ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර්ට වුණේ මේකයි

උදයකාන්ත විස්තර කරයි
පෙබරවාරි 6, 2020

 

උදයකාන්ත වර්ණසූරිය පිළිබඳ ඔබට අමුතුවෙන් මා හඳුන්වා දිය යුතු නැහැ. ඔහු මේ වන විට ඔබට දායාද කරන්න සූදානමින් ඉන්නේ ඔහුගේ 24 වැනි චිත්‍රපටය. ඒ ගින්දරී 2. ඒ වුණත් ඔහුගේ විසිතුන් වැනි චිත්‍රපටය වන ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් ඔහු මෙතෙක් කළ කෘති තරම් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තේ නැහැ. හිරිපොද වැස්ස, යකඩ පිහාටු, ලේ කිරි කඳුළු, රන් කෙවිට, බහුබූතයෝ, ගින්දරී, බන්ධන වැනි කෘතිවලට ලැබුණු ප්‍රතිචාර තරම් ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් ප්‍රේක්ෂක අවධානය දිනා නොගැනීම ගැන ඔහුට ඇති වූ තැවුල ගැන පවසන්න ඔහු සරසවියට කතා කළා. ඒ මෙසේයි...

 

 

අපි ඉස්සල්ලාම ගින්දරී2 ගැන හිතේ සිසිලසින් යුතුව කතා කරමු?

ආ... ගින්දරී වැඩ කටයුතු සියල්ල දැන් අවසානයි. ප්‍රදර්ශනය සඳහා සූදානම් කරලයි තිබෙන්නේ. මේ වසරේ මැද වගේ තමයි රසිකයන් අතට පත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඔබට ශාලාවල ප්‍රශ්න නැද්ද?

ම්... හෝල්වල ප්‍රශ්නයක් නම් මට ඇතිවෙයි කියලා හිතන්නේ නෑ.‌ මොකද බහුබූතයෝ 1,2 ත් අතිශය ජනප්‍රිය වුණ නිසා ශාලා හිමියන් මගෙන් විමසමින් ඉන්නේ මේ චිත්‍රපටය කවදද එන්නේ කියලා. ඇත්තෙන්ම ගින්දරී තමයි මම කලින් කරන්න හිටියේ. ඒත් මේ ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් ආපු නිසා මම ටිකක් කාර්යබහුල වෙලායි හිටියේ. ඒ නිසා මගේ ප්‍රමාදයයි තිබෙන්නේ. අනෙක මම ශාලා 60ක් විතර තමයි බලාපොරොත්තු වන්නේ. මොකද ශාලා අසූවක් අනූවක් ගත්තා කියලා වැඩක් නැහැ. එක ෂෝ එකයි සමහර ඒවායේ දුවන්නේ. ගොඩාක් ඈත පළාත්වල දුවවන්න මහන්සි වෙලත් වැඩක් නැහැ.

ඒ පළාත්වලත් රසිකයෝ ඉන්නවානේ?

රසිකයන් හිටියා වුණාට සමහර පළාත්වල ලැබෙන ආදායම හරිම අඩුයි. මගේ අත්දැකීමෙන් ඒ බව දන්නවා. ඒ නිසා අනවශ්‍ය විදිහට බොරුවට සිනමා ශාලා ගොඩගහගෙන දුවන්න මට බලාපොරොත්තුවක් නැහැ

අපි දැන් මාතෘකාවට එලඹෙමු. මොකක්ද ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් ගැන කියන්න තිබෙන්නේ?

