශනය සඳහා මේ වන විටත් සියල්ල සූදානම් වී අවසන්. ඊ. ඒ. පී. සැවෝයි මණ්ඩලය ප්‍රධාන කොට තිරගතවීමට නියමිත “සුනාමි” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය මේ වන විටත් සියලු සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වීම ආරම්භයත් සමඟ එය නැරැඹීමේ උන්මාදයක් මේ වන විටත් මෙරට සිනමා ප්‍රේක්ෂකයන් තුළ වර්ධනය වෙමින් පවතී. කවදත් සිනමා ලෝලීන්ට ආකර්ෂණීය චිත්‍රපට රැසක් නිර්මාණය කරමින් මෙරට සිනමා කර්මාන්තයේ උන්නතියට මහඟු මෙහෙවරක් කළ ආචාර්ය සෝමරත්නයන්ගේ සිනමා නිර්මාණයක් නැරැඹීමේ පෙරමඟ බලා සිටි සිනමා ලෝලීන්ගේ සිහිනය තව නොබෝ දිනකින් සැබෑවක් වීමට නියමිතය.

 

ඒ සිනමා ලෝලීන්ට උපරිම සිනමා ආස්වාදයක් ලබා දෙමිනි. කවදත් ඉහළම තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ තම සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ සෝමරත්නයන් දැනට ලෝකයේ පවතින උපරිම සිනමා තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් දැවැන්ත වියදමක් දරමින් “සුනාමි” චිත්‍රපටය මෙවර නිර්මාණය කොට ඇත්තේ තමන් වටා රොද බැඳ සිටින සිනමා රසිකයන්ට නිර්මාණාත්මක අතින් මෙන්ම තාක්ෂණික අතින් ද උපරිම සිනමා වින්දනයක් ලබාදීමේ පරමාර්ථයෙන්ය. එම දැවැන්ත සිනමාත්මක ගුණය උපරිම අයුරින් සිනමා ප්‍රේක්ෂකයන්ට විඳ ගැනීමේ අභිලාෂය ඇති කරලීම වෙනුවෙන් සිනමා ශාලා හිමියන් වෙත මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව ද තම ප්‍රේ්ක්ෂකයන් පැත්තෙන් මෙන්ම තම නිර්මාණයේ ගුණාත්මකභාවය සැලකිල්ලට ගෙන මේ වන විටත් සිනමා ශාලා හිමියන් දැනුම්වත් කිරීමක් ආචාර්ය සෝමරත්නයන් ආරම්භ කොට ඇත.

සිනමා ශාලාවෙන් ඉවත් වෙමින් සිටින ප්‍රේක්ෂකයින් යළි සිනමාහලට කැඳවීමට නම් ආකර්ෂණීය චිත්‍රපට මෙන්ම ආකර්ෂණීය සිනමා ශාලා ද බිහි විය යුතු බව තරයේ ප්‍රකාශ කරන ආචාර්ය සෝමරත්න දිසානායක “සුනාමි” චිත්‍රපටය දෙගොඩ තලා එනතෙක් නොඉවසිල්ලෙන් පෙරමඟ බලා සිටි තම සිනමා ලෝලීන්ටත් සිනමා ශාලා හිමියන්ටත් පවසා සිටිනුයේ කුමක්ද යන්න පිළිබඳ ඔහු හා කෙරෙන සංවාදාත්මක කතාබහකි මේ.

* තව නොබෝ දිනකින් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන ඔබගේ නවතම සිනමා නිර්මාණය වන “සුනාමි” පිළිබඳ සියලු ශ්‍රී ලාංකික සිනමා ලෝලීන් හා සිනමා ශාලා හිමියන් පෙර දැනුම්වත් කිරීමක් කරන්නට ඔබ අදහස් කළේ ඇයි?

