කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතාව

පෙබරවාරි 20, 2020

 

 

මේ ලිපිය ඔබ අතට පත් වන අද දවස විශේෂ එකකි. ඒ අද දිනය සඳහන් කළ යුත්තේ 20.02.20 හැටියට වීම නිසාය. මේ ලියන්නට යන කතාවත් එහෙම එකකි. එය අලුත් චිත්‍රපටයක් ගැනය. මේ චිත්‍රපටයට පාදක වන කතාව අපූරු එකකි. දෙවියකු සාමාන්‍ය යුවතියක හා සරණ යෑම සාමාන්‍ය කතාවක් නොවේ. මේ අපූරු කතාව ලොව දේව පුරාණයන් සියල්ලම සොයා බැලුව ද ඇත්තේ එක් තැනකය.

ඒ අපේ රටේය.

 

වසරකට වරක් හෝ කතරගම වන්දනාවේ යන ඇතැම්හු කිරි වෙහෙරත් වැඳ කතරගම දේවාලයට ගොස් කඳ සුරිදු හමුවී ආශිර්වාද ලබා ගනිති. ඔවුන් අතරින් ඇතැමෙක් සෙල්ල කතරගමට යන්නේ එහි ඇති වල්ලි මාතා දේවලයටය. කතරගම කඳ සුරිදු හා වල්ලි මාතාව පිළිබඳ කතාව ලොව පුරා දේව පුරාණ සියල්ල පිරික්සා බැලුවද හමුනොවන අපූර්ව විචිත්‍ර ප්‍රේම කතාවක් බැව් දන්නෝ ටික දෙනෙකි. වල්ලි අම්මා යනු කඳසුරිදුන්ගේ භාර්යාවන් දෙදෙනාගෙන් කෙනෙකු බව දනිතත් ඒ පසුබිමේ ඇති ආදර කතාව බොහෝ දෙනා දන්නේ නැත. වැදි යුවතියක ලෙස හැදී වැඩෙමින් කඳ සුරිඳුන් කෙරෙහි දැඩි භක්තියකින් යුත් වල්ලි නම් තරුණියක් උන්නාය. එම භක්තියේ හා ආලයේ මහිමයෙන්ම කඳ සුරිදුන් කතරගමට වැඩියේය. එපමණක් නොව උන් වහන්සේ ඇය සරණ පාවා ගත්හ. මේ පුවත සිනමාවට නැඟෙන බව කනින් කොනින් සැලවුණ ද එහි අධ්‍යක්ෂගේ ඉල්ලිම පිට නියමිත දිනය වන තෙක් ඒ වනතුරු පේවී සිටින්නට අපට ද සිදුවිය.

ඒ සඳහා අප ගියේ කතරගමට නුදුරු රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයටය. තවමත් දහවල එළැඹ නැත. අපට එහි එන්නට ආරාධනා කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. මහාචාර්ය තුමන් රන්මිහිතැන්නට වී ශාස්ත්‍රීය ග්‍රන්ථයක් රචනා නොකරන බව අපි දනිමු. මේ චිත්‍රපටය සඳහා ඔහු අවුරුදු හතකට වඩා දීර්ඝ පර්යේෂණයක යෙදිණ. රන් මිහි තැන්නට අපේ ගමන සංවිධානය කරන ලද්දේ සරසවිය හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී.රංජිත් කුමාර මහතාය. කොළඹින් මාධ්‍ය හිතවතුන් රැගත් වාහන පිටත්වුයේ අලුයම හිරුනැගෙන්නටත් පෙරය. යාන්තම් හිරු නැගෙන අයුරු අප දැක ගත්තේ අධි වේගී මාර්ගයේ මාතර පිවිසුම පෙනෙන මානයේදීය. අප සිටි රථයේ ම තවත් සරසවියේ හිටපු කර්තෘවරයකු වූ අනුර බණ්ඩාර රාජගුරු මහතා ද සිටීම පැරණි ආගිය කතාවලට මඟපෑදීමක් විය. රන්මිහිතැන්නට වන් අප පිළිගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. ඒ සමඟ සිංහල සිනමාවට එක්වන අලුත් අර්ථපතියා ද අප පිළිගැන්මට විය. ඔහු මෙරට කලා ලෝකයට අමුත්තකු නොවේ. ඔහු රයිගම් ටෙලිස් සම්මාන නිර්මාතෘ ආචාර්ය රවි ලියනගේය.