මට මේ චිත්‍රපටයට ලැබුණේ මිශ්‍ර පතිචාර. හොඳ වගේම නරක. සමහරු කීවා කාටවත් කරන්න බැරි නිර්භීත චිත්‍රපටයක් කියලා. තවත් සමහරු මෙය මම නොකළ යුතු එකක් බව කීවා. කොහොම වුණත් මේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු අවධානය පිළිබඳව නම් මම සතුටු වන්නේ නැහැ. මම හිතුවට එය නිදහස් කළේ හොඳම කාලේ කියලා, ඒ වැරැදි කාලේ වෙන්නත් පුළුවන්. මොකද ඒ කාලේ මිනිසුන්ගේ අවධානය තිබුණේ උද්වේගකර දේශපාලන වාතාවරණයට සහ මැතිවරණයට. මම තේරුම්ගත් දෙයක් තමයි සිනමාවට ඉන්නේ පුරුදු වුණ ප්‍රේක්ෂක පිරිසක් පමණයි කියන දේ. දේශපාලන රැස්වීම්වලට යන පිරිස වැඩි වුණාට ඒ අය සිනමා ප්‍රේක්ෂකයන් නෙවෙයි. ඒ අය උග්‍ර උද්වේගකර දේශපාලනය කරපින්නාගත් අය.

ඔබ මෙසේ කියන්නේ චිත්‍රපටයේ පිරිවැය ආවරණය නොවූ නිසාද?

ඔවු. හැබැයි මම එය මගේ සිනමා ජීවිතේ පසුබෑමක් කියා සිතන්නේ නැහැ.

මේ චිත්‍රපටයට පෙර කෘති 22ක් ප්‍රදර්ශනයෙන් ලද අත්දැකීම් අනුව ඔබට මේ තත්ත්වය අනුමාන කරන්න බැරිවීම පුදුම සහගතයි?

මේකනේ... මෙය දේශපාලන චිත්‍රපටයක්නේ. එතකොට ප්‍රේක්ෂකයනුත් පක්ෂ අනුව බෙදෙනවානේ. චිත්‍රපටය බාර ගන්න විදිහ අනුව තමයි ඒ ගැටලුව එන්නේ. ඒත් මේ චිත්‍රපටයේ නම ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර්නේ. එතකොට මම හිතුවා නමටවත් බලන්න එයි කියලා. ඒත් ඒ දේ සිදු වුණේ නැහැ. නිර්මාණයෙත් ප්‍රශ්න තිබුණානේ. මම දන්න මාධ්‍යය සිනමාව. දේශපාලනය හැදෑරුවාට මම ඒවාට සම්බන්ධ නැහැනේ. මේ රටේ තිබෙන දුරාචාර දේශපාලනය පිළිබඳ මගේ කලකිරීම තමයි මම පෙන්වන්න හැදුවේ. ඒත් පවතින පක්ෂවලට ගාල්වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය තේරුණේ නැහැ.

ඇත්තටම කලාවෙන් සමාජයක් හදනවා කියන දේ ලේසි නැහැ. දේශපාලනයෙන් තමයි යමක් කරන්න පුළුවන්. කලාවෙන් කළ හැකි දේ හරි පුංචියි. ඒත් මෙතැනදි කිව යුතුයි කලාවෙන් යම් රසවින්දනයක්, ජීවිතාවබෝධයක් ලබා දෙන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට. වාණිජ නිර්මාණයකින් වුණත් ඒ දේ කළ හැකියි. මම උත්සාහ කළේ අද මේ පක්ෂ දේශපාලනය නිසා සදාකාලිකව ජනතාව රැවටෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම. චිත්‍රපටය හරියට බැලුවා නම් එය චිත්‍රපටය තුළ තිබෙනවා. මැන්ඩෙලාලා, ඉඩිඅමින්ලා වගේ චරිත ගෙනත් මම උත්සාහ කරනවා ඒ අය මඟින් මේ රටේ දේශපාලනය හා දේශපාලනඥයකුට රටකට කළහැකි බලපෑම පිළිබඳ කතා කරන්න. යුක්තියේ දෙවඟන ගෙනැවිත් අද මේ රටේ තිබෙන නීතිය ගැන ප්‍රශ්න කරනවා. හැබැයි මම දන්නේ නැහැ සිනමා විචාරකයන්වත් මේ දේ අවබෝධ කරගත්තාද කියලා.

 

ඔබ චිත්‍රපටයක් නරඹන්න යන්නේ කුමක් අපේක්ෂාවෙන්ද?

