උදයකාන්ත මෙතනින් කොයිබටද? ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්

දෙසැම්බර් 26, 2019

සිනමාවේ පැවැත්ම හා ප්‍රගතිය සුරක්ෂිත කරනු පිණිස සාක්ෂාත් කර ගත යුතු ප්‍රමුඛත ම කොන්දේසි අරභයා කෙරෙන සාකච්ඡා, සම්මන්ත්‍රණ හා පෙනී සිටීම් බොහෝ ය. කෙසේ නමුදු මෙතැනදී මඟ හැරෙන හා මඟ හැරීමට ඉඩ ඇති කොන්දේසි ද පවතින බව පැහැදිලි ය. ඉන් මුල් තැනකට එන්නේ සිනමාව අවස්ථෝචිතව මෙන් ම කාලානුරූපවද ඒකාකාර නො වන හැසිරීමක් ප්‍රකට කළ යුතුය යන්න ය. මෙතැනට හැම ආකාරයකම සිනමාපටද, සිනමාපට මාදිලි ද එක්කර ගැනීම වැදගත් වේ.

පැවැත්ම හා ප්‍රගතිය විෂයෙහි සිනමාව මුහුණ දුන් අභියෝග පසුපසද, ඒවා ජය ගැනීම පසුපස ද උක්ත පසුබිම නො පවතින්නේ යැයි පැවසීම අසීරු ය. කෙසේ නමුත් අධි නිශ්චිය වන්නේ ම සිනමාව කලාත්මක හා සම්භාවනීය ආකාරයෙන් භාවිත කරලන්නට උත්සුක වූ සිනමාපටයි. සිනමාපට මාදිලියි.

උදයකාන්ත වර්ණසූරිය ලාංකේය සිනමාව විෂයෙහි නිරූපණය කරන්නේ සිනමාවේ පැවැත්ම හා ප්‍රගතිය වෙනුවෙන් ඒකාකාර පිළිවෙත් අනුගමනය නොකරන්නට උනන්දුවන්නකුගේ චරිතයයි. මුල් සමයේදී නම් ඔහුගේ සිනමා භාවිතය දෘශ්‍යමාන ඒකකාර බවක් පෙන්නුම් කළ වග පෙනේ. අද වන විට නම් ඔහු ඉන් මඳක් බැහැර වී සිටින ආකාරයෙකි.

‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ නමැති ඔහුගේ නවතම සිනමාපටය අද දවසේදී සිනමා ශාලා කරා එන්නේ ඊට අදාළව ය. උදයකාන්ත මෙතැනින් කොයිබටද යන ප්‍රශ්නය ඒ හාම පැනනගින්නට ඉඩ තිබේ. එසේ වුවත් ඔහුගේ මීළග සිනමා අධ්‍යක්ෂණ කාර්යයන් පිළිබඳ තොරතුරු නිර්බාධිතව වාර්තා වන්නේ එම ප්‍රශ්නයට අභියෝගයක් වෙමිනි. ඉන් කියැවෙන්නේ උදයකාන්ත “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ සමඟ වෙනස්වීමේ හා නොවෙනස්ව සිටීමේ අභිප්‍රායන් එක්විටම ප්‍රදර්ශනය කළ බවයි.

‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ මාදිලියේ ම සිනමාපටයක් ලාංකේය සිනමාවට මීට ප්‍රථම එක් නොවූ වග සත්‍යයකි. නමුත් ඊට කිට්ටු සිනමාපටයක් නම් සිනාම ශාලා කරා ආ අවස්ථාවක් තිබිණ. ඒ ‘ඩාන්සින් ස්ටාර්’ ය. කෙසේ නමුදු ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ හා ‘ඩාන්සින් ස්ටාර්’ සැසඳීම කිසිසේත්ම ප්‍රඥාගෝචර නොවේ. විශේෂයෙන්ම ඒ මෙම සිනමාපට ද්විත්වයට අදාළ අරමුණු අතර සාම්‍යයක් නො පවතින හෙයිනි.

‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ දිවෙන්නේ රූපවාහිනී නාළිකාවක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ඔස්සේ ය. සුපිරි ගායන තරු, සුපිරි නර්තන තරු තෝරා ගැනෙන ආධුනික සහභාගිත්වය සහිත බොහෝ රූපවාහිනී ව්‍යාපෘති ඵලදායි ඉසව් කරා කෙතෙක් දුරට ගමන් කරන්නෙ දැයි යන්න ප්‍රශ්නයකි. එක් අතකට මෙබඳු ව්‍යාපෘති අභිනව නිර්මාණ කෙරෙහි දක්වන උනන්දුව කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. උදයකාන්ත ව්‍යංඝයෙන් මේ සැබෑව සිනමාපටයේ ස්ථාන ගණනාවකදී ම සනිටුහන් කරයි.

රූපවාහිනී නාළිකාවේ පරිශ්‍රයෙන් ඔබ්බට යාම පිණිස උදයකාන්තගේ තිර නාටකය සානුබල සපයන වගක් නොපෙනේ. මෙහෙයින් යම් වෙහෙසකර බවක් පැන නගින අන්දම පැහැදිලි ය. විනෝදාත්මක සිනමාවට රුචි පේ‍්‍රක්ෂකයෝ වෙහෙසකර අත්දැකීම් පි‍්‍රය නොකරති. කවුරුත් දන්නා සිදුවීම් ද, උපකල්පන ද නිරූපිත නාට්‍යමය අවස්ථා ගෙන හැර පෑමට උදයකාන්ත දැක්වූ කැමැත්ත වටහා ගන්නේ විනෝදාත්මක සිනමාවේ විවිධත්වයක් කෙරෙහි උනන්දු වන පේ‍්‍රක්ෂකයන් ය. තවදුරටත් මේ සුළුතරයකි. මීට ප්‍රථමද උදයකාන්ත මොවුන් ම අමතන්නට පසුබට නොවු බව රහසක් නොවේ. මෙයින් පෙනී යන්නේ උදයකාන්ත සමකාලීන විනෝදාත්මක සිනමාවට නවතාවක් හඳුන්වාදීමට සම්ප්‍රදායයන්ගේ ඇල්ම බැල්මද සහිතව උත්සාහ කරන බවය.

ප්‍රමුඛ තරඟකරුවන්ගේ පෞද්ගලික ජීවිතයෙන් බිඳක් නිරූපණයට උදයකාන්ත දැක්වූ සූදානම ගළපා ගත යුත්තේ ඉහත පසුබිම කෙරෙහි සැලකිලිමත් වෙමිනි. මෙය සුලබ ඒකාකාර බව යටතේ කිරීමේ භාවාතිශ මැදිහත්වීමක් සේ නිර්වචනය කිරීමට පුළුවන. විශේෂයෙන් ම එක් තරගකරුවකුගේ කුටුම්බ ප්‍රාර්ථනා මෙහිදී කැපී පෙනේ. මෙබඳු අවස්ථා උදයකාන්තගේ ඇතැම් පූර්ව සිනමාපට සිහිගන්වන සුලු ය.

දේශපාලනඥයන් හා ඔවුනගෙ ප්‍රතිපත්ති ආදිය හාස්‍යයටත්, අභියෝගයටත් ලක් කිරීම යම් සිනමාපටයක් උදෙසා වන පේ‍්‍රක්ෂක සහභාගීත්වය තීව්‍ර කරලීමට පිටිවහලක් වන බව පිළිබිඹු කරන්නටද, ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ වෑයම් කරයි. විවාදාත්මක හා නිර්මාණශීලි දේශපාලන සිනමාපටයකදී මෙවැනි පිවිසුම් හසු කරගන්නේ විද්වත් පේ‍්‍රක්ෂකයන් ය. අවශ්‍ය නම් උදයකාන්ත මෙතෙක් නිර්මාණය කළ වඩාත්ම සාර්ථක සිනමා පටයක් විය හැකි ‘රාජ්‍ය සේවය පිණිසයි” මෙතැනට එක් කළ හැකිවේ. එහෙත් ඒ උක්ත කාරණයට අදාළ ව පමණක් විය යුතුය. ඒ විනා මේ සිනමාපට ද්විත්වය එකම තලයක රඳවාලීමට පියවර ගත යුතු නොවේ.

