හදන එක නෙවෙයි පෙන්නන එකයි ප්‍රශ්නේ

උළලේණි හැදූ හේමන්ත ප්‍රසාද්
දෙසැම්බර් 26, 2019

හේමන්ත ප්‍රසාද් යනු වේදිකාවට අතිශයින් ලොබ බැඳි නිර්මාණකරුවෙකි. සමකාලීන වේදිකාව අතැර වැඩි වශයෙන් පුංචි තිරයට පිවිසෙද්දී ඔහු එසේ කළේ නැත. ටෙලි නාට්‍ය සඳහා ලැබෙන ඇරැයුම් නිරන්තරයෙන් හේමන්ත ප්‍රතික්ෂේප කරනු ලැබුවේ වේදිකාවේ රැඳී සිටිනු පිණිසය. මේ සොඳුරු නිර්මාණකරුවා සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන ලදී. එයට නම තබා ඇත්තේ උළලේණි ලෙසිනි. මේ දිනවලදී එය ප්‍රදර්ශනයට මුදා හැර තිබේ. වේදිකාවේ රැඳුණු වේදිකාව වෙනුවෙන් බොහෝ නිර්මාණ කළ හේමන්ත ප්‍රසාද් සිනමාව හා ගනුදෙනු කළේ කොහොමද කියා අපි විමසීමක් කළෙමු. මේ ඔහු ඊට ලබා දුන් පිළිතුරු සටහනයි.

හේමන්ත උළලේණි සිනමාපටය තැනුන අන්දම, ඇයි මේ ගණයේ නිර්මාණයක් කළේ කියන කාරණාව පළමුව කතා කරමු?

මේ ශානරයේ චිත්‍රපට හැදුණා හරි අඩුයි. ඒකාකාරී සිනමා රටාවක් ඉකුත් දිනවලදී මා දැක්කා. සයිකොලොජි පැත්ත කතාබහ වන නිර්මාණයක් තැනීමට මං උනන්දු වුණේ එකයි. උළලේණි චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත් මමයි. ඒ හින්දා තවත් පැති කිහිපයක් ගැන හිතන්න වුණා. මගේ ධාරිතාවයට අනුව චිත්‍රපටය නිර්මාණය විය යුතුයි. සීමිත නළු නිළියන් සංඛ්‍යාවක් යොදා ගත්තේ ඒකයි. තුන් දෙනයි මේකෙ රඟපාන්නේ.ගයනි ගිසන්තිකා, සංජීව උපේ්න්ද්‍ර සහ චමීර ලියනගේ තමයි නළු නිළියෝ.

චිත්‍රපටයට උළලේණි වගේ නමක් තිබ්බේ?

උළලේණි නමේම තියෙනවානේ පොඩි අසුබාදී ගතියක්. උළලේනෙක් ඇඬුවොත් මොකක් හරි අසුබවාදී දෙයක් වෙනවා කියලා මතයකුත් තියෙනවානේ. ගුප්ත හැඟීමක් එන්න තමයි ඒ නම තිබ්බේ. උළලේනා උළලේණි කළේ ස්ත්‍රී ලිංගිකභාවයක් දෙන්න. චිත්‍රපටය පුරා ස්ත්‍රී පාර්ශවයට වැඩි ඉඩක් දෙනවා. චිත්‍රපටය නැරැඹුවාම දැනේවි ඒ නම කොච්චර කතාවට සමීපද කියලා.

වේදිකාවේ රැඳී සිටි ඔබ සිනමාපටයක් නිර්මාණය කළා. මේ මේ මාධ්‍යයන් තුළ ඔබට දැනුණ වෙනස කොහොමද, මොන වගේ අත්දැකීම් ටිකක් ද ලැබුවේ?