කෙසේ වෙතත් කඳසුරිදුගේ චරිතයට මෙන්ම වල්ලි මාතාවගේ චරිත සඳහා නළු නිළියන් තෝරා ගැනුණේ ඉන්දියාවෙනි. ඒ සමර් විරමානි හා සොනක්ෂි රාවන්ය. සමර් කඳ සුරිඳු චරිතයටය. සොනක්ෂි වල්ලි මාතා චරිතයටය. මේ දෙදෙනා සොයා ගත්තේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය විසින් බැව් මහාචාර්ය සුනිල් ආරියරත්න පැවසුවේ මේ සංවාද මණ්ඩපය ආරම්භයේය. සමර් ප්‍රියමනාප තරුණයෙකි. ඔහු පැමිණ සිටියේ හර්යානා ප්‍රාන්තයේ අගනුවර වූ චන්දිගාර් සිටය. උසස් අධ්‍යාපනය සඳහා ඉංජිනේරු ශිල්පය හැදැරීමට පූනේ විශ්ව විද්‍යාලයට යන ඔහු අනතුරුව මුම්බායි සිය නවාතැන කර ගත්තේය. මේ වන විට ඉංජිනේරු වෘත්තියට වඩා නළුවකු වීමේ අභිලාශයෙන් පසු වූ ඔහු ඒ සඳහා අලුත් ගමනකට මුල පිරුවේය. වෙළෙඳ දැන්වීම් රාශියකට ද දායක වූ සමර් ජෝ හම් චාහෙන්, ස්ටුපිඩ් කියුපිඩ්, ලස්ටම් පස්ටම් යන චිත්‍රපටවල චරිත නිරූපණය ද කළේය

සොනක්ෂි රාවන් රාජස්ථාන යුවතියකි. ඇය ළමා වියේ සිට සිහින මැව්වේ සිනමා නිළියක වන්නටය. විලාසිතා ලෝකයට එක් වන්නටය. ඒ අරමුණින් ඇය මුම්බායි වෙත පැමිණියාය. වොඩාෆෝන් ඇතුළු ඉන්දියානු දැන්වීම් ගණනාවක නිරූපණ ශිල්පිණිය වූ ඇය කදිර දිව්‍යරාජ චිත්‍රපටයට තෝරා ගැනීම තවමත් සිහිනයක් වැන්න.

ඒ සිද්ධ වුණේ මෙහෙමය. එක් රාත්‍රියක වැඩ කටයතු නිමා කොට නිවසට එන විට පාන්දර එක පසුවී තිබිණ. නිවසට එන විටම ජංගම දුරකතනයට පණිවිඩයක් ලැබිණ. පසුදා උදේ ලංකාවේ චිත්‍රපටයක සම්මුඛ පරීක්ෂණයට සහභාගි වන ලෙසටය. ඒ වන විට ඇය වෙනත් කටයුත්තකට උදෑසන වෙන් කර තිබුණාය. එහෙත් පණිවිඩය දුන් තැනැත්තා පැවසුවේ පැයකට හෝ පැමිණ යන ලෙසටය. ඒ අනුව ඇය පාන්දරින් ලංකාවේ චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණයට පැමිණියාය. පරීක්ෂණය නිම වී පැයක් ගත වන්නට මත්තෙන් ඇයට ප්‍රතිඵල ලැබිණ. ඈ පූජනීය චරිතයක් වූ වල්ලි මාතාවගේ චරිතය සදහා තෝරා ගෙන තිබිණ.