සරල හා නොගැඹුරු දැක්මකින්ද, විනෝදාස්වාදය සැපයීම මුල් කර ගනිමින්ද නිර්මාණය කෙරෙන දේශපාලනික කාරණා අඩංගු සිනමාපට පල්වල ඉහගන කන්නේය යන චෝදනාවට ලක්වීමේ ඉඩ කඩ අතිමහත් ය. සිය සමත්කම් හා අත්දැකීම් නිසා උදයකාන්ත මේ චෝදනාවෙන් ගැලවෙන්නේ යාන්තමිනි. ‘රාජ්‍ය සේවය පිණිසයි’ සේම ‘ගිනි අවි සහ ගිනි කෙළිද’ ‘රන් දිය දහර’ ද ඔහුව බේරා ගන්නට නොපැකිළෙන ඔහුගේම සිනමාපට ය.

අවසාන වටය සඳහා තෝරා ගන්නා තරඟකරුවන් තිදෙනා හඳුන්වා දෙන්නේ තෙයාකාරයකිනි. ජයග්‍රහණය උණුසුම් කරලීමට මේ අනඟි සහයකි. එක් තරඟකරුවකු අතිශය නිරවද්‍ය වූ පිළිවෙත් ස්ථිතික ආකෘතියක බහා ඉදිරිපත් කරයි. මීළග තරගකරු වඩා මෘදු පිළිවෙතක පිහිටයි. දිගුකාලීන ජයග්‍රහණ වෙනුවෙන් සමකාලීන පරාජය වීම් ඉවසන්නට ඔහු සූදානම් ය. තරඟාවලියේ ජයග්‍රාහකයා තෙවැන්නායි. ජයග්‍රාහක තෙවැන්නාගේ දැක්ම පසුගාමීය. වඩා තර්කානුකූලය. වඩා ප්‍රායෝගික ය. පේ‍්‍රක්ෂකයන්ගේ කෙටි පණිවුඩ මනාපය ඔහුට හිමි වීම අරුමයක් නොවේ.

තරඟාවලියේ අවසාන වටයට පැමිණෙන තිදෙනාගේ පිළිවෙත් ද, ජයග්‍රහණය පිළිබඳ තීන්දුද සමඟ සිනමාපටය යම් සාකච්ඡා මේසයක් මත තබන්නට උදයකාන්ත සමත් වෙයි. එනම් ජයග්‍රාහකයා හා පරාජිතයන් සමාජය විෂයෙහි දේශපාලනිකව කියැවීමේ අභිප්‍රාය සමඟය. ඉන් කියැවෙන්නේ උදයකාන්ත සිනමාපටය විසින් සකස් කර දෙනු ලැබූ මාර්ගයේ කෙළවර පෙනෙන තෙක්ම ගමන් කොට ඇති බවයි.

උදයකාන්තගේ ඇතැම් සිනමාපට ප්‍රකාශයට පත් කෙරුණේ ප්‍රමිතිය යන්න කෙරෙහි සැබැවින්ම සැලකිලිමත් වෙමිනි. එතැන සරල හාස්‍යයට ඉඩ කඩ විවර කර දුන් අවස්ථාද පවතී. එසේම කඩිමුඩියේ නිර්මාණය කළේ යැයි හැඟෙන සිනමාපටද ඔහුගේ නමින් දත හැකිවේ. අවසානාවකට ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ රැඳී ඇත්තේ මෙසේ කඩිමුඩියේ නිර්මාණය කළේ යැයි හැඟෙන සිනමාපට අතර ය. මෙවැනි තීරණ නිසා ඔහු උපයාගත් පිළිගැනීම අර්බුදකාරී වන්නටද ඉඩ තිබේ.

 

 

Add new comment