මම මේ “සුනාමි” චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ ලෝකයේ තියෙන ඉහළම සිනමා තාක්ෂණය යොදලා. හැබැයි ඒ ඉහළ තාක්ෂණය යොදලා චිත්‍රපට හැදුවට වැඩක් නැහැ ඒ තාක්ෂණය ප්‍රේක්ෂකයාට පේන්නේ නැත්නම්, ඇහෙන්නේ නැත්නම්. අපේ චිත්‍රපටය පේන අපේ චිත්‍රපටය ඇහෙන සිනමා ශාලා කීපයක් දැැනට ලංකාවේ තියෙනවා ප්‍රධාන නගරවල. ඒවායේ විතරයි අපේ චිත්‍රපටයේ නියම හඬපටය අහන්න පින්තූරය නරඹන්න පුළුවන්. නමුත් අපි කැමැතියි ලංකාවේ සියලුම සිනමා ශාලා ඒ තත්ත්වයට හැදෙනවා නම්. නමුත් මම පිළිගන්නවා දුර බැහැර තියෙන සිනමා ශාලාවලට මේ තරම් ඉක්මනින් ඒ වගේ විශාල තාක්ෂණයක් කරා යන්න ආර්ථික පසුබිමක් නැහැ කියලා. එහෙම නැහැයි කියා පිළිගත හැකි මට්ටමිනුත් පහළ තාක්ෂණික පහසුකම් තියෙන සිනමා ශාලාත් තවම චිත්‍රපට පෙන්වනවා. අන්න ඒ චිත්‍රපට ශාලාවලට අපි කියනවා ප්‍රේක්ෂකයාට පිළිගත හැකි මට්ටමේ නවීකරණයක් මම අපේක්ෂා කරනවා කියන දේ.

ඔබ අදහස් කරන සිනමා ශාලාවක තිබිය යුතු ඔය ඉහළ තාක්ෂණය මොකක්ද?

2 K කියන පින්තූර තාක්ෂණය අඩුම තරමින් අපට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 5.1 කියන හඬපටය තියෙන්න ඕනේ. ඕක තමයි අවම අවශ්‍යතාවය. මෙයින් එහාට ගිය තවත් සුදුසුකම් ගොඩක් තියෙනවා. 2ම් ප්‍රක්ෂේපණ යන්ත්‍රය. එයට එහා ගිය 4K, 8K ප්‍රක්ෂේපණ යන්ත්‍ර දක්වා නවීකරණය වී තියෙනවා. එච්චරම නැති වුණාට කමක් නෑ 2ම් ප්‍රමාණවත්.

මෙවැනි අවම නවිකරණයකට සිනමා ශාලා හිමියෙක් කොතරම් මුදලක් දැරිය යුතුද?

2K තාක්ෂණයට අනුගත වෙන්න නම් අඩුම තරමින් මිලියන අටක පමණ මුදලක් වැය වෙනවා කියලයි මගේ අදහස.

මෙතරම් මුදලක් එකවර ශාලා හිමියන්ට දැරීමට අපහසුතාවයක් තියෙනවා නොවේද?

ඔව්. ඒත් අද නවීන තාක්ෂණයට අපි අනුගත විය යුතුයි කියන තැන මම තදින්ම ඉන්නවා. ඒ ගැන කතා දෙකක් නෑ. සිනමාව පවතින්න නම් අපි තාක්ෂණිකව ඉදිරියට යන්න ඕනෑ. අපි තාක්ෂණය එක්ක චිත්‍රපට කළොත් අපිට ඒ තාක්ෂණික විශ්ව කර්මය පෙන්නගන්න ඕනෙ කරනවා. ඒකට ශාලා හිමියන් සූදානම් වෙලා නැත්නම් අපි කරන තාක්ෂණික විශ්ව කර්මයෙන් වැඩක් නැහැ අපි බලාපොරොත්තු වුූ සිනමා රසය ප්‍රේක්ෂකයාට දෙන්න බැරි නම්.

2K සිනමා තාක්ෂණයට අනුගත වූ සිනමා ශාලාවලට ඔබේ චිත්‍රපටය දෙන්නේ නැහැ කියන දේ ද ඔබ ඔය කියන්නේ?

අපි දැනට පිළිගෙන තියෙනවා E  සිනමා තාක්ෂණය අර 2ම් තාක්ෂණයට යනකම්. නමුත් මම කියන 2ම් තාක්ෂණයේ වින්දනය ප්‍රේක්ෂකයාට නැති වුණත්. නමුත් සමහර සිනමා ශාලා තියෙනවා ඡ් සිනමා ප්‍රක්ෂේපනය ඇති සිනමා ශාලාවල තියෙන උපරිම තාක්ෂණයවත් නොගන්නා. ඡ් සිනමා ශාලාවල වෙලාවට බල්බය මාරු කරන්නේ නැත්නම් තිරය පිරිසුදු කරන්නේ නැත්නම් බල්බය කළු වෙලා යනකම් ඉන්නවා නම් ඡ් සිනමාවකින් අපේක්ෂිත තත්ත්වයවත් ලාබගන්න බැහැ. බල්බය මාරු නොකෙරුවොත් චිත්‍රපටය අඳුරුයි.