මාධ්‍ය දෙකේ ලොකු වෙනසක් මට දැනුණේ නැහැ නිර්මාණය කරද්දී. නළු නිළියන් හැසිරවීමේ ඉඳලා බොහෝ තැන්වල මට සමානකම් දැනුණ. මොන මාධ්‍යයක් තුළ නිර්මාණයක් කළත් එක වගේ මහන්සි වෙන්න වෙනවා. චිත්‍රපට මාධ්‍යයේ අවුල පටන් ගන්නේ චිත්‍රපටය නිර්මාණය කරලා ඉවර වෙලා ප්‍රදර්ශනය කරන්න යද්දී. වේදිකා නාට්‍යයක් එහෙම නැහැ. වේදිකා ගත කරන්න හරිම ලෙහෙසියි. චිත්‍රපටයක් ප්‍රදර්ශනය අති දුෂ්කරයි කියලා දැනුණා. අප්‍රමාණව වෙහෙසක් දරන්න ඕනෑ තිරගත කරගන්න. මං මේක බය නැතුව කියනවා, ඔයත් මේක එහෙම්මම ලියන්න. චිත්‍රපට සංස්ථාවෙන් උලලේණි චිත්‍රපටය ප්‍රදර්ශනයට වඩා ප්‍රදර්ශනය නොකර ඉන්න තමයි වැඩිපුර ක්‍රියා මාර්ග ගත්තේ. ඇයි දන්නේ නැහැ නිර්මාණකරුවන්ට එහෙම සලකන්නේ.

ආයෙ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පෙර දෙවතාවක් හිතනවාද?

හිතන්න දෙයක් නැහැ. මං චිත්‍රපට හදනවා. නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පුළුවන් එතකොට. නැත්නම් අපි මේකෙන් අයින් වෙලා හිටියොත් අපිට කෙනෙහිලිකම් කරපු අනෙක් අය දිනනවනෙ. එයාලට කරගන්න ඕනෙත් මං හිතන්නේ ඒක තමයි.

ඔබ බලපොරොත්තු වූ පරිදි ශාලා ලැබුණද?

එතෙන්දිත් අසාධාරණයක් වුණා. දවස් පහක් විතර තමයි සමහර හෝල් ලැබුණේ. ඒ වගේම මට තව ලොකු අවාසියක් වුණා. මෙයාලා එක ළඟ චිත්‍රපට රාශියක් මුදා හැරියනෙ. මේ නිසා හැම චිත්‍රපටයකටම අසාධාරණයක් වුණා. විශේෂයෙන්ම අපි වගේ ගැප් රිලීස් යන අය. මුදල් වාර්තා බැලුවොත් උළලේණි සඳහා හොඳ කලෙක්ෂන් එකකුත් තියෙනවා. මට ඒවා පෙන්නන්න වුණත් පුළුවන්.

උළලේණි රූපගත කිරීම් අතරතුරදී ඔබට වඩාත් මතක සිදුවීම මොකක්ද කියලා මං ඇහැව්වොත්?

මට අවශ්‍ය වුණා වැසි දවසක් රූපගත කරන්න. ඒකට අපි කෘත්‍රිම වැස්සක් ඇති කළා. මේ දර්ශනයට චිත්‍රපටයේ රඟපාපු ආර්ටිස්ලා තුන් දෙනාම හිටියා. සවස් යාමයේ ඉඳලා පාන්දර පහ විතර වෙනකම් වැස්සෙ තෙමි තෙමී රඟපාන්න සිද්ධ වුණා. මට ඒ දර්ශනය රූපගත කරපු අන්දම කිසිම දිනයක අමතක වෙන්නේ නැහැ.

ඔබ ටෙලි නාට්‍ය රංගනයෙන් ඉවත් වෙලා?

මෙගා කියන නාට්‍ය කාණ්ඩයෙන් මං අයින් වෙලා ගොඩක් කල්. අනෙක් නාට්‍යයත් කරන්න බැරි වුණා ලෝරන්ස්ගේ මනමාලි නාට්‍ය නිසා. ඒ නාට්‍යයේ විදෙස් දර්ශන කිහිපයක්ම තිබුණා. මෙරට දර්ශනත් නිරන්තරයෙන් තියෙනවනෙ. ඒකට දුන්නු දිනවල වෙනත් වැඩ දාගන්න බැහැ. ටෙලි නාට්‍ය කළේ නැත්තේ ඒකයි.

ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න හිතක් නැද්ද?

ටෙලි නාට්‍යයක් කරලා ඉවරවෙලා ප්‍රදර්ශනයේදී ගැටලු මතු වෙනවනෙ. ඒවා කරලා තේරුමක් නැහැ. දිගු වේදිකා නාට්‍යයක් කරනවා ළඟදීම. චිත්‍රපටත් නිර්මාණය කෙරේවි මං අතින්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.