අද්භූත වාද්‍ය භාණ්ඩයේ ගුප්ත කතාව

ද හෝන්
පෙබරවාරි 13, 2020

තිර රචනය හා අධ්‍යක්ෂණය සමීර වක්වැල්ල

නිෂ්පාදනය දීපිකා කළුආරච්චි

පුරා විද්‍යාව හා සබැඳි ප්‍රකට ආචාර්යවරයකු විය. ඔහු තෝමස් ස්ටීවන්ය. දෙස් විදෙස් කිත් පැසසුම් ලැබූ මෙම තරුණ විද්‍යාඥවරයා විවාහකය. මාස අටක සිඟිති පුතෙක් ඔවුනගේ කැදැල්ලේ සිටියේය. ආචාර්ය තෝමස්ගේ මීළඟ කැනීම් කටයුතු සිදු කළේ ඊජිප්තුවේ ටුටන්කාමන් රජුගේ සොහොන ආශ්‍රිතවය. දින ගණනාවක් එහි ගත කළ තෝමස්ට අද්භූත වස්තුවක් දකින්නට ලැබෙයි. එය අතට ගත් ඔහුට පසක් වන්නේ එය පැරැණි සංගීත භාණ්ඩයක් බවය. එකී වස්තුව රැගෙන නිවසට එන තෝමස් එය වාදනය කොට බලයි. ඉන් නික්මෙන්නේ ගුප්ත වූ නාදයකි. දිගින් දිගටම සංගීත භාණ්ඩය වාදනය කරන ආචාර්ය තෝමස්ගේ මනස ව්‍යාකූල වේ.

ඔහු මෝහනය වූවාක් මෙන් දැනෙන්නට පටන් ගනියි. ක්‍රමයෙන් එම ව්‍යාකූලභාවය උච්ච තත්ත්වයට පැමිණ ආචාර්ය තෝමස් සිය බිරිය ඝාතනය කොට තමන් ද දිවි නසා ගනියි. ඉතිරි වන්නේ කෙවින් ස්ටීවන් නමැති පුතු සිඟිත්තාය. වසර විසි හතරකට පසු පියාගේ නිවෙසට කෙවින් පැමිණෙන්නේ සිය බිරිය සමඟය. එහිදී සඟවා තැබූ ඊජිප්තු සංගීත භාණ්ඩය ඔවුනට හමුවේ. කෙවින් එය වාදනය කරන්නට සිතා අතට ගනියි. අද්භූතජනක කතාවක ආරම්භය එතැන් පටන් සිදු වේ. සමීර වක්වැල්ලගේ නවතම සිනමාපටය වූ ද හෝන් නිර්මාණය වී ඇත්තේ එම කතාව කේන්ද්‍ර කොටගෙනය. මෙය විද්‍යා ප්‍රබන්ධ ගණයේ සිනමා සිතුවමකි. ද හෝන් අධ්‍යක්ෂවරයාගේ දෙවැනි සිනමාපටය වන අතර සූම් සමීර නිර්මාණය කළ පළමු සිනමාපටයයි.

ද හෝන් සිනමාපටයේ නළු නිළියෝ -

රොෂාන් පිලපිටිය, ධනංජය සිරිවර්ධන, ක්‍රිස්ටීන් ගුණවර්ධන, ටීනා ශනෙල්, කල්හාර වක්වැල්ල, ලීෂා උමයංගි, ජගත් ප්‍රසන්න

ද හෝන් නිෂ්පාදන කණ්ඩායම -

කැමරා අධ්‍යක්ෂණය - චානක සේනාධීර

සංස්කරණය - කල්හාර වක්වැල්ල

අංග රචනය - අසංකා මනෝරි

සංගීතය - නිරෝෂන් දිසානායක

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - චාමික දෙමටපක්ෂ

කලා අධ්‍යක්ෂණය - ඉසුරු තරින්දු

නිෂ්පාදනය - දීපිකා කළුආරච්චි