හෝල් හිමියන් ඇයි ඒ මේ බල්බ් එකවත් නියමිත කාලයේදී මාරු නොකර එය පිළිස්සී යන තුරුම බලා ඉන්නේ?

සමහර විට එයට යන මුදල ඉතිරි කර ගන්න වෙන්න ඇති. එයාලා එහෙම කිරීම තුළ නිර්මාණකරුවාගේ නිර්මාණය ගැන හිතන්නේ නැහැ. ප්‍රේක්ෂකයාට ගුණාත්මක චිත්‍රපටයක් නොලැබීම ගැන හිතන්නේ නැහැ. ඒ වගේම තමයි තිරය දුර්වර්ණ වෙනකම් බලා ඉන්නවා. තිරය අඳුරු වෙලා තියෙන කොට කොහොමද ලස්සන පින්තූරයක් දකින්නේ.

ඔබේ සුනාමි චිත්‍රපටය ඡ් සිනමා ප්‍රක්ෂේපනය ඇති සිනමා ශාලාවන්ට ලබා දෙනවා. නමුත් ඔබගේ කොන්දේසි සමූහයකට යටත්ව?

පැහැදිලිවම ඔව්. මේ සිනමා ශාලාවල අපේ කණ්ඩායමක් තත්ව පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු අපට පිළිගත හැකි ප්‍රක්ෂේපන තත්ත්වයක් තිබේ නම් පමණයි චිත්‍රපටය පෙන්වන්න ලබා දෙන්නේ.

මූලික වශයෙන් ඔබ බලාපොරොත්තු වන දෝස කාරණා මොනවාද?

නිසි කලට බල්බය මාරු නොකිරීම, තිරය දුර්වර්ණ වීම හා ශබ්ද පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකිරීම යන මුලික කරුණු ගැන වගේම ආසන පහසුකම්, පිරිසුදුභාවය, වැසිකිළි පහසුකම්, වාහන නවතා තැබීමේ පහසුකම්, සිනමා ශාලාව තුළ වායු සමීකරණය, විදුලි පංකා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ද, ශාලාව තුළ දොර ජනෙල් හොඳින් වැසී පවතිනවා ද ආදී කාරණා බොහොමයක් ගැන අපි සැලකිලිමත් වෙනවා. සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරින්ගේ පරීක්ෂාවකින් පසු අදාල අවම අවශ්‍යතාවයන් පිළිගත හැකි මට්ටමක තිබෙන සිනමා ශාලාවලට පමණක් සුනාමි මුදාහරින්න අපි කටයුතු කරනවා.

නිර්මාණය ගැන විතරක් නෙවෙයි ඔබ හිතන්නේ ප්‍රේක්ෂකයන් පැත්තෙනුත් සුබදායී දැක්මක ඔබ පසුවන්නේ?

ප්‍රේක්ෂක පහසුකම් ගැන අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා.

අද ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයක් නරඹන්න එන්නේ දුක් විඳගෙන මඩුවක ඉඳගෙන ඒක බලන්න නොවෙයි. අද ටෙලිවිෂන් මාධ්‍ය, අන්තර් ජාලය, හෑන්ඩ්ෆෝන්වලින් චිත්‍රපට බලන ප්‍රේක්ෂක ජනතාවක් අපිට ඉන්නේ. සිනමා ශාලාවකට ප්‍රේක්ෂකයෙක් එන්නේ එයින් පරිබාහිර සිනමා වින්දනයක් ලබන්න. ඒ එන ප්‍රේක්ෂකයාට සිනමාව වින්දනය කරන්න අපි පහසුකම් ලබා දිය යුතුයි. මොනවා හරි සිනමා ශාලාවක චිත්‍රපටය පෙන්නලා සල්ලි උපයන පිළිවෙතේ මම නැහැ. අපි මුදල් පමණක් මෙතනදි බලාපොරොත්තු වෙනවා නම් චිත්‍රපටය පෙන්නලා අපිට සල්ලි දෙනවා නම් අපි ඒක ගන්නවනේ. නමුත් අපි මෙතනදි ප්‍රේක්ෂකයා ගැන හිතනවා. අපි හදපු චිත්‍රපටය හැකි උපරිමයෙන් ප්‍රේක්ෂකයනට පෙන්වීම තමයි අරමුණ. ඒ සඳහා සිනමා ශාලාවල මැදිහත්වීම දායකත්වය අවශ්‍යයයි. ඒ නිසා “සුනාමි” චිත්‍රපටය මුදා හැරීමට පෙර අපි සියලු සිනමා ශාලා හිමියන්ට කියනවා තමන්ගේ සිනමා ශාලාවේ ගුණාත්මකභාවය පිළිගත හැකි උපරිමයකට පත් කරන්න කියලා. එහෙම නොවන කිසිදු සිනමා ශාලාවකට මම සුනාමි චිත්‍රපටය දෙන්නේ නැහැ.

