2020 තිරයට එන අපේ චිත්‍රපට

ජනවාරි 2, 2020

උදා වූ නව වසරේ රිදී තිරය සරසන්න සූදානම් වන සිනමාපට මොනවාද කියා දැන ගැනීමට ඔබ උනන්දු වන බව අපි දනිමු. මේ ලියැවෙන්නේ ඒ පිළිබඳ වූ සටහනකි.

ඉකුත් වසරේ දෙසැම්බර් 26 වැනිදා සිට සිනමාපටයක් තිරගත වන්නට සියලු වැඩ කටයුතු සකස් කොට තිබිණ. එයට ලබා දුන් අති විශාල ප්‍රචාරය නිසා එය නැරැඹීමට බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් පසු විය. ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සුනාමි එම සිනමාපටයයි. ඔහුගේ ප්‍රිය බිරිය රේණුකා බාලසූරිය එය නිෂ්පාදනය කරන ලදී. කෙසේ වෙතත් සුවහසක් සිනමාලෝලීන්ගේ බලාපොරොත්තු මධ්‍යයේ සුනාමි තව සති කිහිපයකින් තිරගතවීමට නියමිතව තිබේ. ජැක්සන් ඇන්තනි මෙතෙක් නිම වූ සිනමාපටවලින් හාත්පසින්ම වෙනස් මඟක් ගත් එකගෙයි සොකරිය ද මෙම වසරේ තිරගතවීමට සූදානමිනි. විල්සන් කරුණාරත්න, සජිත අනුත්තර, උදාරි වර්ණකුලසූරිය, රුවන් පෙරේරා, අකිල ධනුද්ධර, සෙනාලි ෆොන්සේකා ඇතුළු නළු නිළියන් රැසක් එහි රංගනයේ යෙදෙති. පසුගිය වසරේදී තිරගතවීමට නියමිතව තිබූ කන්දක් සේ මා චිත්‍රපටය මෙම වසරේ තිරගත වන බව දැනගන්නට ලැබෙයි. සම්මානනීය ගත් කතුවරියක වන සුමිත්‍රා රාහුබද්ධගේ එනමින් ඇති ග්‍රන්ථය පදනම් කර ගනිමින් එය නිර්මාණය වී තිබේ. නිරෝෂා පෙරේරා, දිනෙත් ද සිල්වා මෙහි ප්‍රධාන චරිත මවන අතර කන්දක් සේ මා සිනමාපටය අශෝක ආතවුද හෙට්ටිගේ අධ්‍යක්ෂණයකි. තමන් නිර්මාණය කළ සියලුම සිනමාපට සඳහා සම්මාන හිමිකරගත් ප්‍රසන්න විතානගේ තැනූ ගාඩි සිනමාපටය මෙම වසරේදී තිරගත වන සිනමාපට ලැයිස්තුවේ ඉහළින්ම තිබේ. ගාඩි සමඟින් තවත් නවක තාරකාවියක් සිනමාවට ප්‍රසන්න හඳුන්වා දෙයි. ඇය ධිනාරා පුංචිහේවාය. 2019 වසරේ ආසියාවේ තැනූ චිත්‍රපට අතරින් නැරඹිය යුතුම චිත්‍රපටවලින් එකක් ලෙස ජාත්‍යන්තර විචාරකයින් පවසා ඇත.

ගිරිරාජ් කෞශල්‍ය ප්‍රහසන කතා රචකයකු ලෙසට ප්‍රකටය. ඔහු අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් එනතුරු බොහෝ සිනමාලෝලීන් මඟ බලා සිටින්නේ එහෙයිනි. මෙම වසරේදී ගිරා නිර්මාණය කළ සිනමාපටයක් තිරගත වේ. ඒ කතුරු මිතුරුය. ආලංකුලම චිත්‍රපට වෙනුවෙන් බාසුරු සිරිවර්ධන එය නිෂ්පාදනය කොට තිබේ. ගින්දරී සිනමාපටය නරඹා ආනන්දයට පත් වූ සිනමා ලෝලීනට ගින්දරී 2 තිළිණ කරන්නට උදයකාන්ත වර්ණසූරිය සූදානමිනි. එය ද නොබෝ දිනකින් අපට නැරැඹය හැකිය. ගින්දරී 2 සිනමාපටයේද ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ පබෝධා සන්දීපනීය. සූජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කළ සුපර්ණා සිනමාපටයද තිරයට එනවග දැනගන්නට ලැබිණි. වෙනස්ම කතාපුවතකින් සමන්විත එහි ප්‍රධාන චරිතය දූලීකා මාරපන විසින් රඟනු ලබයි. චින්තන ධර්මදාස නිර්මාණය කළ ඇවිලෙන සුළුයි සිනමාපටය මෙම වසරේ තිරගත වේ. වෙනස්ම ආරක කතා පුවතක් රැගත් එම සිනමාපටය මෙන්ම කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සුස්ති සිනමාපටය ද තිරගතවීමට නියමිතය. ඇවිලෙන සුළුයි චිත්‍රපටයේ ශ්‍යාමි ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිත රඟන අතර සමනලී සහ කලණ ගුණසේකර සුස්ති සිනමාපටයේ ප්‍රධාන චරිත රඟති

නාලක විතානගේ නිර්මාණය කළ නවතම සිනමාපටය ඊතලය තිරයට එන්නේ මෙම වසරේදීය. කැලුම් ආර්යන් කුලරත්න, චමත්කා ලක්මිණි, ෂෙහානි පෙරේරා මෙහි ප්‍රධාන චරිත රංගනයේ යෙදෙති. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසට ක්ෂේත්‍රයේ කටයුතු කරන චන්දන එදිරිසිංහ සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත් වූ ශෙලීනා සිනමාපටය මෙම වසරේදී තිරගතවීමට නියමිතය. ජීවන් කුමාරතුංග එහි ප්‍රධාන චරිතය රඟපානු ලබයි. සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම තිරකතා රචකයකු ද වූ රිහාන් රවීන්ද්‍ර සිනමාපටයක් නිර්මාණය කොට තිබේ. ගිනියම් යාමය ලෙසට නම තබා ඇති එය ද මෙම වසරේදී තිරගතවීමට නියමිතව තිබේ. ක්‍රිෂාන්ත වීරමන් නිර්මාණය කළ කුමරු ඡත්ත මානවක සිනමාපටය ද එළඹෙන වෙසක් මසදී තිරයට පැමිණීමට නියමිතය. එය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

(මෙම තොරතුරු ප්‍රදර්ශක සමාගම් මඟින් ලබාදුන් ඒවා බව කරුණාවෙන් සලකන්න.)

 

Add new comment