පරාක්‍රම නිරිඇල්ල අලුත් නිර්මාණයක දේදුනු දරුවෝ තිරයට පායයි

පෙබරවාරි 27, 2020

සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ සිරිමැදුර, අයෝමා ආදි සිනමාපට මෙන්ම පුංචි තිරයට  යශෝරාවය කැන්දූ ඒ අපූරු නිර්මාණකරු පරාක්‍රම නිරිඇල්ල වසර විසි අටකට පසු  යළිත් සිනමාපටයක් තැනීමට සූදානම් වන වග සරසවියට වාර්තා විය. එය ඔහු නම්කොට ඇත්තේ දේදුනු දරුවෝ යනුවෙනි. ළමා නළු නිළියන් රැසක්  තිරයට හඳුන්වා දෙමින් එළඹෙන  මැයි මාසයේදී දේදුනු දරුවෝ රූපගත කිරීමට නියමිතය. ටීවීටී ආයතනය සමඟ තවත් නිෂ්පාදකවරු දෙදෙනෙකු  එකතුවෙන් නිර්මාණයවන මෙම සිනමාපටයේ චන්දන  ජයසිංහ කැමරා අධ්‍යක්ෂවරයාය. දිනේෂ් ලක්දුසිංහ, දෙවුරුන් ශ්‍රී ලිවේරා සහ ටීෂා රම්ෂානි  සහාය අධ්‍යක්ෂවරුන්ය.  ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ රේඛීය නිෂ්පාදනයකි රවීන්ද්‍ර  ගුරුගේ විධායක නිෂ්පාදනයෙන් එක්වේ. රන්ජන්   ප්‍රසන්න නිෂ්පාදන  කළමනාකරුය. සුනිල් විජේරත්නගේ කලා අධ්‍යක්ෂණයකි.  වසන්ත විට්ටච්චි අංග රචනයෙන් දායක වේ. කපිල පුගලආරච්චි සංගීත අධ්‍යක්ෂවරයාය. ලූෂන් බුලත්සිංහලගේ ගී පදරචනයෙකි. පරාක්‍රම අවසන්වරට නිර්මාණය කළ  චිත්‍රපටය අයෝමාය. ඒ 1992 වසරේදීය. අනතුරුව ටෙලි නාට්‍ය කලාවට යොමුවූ හෙතෙම පසුකාලීනව ජනකරළිය නාට්‍ය වේදිකාවට සමඟ රටවටා සංචාරය කෙළේය.