එහෙම නොදී ඉන්න ඔබට අයිතියක් තියෙනවාද?

ඔව්. අපි කාටවත් බැඳිලා නැහැ. අපේ චිත්‍රපටය අපිට ඕනෑ කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ තිරණය මගේ අතේ තියෙන දෙයක්. මම එහෙම කරන්නේ ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනය ගැන හිතන නිසයි.

E  සිනමාව කියන දේ යල් පැන ගිය ක්‍රමයක් නොවේද?

දකුණු ඉන්දියාවේ සිනමා ශාලාවලින් අයින් කරලා දාපු ක්‍රමවේදයක්. එහෙන් අයින් කරපු දේ තමයි මෙහේ ලාබෙට පෙන්වන්නේ. මම නම් කියන්නේ දකුණු ඉන්දියාවෙන් විතරක් නෙවෙයි මුළු ලෝකයෙන්ම අයින් කරන්න ඕනෑ තාක්ෂණයක් මේක. මේ ඡ් සිනමා තාක්ෂණය එතරම් හොඳ තාක්ෂණයක් නෙවෙයි. නමුත් අපි සිනමා ශාලා හිමියන්ට සහනයක් වශයෙන් 2ම් තාක්ෂණයට මාරු වෙනකන් මේක අපි අනුමත කරනවා. හැබැයි හැකි ඉක්මනින් 2ම් තාක්ෂණයට මාරු විය යුතුයි. හෝල් හිමියන්ට කල් මරන්න කාලයක් නැහැ.

හෝල් හිමියෝ 2ම් තාක්ෂණයට මාරු නොවෙනවා නම්?

උත්සාහයක්වත් නොගන්න අය ඉන්නවා. මම කියන්නේ සිනමාව කියන්නේ මුදල් අයෝජනය නොකර ලාබ ලබන්න

පුළුවන් ව්‍යාපාරයක් නොවෙයි කියන එකයි. සිනමාව කියන්නේ හොඳට මුදල්

ආයෝජනය කරලා හොඳට මුදල්

උපයන්න තියෙන කර්මාන්තයක් හා කලාවක්. නිෂ්පාදකයින් හැටියට අනික් අය කොහොමද කියන්න මම දන්නේ නැහැ. අපි ඒ දේ කරනවා. නිෂ්පාදකයෝ හැටියට අපි තියෙන උපරිම තාක්ෂණය කරා යන්න අවදානමක් අරගෙන වියදම් කරනවා. අපි කියන්නේ සිනමා ශාලා හිමියන්ට තමන්ගේ සිනමා ශාලාවලට ඒ උපරිම ආයෝජනය කරන්න. එහෙම නොවුණොත් සිනමා කර්මාන්තය තුළ රැඳී පැවතීමක් නැහැ. තමන්ගේ සිනමා ශාලාවට ප්‍රේක්ෂකයෝ එන්නේ නැති වෙයි. අද නවීන තාක්ෂණයේ සිනමා ශාලා තැනින් තැන ඉදිවෙනවා. ඒවා හොයාගෙන ප්‍රේක්ෂකයෝ යනවා. නවීකරණය ගැන හිතන් නැතුව යාවත්කාලීනවීමක් ගැන හිතන්නේ නැති සිනමා ශාලා හිමියන්ට වන්නේ පඩුවක්. එයාලට ප්‍රේක්ෂකයේ අඩු වෙනවා.

“සුනාමි” චිත්‍රපටය කොපමණ සිනමා ශාලා ප්‍රමාණයක තිරගත කරන්නද අපේක්ෂාව?