ලංකාවට ආවාම මට දැනුණේ බොහොම හුරු බවක්. ඒ වගේම හරිම සුහද මිත්‍රශිලි බවක්. ඒ මිත්‍රත්වය අපේ සිනමා කණ්ඩායමේ විතරක් නොවේ හමුවන හැම මිනිසෙකුගේම තිබුණා. ඔවුන් හරියට අපේ රටේ වගේමයි.

පරිසරය නම් කේරළයට හුරුයි.

ඉවක් බවක් නැතුව සොනක්ෂි පවසද්දී වඩා සුහදශිලි තරුණයකු වන සමර් එයටත් වඩා වැදගත් කතාවක් පැවසුවේය.

මට කොළඹ ගුවන් තොටුපලේ දී විගමන නිලධාරියා මගෙන් ඇහුවා. මොකටද ලංකාවට ආවේ කියලා .මං පැවසුවා. මම ආවේ චිත්‍රපටයක රඟපාන්න කියලා. විස්තර ඇහුවාම මම පැවසුවේ මහාචාර්ය සුනිල් ගේ චිත්‍රපටයක කියලා. ඒ නිලධාරියා මගෙන් බොහොම සුහදව ඇහුවා. මහාචාර්ය සුනිල් කියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ද කියලා. මට තේරුණා මහාචාර්යතුමන් මේ රටේ ඉතාම ප්‍රසිද්ධ කෙනෙක් කියලා. ඇත්තටම මට වැඩ කරද්දි තේරුණේ ඔහු තමයි ලංකාවේ සංජේ ලීලා බන්සාලි කියලා.

අපේ සිනමාවට භාරත යුවළක්
 

මහාචාර්ය සුනිල් ආරියරත්න නිර්මාණය කරන ලද පත්තිනි. කුස පබා. යසෝදරා, විජයබා කොල්ලය යන චිත්‍රපට හතරම තිර ගත වූ සෑම වසරකම වැඩිම ආදායම් ලබා ඇත්තේය.

අපි එක දිගට වැඩ කළා. උදේ හතරට අප අවදි කරනවා. ඊට පස්සේ පැය දෙකක වගේ මේකප් කරනවා. එයට පස්සේ දවසේ පැය හයකටත් වඩා රූප ගත කිරීම් කළත් අපට වෙහෙසක් දැනුණේනැහැ. ඇත්තටම පුදුම කැපවීමක් කරන සිනමා කණ්ඩායමක් තමයි ලංකාවේ ඉන්නේ

සමිර් පැවසුවේ සිනහ මුසු මුහුණෙනි. ඔවුන් අප අතර සිටි කාලය ඇතුළත සිනමා කණ්ඩායම සමඟ තිබුණු සුහදතාවය කැපී පෙනේන්නට තිබිණ.

චිත්‍රපටයේ අරථපතිත්වය දරමින් සිනමාවට පිවිසෙන ආචාර්ය රවී ලියනගේ පැවසුවේ අපුරු කතන්දරයකි.

1983 අවුරුද්දේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාම තමයි ආචාර්ය සුනිල් ආරියරත්න දැක ගත්තේ. එතුමන් එකල පාවිච්චි කළ සුසූකි මෝටර් රථයේ නොම්මරය මට තාම මතකයි. 12 ශ්‍රී 1234 . ඒ කාලයේ එතුමන් වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න ඕනෑ වුණත් එය සිද්ධවුණේ නැහැ. පස්සේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අදහසක් ආවත් මම චිත්‍රපටයක් කරනවා නම් මුල්ම චිත්‍රපටය මහාචාර්ය තුමන් සමග කරන්නේ කියලා හිතා ගෙන හිටියා. හැබැයි අවුරුදු ගණනාවකම ඒ අදහස ඉෂ්ට කර ගන්ඩ ලැබුණේ නැහැ. මම හැමදාම පැවසුවාම එතුමන් කල් දැම්මා. වරක් මා සමඟ කරන්න ගිය චිත්‍රපටයක් මගේ සගයෙක් එක්කත් කළා. ඒ අවස්ථාව මට අවස්ථාව නැතිවුණා. පසුගිය දවසක මට කථා කළ මහාචාර්යතුමන් දැන් එහෙනම් ලෑස්ති වෙමු පැවසුවා