මෙහෙමයි. ඇත්තෙන්ම මම චිත්‍රපටයක් බලලා මුලින්ම රසවිඳීනවා. ඒ අතර ජීවිතාවබෝධයකුත් ලබන්න පුළුවන් නම් ඒ දේ තමයි මම වැදගත් කොට සලකන්නේ. බහුතර ප්‍රේක්ෂකයන් සිනමාවක් රසවිඳලා නිකම්ම ගෙදර යනවා. ඒත් අපේ ජීවිතය චිත්‍රපටයක කාරණා ඔස්සේ ශක්තිමත් කරගන්න පුළුවන් නම් එයයි වටින්නේ. මොකද අපට කෑමක් කාලාත් රසයක් ලබාගන්න පුළුවන්. ඒත් චිත්‍රපටය කියන්නේ කලාව සමඟ බැඳුණ සුන්දර මාධ්‍යයක්නේ. එය කෑමකට වඩා වෙනස්.

ඒ කියන්නේ ඔබ පිළිගන්නවා මුලින්ම රසිකයා බලාපොරොත්තු වන්නේ රසවින්දනය, ඔබේ චිත්‍රපටය එය සාක්ෂාත් කර නැහැ කියා?

ඔව්. මේ චිත්‍රපටයේ රසවින්දනය පිළිබඳ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒත් ඒකට මූලික වුණේ මෙය කොස්තාපල් පුඤ්ඤසෝම වගේ මිනිසුන් හිනා ගස්සන චිත්‍රපටයක් නොවීම. ඒ වගේ චිත්‍රපට ඕනෑතරම් කරන්න පුළුවන්. ඒත් පවතින දේශපාලනය පිළිබඳ රසිකයන් දැනුම්වත් කරන්න මම අලුත් ගින්දරී පැත්තකට විසිකරලනේ මේ චිත්‍රපටයට මහන්සි වුණේ. වෙනසකට මිනිසුන් සූදානම් වූ මොහොතක තමයි මේ චිත්‍රපටය අපි රිලීස් කරන්නේ. අපි හැමදාම සංවර්ධනය වන රටක්, කවදාවත් සංවර්ධිත රටක් වෙන්න බැරිවෙයි මේ විදිහට ගියොත්.

රූපවාහිනියේ අප්‍රමාණව සුපර්ස්ටාර් තරග තිබියදී තවත් එකක් සල්ලි දීලා බලන්න රසිකයන් එයි කියලා හිතුවාද?

මගේ සංකල්පයේ අන්තර්ගතය නිවැරැදියි. මටත් හිතෙනවා සුපර්සටාර් ආකෘතිය තුළ පිටපත ගොඩ නංවද්දි ප්‍රශ්නයක් වුණා කියලා. වේදිකාවක් මතම චිත්‍රපටයේ වැඩි කොටසක් දැක්වීමත් දේශන ස්වරූපයෙන් නළු නිළියන්ගේ දෙබස් පැවතීමත් නිසා රසවිඳීමින් මේ දේ තේරුම් ගන්න මිනිසුන්ට බැරි වුණා. එය මම මීට කලින් නොහිතපු දෙයක්. ඒ වෙනුවෙන් මට විශාල මුදලක් වියදම් නම් වුණා.

අධ්‍යක්ෂවරයෙක් තමන්ගේ දේශපාලන දර්ශනය මේ ආකාරයෙන් කියන චිත්‍රපට ඔබ දැක තිබෙනවාද?

ලෝක සිනමාවේ වුණත් එහෙමම මම දැකලා නැහැ. ලංකාවේ ඉතිහාසයේ නම් කොහොමත් නැහැ. ඒ නිසාම තමයි මෙය එක්තරා අන්දමක අභියෝගාත්මක චිත්‍රපටයක් වෙන්නේ. එයින් මට වුණු පාඩුව මම ඒ තරම් ගණන් ගන්නේ නැහැ. අනෙක මට අත්වැරැද්දක් වුණා කියලා හිතන්නෙත් නැහැ. මොකද විචාරකයන් වුණත් කල්ලි ගැහිලානේ ඉන්නේ. හැබැයි මම පිළිගන්නවා චිත්‍රපටයක සෞන්දර්යය මේකේ නැහැ කියලා. මෙය බොහොම කටුක චිත්‍රපටයක්. හැබැයි ඉතින් ප්‍රසිද්ධ ගායකයන් දෙතුන්දෙනෙක් දාලා සින්දු කියවලා චිත්‍රපටයක් කළානම් ඕනෙතරම් සෙනඟ අද්දවාගන්න තිබුණා.