මේ වෙන කොට සිංහල චිත්‍රපට පෙන්වන සිනමා ශාලා 120 ක් විතර තියෙනවා. ඒ වගේම දෙමළ චිත්‍රපට පෙන්වන සිනමා ශාලා කීපයක් තියෙනවා. මේ හැම සිනමා ශාලාවකින්ම මගේ සුනාමි චිත්‍රපටයට ඉල්ලුමක් තියෙනවා. ඊ. ඒ. පී. සැවෝයි මණ්ඩලය ප්‍රධාන කොට සුනාමි චිත්‍රපටය මුදා හැරියත් ඕනෑම මණ්ඩලයක සිනමා ශාලාවක අවශ්‍ය නම් ඔවුන්ගේ ඉල්ලීම් පරිදි පවතින සම්මත නීති රීතිවලට යටත්ව අපේ අවම සුදුසුකම් සපුරා ඇති ඕනෑම සිනමා ශාලා හිමියෙකුට ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලබා දෙනවා. මගේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයක් තියෙනවා නම් මම කියන්නේ සිනමා ශාලා හිමියන්ට තමන්ගේ සිනමා ශාලා නවීකරණය කරගෙන මාත් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

ඔබේ චිත්‍රපටය භාෂා තුනකින් නිර්මිතයි.? මේ චිත්‍රපටය මිශ්‍ර භාෂිත චිත්‍රපටයක්. සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය කරලා තියෙනවා. දෙමළ සබ් ටයිටල් ඉංග්‍රීසි සබ් ටයිටල් ඇතුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර් ජාතික සිනමා රසිකයන්ට මේ චිත්‍රපටය රස විඳින්නත් පුළුවන්. මේ චිත්‍රපටය සිංහල චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න බැහැ. මේක සිංහල, දෙමළ භාෂා දෙකක් මිශ්‍රිත චිත්‍රපටයක්. දෙමළ චිත්‍රපට පෙන්වන හෝල්වල දෙමළ භාෂාවේ සබ් ටයිටල් ඇතුව තිරගත කරන්නත් පුළුවන්.

වවුල්ලු ලැගපු ප්‍රේක්ෂකයෝ නැතිව සිටි සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයෝ රොද බැඳ ආකර්ෂණය කළ සිනමාකරුවකු ලෙස ඔබ නමක් දිනූ නිර්මාණකරුවෙක්. දැන් ඔබ සුනාමි හරහා උත්සාහයක නියැළෙනවා ගුණාත්මකබවෙන් යුත් සිනමා ශාලා ඇති කරලන්නට. එසේ නොවන සිනමා ශාලාවන්ට ඔබේ චිත්‍රපටය ලබා නොදෙන්න තරම් ඔබ දැඩි තීරණයක ඉන්නවා. මෙය නිර්මාණකරුවකු ලෙස ඔබට පාඩුවක් නොවෙයිද?

මම ඉන්න පිළිවෙතට හැමෝටම අනුගත වෙන්න බැහැ. බැරි හේතුවක් තියෙනවා. හුඟක් චිත්‍රපටවලට ප්‍රේක්ෂක ඉල්ලුමක් නැති චිත්‍රපට තියෙනවා. ඒ අයට ඕනෑ මොකක් හරි පෙන්නලා කාට හරි දීලා එහෙම නැත්නම් සිනමා ශාලා පස්සෙන් ගිහිල්ලා හරි තමන්ගේ චිත්‍රපටය පෙන්න ගන්න. ඒක හින්දා ඒ අය චිත්‍රපට ශාලාවල ගුණාත්මකභාවය ගැන හොයන්නේ නැහැ. තමන්ගේ චිත්‍රපටය නුසුදුසු හෝල්වලට දෙන්නේ නෑ කියලා කියන්නෙත් නැහැ. නමුත් මට තියෙන්නේ ඒකේ අනික් පැත්ත. අද සිනමාශාල හිමිකරුවෝ මගේ පස්සෙන් එනවා චිත්‍රපටය පෙන්වන්න දෙන්න කියලා. මේක මට මගේ පම්පෝරිය කියන්න ආඩම්බරයට කියන දෙයක් නෙවෙයි. ඒක තමයි සත්‍යය. මම ඒක අවස්ථාවක් කර ගන්නවා මට තියෙන ඒ ඉල්ලුම සමස්ත දේශීය සිනමාවට, කර්මාන්තයට යහපතක් සඳහා වෙනසක් කරන්න. මම මීට කලිනුත් එහෙම කළා. මම කලින් කරපු චිත්‍රපට තිරගත කරද්දී කිව්වා මි. මී. 35 පිටපත් ගහන්නෙත් නැහැ, ගැහුවෙත් නැහැ. ඒ අවස්ථාවේ සමහර සිනමා ශාලා හිමියන් සිනමා මණ්ඩල මාත් එක්ක තරහ වුණා. මේ සුනාමි චිත්‍රපටයත් මි. මී. 35 පිටපත් මුද්‍රණය කරන්නේ නැහැ. ඒකට හේතුව මි. මී. 35 තාක්ෂණය අද ලෝකයේ අතහැරලා දාපු මිය ගිය තාක්ෂණයක්.