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ අපූරු ආදර කතාව තිරයට ගේන්න අවුරුදු හතක් සැලසුම් කළේය. ඒ විශාල පර්යේෂණයක් මේ සඳහා කරන්නට සිදුව තිබීම නිසාය. කදිර දිව්‍යරාජ එහි ප්‍රතිළුලයයි. කදිර දිව්‍යරාජ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විසි හතර වැනි චිත්‍රපටයයි. මෙයින් පසු තවත් එක් චිත්‍රපටයක් එනම් විසි පස්වැනි චිත්‍රපටයෙන් පසු මහාචාර්ය සුනිල් ආරියරත්න සිය විශිෂ්ට සාහිත්‍ය පර්යේෂණ සඳහා කාලය කැප කරන්නට ඉටා ගෙන ඇත්තේය.

අපූර්ව ආදර කතාවක් රන්මිහිතැන්නේ දැවැන්ත පසුතල යටතේ රූ ගැන්වීම් නිමාව සමග ආපසු එද්දී රත්න ශ්‍රී විජේසිංහ අතින් ලියැවුණු කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීතය මගේ සිහියට නැගිණ.

යමු සෙල්ල කතරගම- ඔබ එන්න යනවා නම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම

 

කදිර දිව්‍යරාජ පිරිවර

 

 

රයිගම් ක්‍රියේෂන්ස් ඉදිරිපත්කිරීමක්

කතා ප්‍රති රචනය, තිර රචනය, සංවාද, සහ ගේය කාව්‍ය රචනය සහ අධ්‍යක්ෂණය- සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

නිෂ්පාදනය- ආචාර්ය රවි ලියනගේ

කැමරා අධ්‍යක්ෂණය-චන්න දේශප්‍රිය

කලා අධ්‍යක්ෂණය-ධම්මික හේවාදූවවත්ත

නිෂ්පාදන කළමනාකරණය-

නිමල් විජේසිරි සේනාධීර

සංස්කරණය-තිස්ස සුරේන්ද්‍ර

සටන් අධ්‍යක්ෂණය-සුමුදු අමල්ක

දෘශ්‍ය ප්‍රයෝග-චමත් පරණවිදාන

නර්තන අධ්‍යක්ෂණය- සංඛ අබේසිංහ

වස්ත්‍රාණුභරණ-වෙනුක වික්‍රමාරච්චි

වෙස් ගැන්වීම-ප්‍රියන්ත දිසානායක

කේශාලංකරණය- හරූන් ෂයිඩීන්

සංගීත අධ්‍යක්ෂණය-

ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය- නිරෝෂා විරාජිනි

රවීන් කණිෂ්ක

සහාය අධ්‍යක්ෂණය- විමල් දේශප්‍රිය

නශ්චල ඡායාරූප- ධම්මික පතිරත්න

නිෂ්පාදන සම්බන්ධීකරණය-

ඒ.ඩී.රංජිත් කුමාර

ස්ටෙඩි කැමරා- ස්ටයිනර් ඇඩම්ස්

 

 

රංගනය

 

 

සමර් වීර්මානි

සොනාක්ෂි රාවන්

රොෂාන් පිලපිටිය

නිල්මිණි තෙන්නකෝන්

ජගත් චමිල

චරිත් අබේසිංහ

වසන්ත විට්ටචිචි

දිපා රණසිංහ

සරත් කොතලාවල

ධනංජය සිරිවර්ධන

විනූ උදාරි සිරිවර්ධන

හරිනි උත්පලා

අජිත් නිශාන්ත

සමුදි ජයසිංහ

වසන්ත කුමාරවිල

ෂෙල්ටන් කැකුණාවල

රජිත රොද්‍රිගු

රංගී රාජපක්ෂ

සම්පත් තෙන්නකෝන්

 

 

ලංකාවේ බන්සාලි-මහාචාර්ය සුනිල් ආරියරත්න
 
 
 
සිනමාවට අලුත් අර්ථපතියෙක් ආචාර්ය රවී ලියනගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.