ඔබ මෙය කලාත්මක චිත්‍රපටයක් කියා නම් කරන්නද උත්සාහ කරන්නේ?

නැහැ. ඒ වගේම මෙය දැඩි වාණිජමය චිත්‍රපටයකුත් නෙවෙයි. එතැන තමයි මේ පටලැවිල්ල තිබෙන්නේ. මම මේ චිත්‍රපටය කළේ මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පමණක් නෙවෙයි, මේ රටේ සමස්ත පුරවැසියන් වෙනුවෙන්. ඒ නිසා මට හිතෙනවා කාලයක් ගියාට පස්සේ මේ චිත්‍රපටයට දැනට වඩා අගය කිරීමකට ලක්වෙයි කියලා. රාජ්‍ය සේවය පිණිසයි කරද්දිත් මට මේ වගේ විවේචන ආවා. ඒත් පසු කාලීනව එය බොහෝ අගය කිරීමකට ලක් වුණා. මට මේ ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් වෙනුවෙන් ලියුම් තොගයක් ලැබුණා. ඒවා එවලා තිබුණේ කෘතියෙන් කියන දේ තේරුම් ගත් අය. ඒ නිසා මට පැහැදිලියි මේ චිත්‍රපටයට ඇලුම් කරන පිරිසකුත් ඉන්නවා කියලා.

මේ වගේ ආකෘතියකින් යළි චිත්‍රපටයක් කරන්න ඔබ කැමතිද?

නැහැ. හැබැයි වෙන ආකෘතියකින් දේශපාලනමය චිත්‍රපටයක් කරන්න ඉඩ තිබෙනවා. ඇත්තටම දේශපාලනයයි කලාවයි කියන ක්ෂේත්‍ර දෙක ගළපන්න හරිම අමාරුයි. අපි කොයිතරම් අවංක චේතනාවෙන් ඒවා කළත් එයින් අපට ලැබෙන ගැරහීම් සහ පාඩු ඔරොත්තු නොදෙන තරම්. ඒ නිසා තමයි බොහෝ දෙනා දේශපාලන චිත්‍රපට කරන්නේ නැත්තේ. චිත්‍රපටයේ මම දේශපාලනය කතා කළේත් අමුවෙන්. පවතින යථාර්ථය ඔස්සේ අනාගතයේ විය යුතු දේ තමයි ළදරුවාගෙන් පෙන්වන්නේ. ඇත්ත හරි ලාබයි. ඒත් අපි වැඩි මිලක් දී ගන්නේ බොරුව.

මේ චිත්‍රපටය දේශපාලනඥයන් නරඹා තිබුණාද?

මම දන්නේ නැහැ. මම නම් කිසිම කෙනකුට ආරාධනා කළේ නැහැ. මොකද එතකොට මම පක්ෂග්‍රාහී වෙනවානේ... මට එක එක තනතුරු බාරගන්න කීවාට මම කිසිදෙයක් බාරගන්නෙත් නෑනේ.

ඔබට ඕනේ වුණේ ප්‍රඥාවෙන් ආනන්දයට යන්නද?

ඔව් ඉතින් එතැන මට පොඩි අවුලක් වුණා. ඒත් මම සුළු පිරිසක් හෝ දැනුම්වත් කළා කියන සතුට මට තිබෙනවා. බලලෝභී දේශපාලනයට යටත් මිනිසුන්ගේ මනස හදන එක පහසු නැහැ. හැබැයි මගේ සිනමා ගමන මෙයින් වෙනස් වන්නේ නැහැ. මේ චිත්‍රපටය මගේ එක් නැවතුම්පොළක් විතරයි. ප්‍රේක්ෂකයන් අඩුවුණා කියලා මගේ සිනමා ජීවිතේ පසුබෑමක් වන්නේ නැහැ.