ඔබ “සුනාමි” චිත්‍රපටයෙන් පසු වෙනත් නිර්මාණයක් කිරීමෙන් පසු මේ E  සිනමා ශාලා සම් ප්‍රදායටත් සමු දෙනවද?

සමහර විට ලබන අවුරුද්දේ නව නිර්මාණයක් කරන විට මම ඒ දේ කරයි. ඡ් සිනමාව කියන දේ අපිට පිළිගන්න බැහැ. මම කියන්නේ සිනමාව කියන්නේ මුදල් ආයෝජනය කර ලාබ ලබන්න පුළුවන් කර්මාන්තයක්. එහෙම කරන්න බැරි නම් ඒ අය මෙයින් ඉවත් විය යුතුයි. චිත්‍රපට හදන අයටත් චිත්‍රපට පෙන්වන අයටත් මම කියන්නේ තුට්ටු දෙකට වියදම් කරලා චිත්‍රපට හදන්න එපා. ඒක ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක්. චිත්‍රපටයට සාධාරණයක් වෙන විදියට වියදම් කරන්න ඕනේ. අපි සුනාමි රැල්ලක් කියලා මුහුදු රැල්ලක් පෙන්නලා වැඩක් නැහැනේ. අපි සුනාමි රැල්ල හදන්න ඕනේ. කොටියෙක් පෙන්වන්න ඕනෑ තැනට පූසෙක් පෙන්නලා වැඩක් නෑනේ. මම කියන්නේ ප්‍රේක්ෂකයා රවට්ටන්න එපා කියලා. චිත්‍රපට නිෂ්පාදකයන්ටත් මම කියනවා සිනමා ශාලා හිමියන්ටත් මම කියනවා අපේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ හරි බුද්ධිමත්. ලෝක සිනමාව ගැන දන්න, අන්තර් ජාලයේ චිත්‍රපට බලපු හොඳ බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් අපිට ඉන්නේ. ඒ අයට අපි සලකන්න ඕනෑ. මම ඉල්ලීමක් කරනවා අනෙක් චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් අධ්‍යක්ෂවරුන්ගෙන් මම ඉන්න පිළිවෙතට අනුගත වෙන්න කියලා.

සෝමරත්න - රේණුකා සුසංයෝගයේ දැවැන්ත සිනමා නිර්මාණය වූ සුනාමි කවදාද සිනමාහල් පුරා දොගොඩ තලා ගලා යන්නේ?

දැනට ඊ. ඒ. පී. මණ්ඩලය ප්‍රධාන කොට ප්‍රදර්ශනය වන ‘රශ්’ චිත්‍රපටයට පසු “සුනාමි” එම මණ්ඩලයේ ප්‍රදර්ශනයට සුදානම්. දැනට ප්‍රදර්ශනය වන රශ් චිත්‍රපටයේ ප්‍රේක්ෂක ඉල්ලුමට අනුව ප්‍රදර්ශනය වන තාක් කල් එයට ඉඩ දී බලපෑම් නොකර එම චිත්‍රපටයේ පළමු ප්‍රදර්ශන වාරය අවසන් වනතුරු සිට “සුනාමි” ප්‍රදර්ශන දිනය තීරණය කරනවා. සිනමා රසිකයන්ටත් මම කියන්නේ හොඳ තාක්ෂණය තියෙන හොඳ සිනමා ශාලාවකට ගිහින් අපේ චිත්‍රපටය බලන්න උපරිම වින්දනය අවශ්‍ය නම්. සමහර හෝල්වලට මම එහෙම කිව්වම පාඩු වෙයි. ඒකට මට කරන්න දෙයක් නැහැ. චිත්‍රපටයේ උපරිම වින්දනය සඳහා යහපත් සිනමා වින්දනයක් තියෙන සිනමා ශාලාවකට ඔබ යන්න. අපට අවශ්‍ය වන්නේ කුමන තත්ත්වයක් යටතේ හෝ කෙසේ හෝ චිත්‍රපටය ප්‍රදර්ශනය කර ප්‍රේක්ෂකයින්ගෙන් මුදල් උපයා ගැනීම නොව ප්‍රවේශ පත්‍රය සඳහා ප්‍රේක්ෂකයා ගෙවන මුදලට සාධාරණ සිනමා වින්දනයක් ප්‍රේක්ෂකයාට ලබා දීමයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.