මිදුණු විශ්වය පුදන්නේ මගේ ගුරුවරුන්ටයි සරසවියටයි

ජයන්ත චන්ද්‍රසිරි
මාර්තු 19, 2020

වේදිකාව හා පුංචි තිරය ජයගෙන සිනමාවට පිවිසි පළමු අවස්ථාවේ නවකයන් තම නිර්මාණයට දායක කරගන්නා සිනමාකරුවන් දුර්ලභය. අග්නිදාහය ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා අතින් නිර්මාණය වුණේ එවන් දුර්ලභ ආකාරයකටය. කැමරා ශිල්පී රුවන් කොස්තා, සහාය අධ්‍යක්ෂ නිමල් ෆ්‍රැන්සිස් මෙන්ම නිෂ්පාදන කළමනාකාරිණිය ලෙස මා ඔහු සිය නිර්මාණයට දායක කරගත්තේය. එයින් ඇරැඹි ගමනේ සයවැනි සිනමා නිර්මාණය ලෙස මිදුණු විශ්වය ඔහු ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ජැක්සන් ඇන්තනි කලාශිල්පියාගේ නිර්වචනයට අනුව සිනමාවේ ජනශ්‍රැතිවේදියා ලෙස පමණක් නොව සරසවිය පුවත්පත ප්‍රධාන චරිතයක් ලෙස යොදාගත් එකම නිර්මාණවේදියා ලෙසය. මේ ඉදිරි දිනෙක ඔබට නැරඹීමට ලැබෙන මිදුණු විශ්වය පිළිබඳ එහි අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි ප්‍රවීණ සිනමාකරුවාගේ විග්‍රහයයි...

හොඳ සිනමාවක් යන්න ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

ඕනෑම වෙනත් කලා මාධ්‍යයකට අයත් හොඳ කලා කෘතියක් විග්‍රහ කරන ආකාරයටමයි. සාමාන්‍යයෙන් ලෝකයේ බිහිවන තරමක් සියලුම කලාකෘති තම ප්‍රේක්ෂකයා, පාඨකයා, රසිකයා, ශ්‍රාවකයා අමතන්නට සමත් වන්නේ නැහැ. ඒ හැකියාවේ තිබෙන සීමාසහිතකම, අතිශය ජනප්‍රිය මාධ්‍යයක් වුවත් සිනමාවටත් පොදුයි. අනෙක් කාරණය තමයි චිත්‍රපට නරඹන සියල්ලෝම හොඳ රසිකයන් යැයි කියන්නත් බැරිකම. ඇත්ත වශයෙන්ම තමන්ට අවශ්‍ය හොඳ රසිකයන් බිහි කරන්නෙත් හොඳ සිනමාවම තමයි. මං හිතන්නෙ හොඳ සිනමාවක්, හොඳ කලාකෘතියක් කියන්නෙ රසිකයාට අපූර්ව රසයක් වගේම ඔහු තම ජීවිතය පුනරාවලෝකනය කිරීමට පොලඹවන යම් අර්ථාන්විත භාවයක්ද සහිත දෙයකටයි.

ලෝක සිනමාවේ මුල් යුගයේදී ඉතා බරපතළ විදියට මතු කෙරුණු ප්‍රශ්නයක් තමයි, සිනමාව ඔය කියන විදිහේ කලාවක්ද කියන එක. අඩුම තරමින් අයිසන්ස්ටයින්, ග්‍රිෆිත් වගේ සිනමාකරුවන් බිහි වෙනතුරුම පැරණි ලෝකය සිනමාව කලාවක් කියලා පිළිගත්තෙත් නැහැ. ඒකට ප්‍රබලම හේතුව වුණේ ඒ වෙනකොටත් ශත වර්ෂ ගණනාවක ඉතිහාසයක් හිමිව තිබුණු නාට්‍ය කලාවේ හා සාහිත්‍යයේ ආනුභාවය.

“සියොටා දුම්රියපළට දුම්රියක් පැමිණීම” වැනි මුල් යුගයේ චිත්‍රපටයක් නරඹා කවදාවත් මේ මාධ්‍යය නම්“හැම්ලට්” වගේ නාට්‍යයක් හෝ “යුද්ධය හා සාමය” වගේ මහා නවකතාවක් හෝ බිහි කරන එකක් නෑ කියලා ඒ මුල් කාලයේ කලා විචාරකයෝ කල්පනා කරන්න ඇති.

නමුත් අද දවසේ ජීවත් වන අප දන්නවා සිනමාව මා පෙර කී ශ්‍රේෂ්ඨ මාධ්‍ය දෙකමත් අභිබවා ගිය අවස්ථා ඕනෑ තරම් තිබෙන බව. මෙතැනදී ඔබ අමතක නොකළ යුතු කාරණය තමයි හැම විටම එසේ කිරීමේ විභවතාව තිබුණේ හොද සිනමාවට බව.

ප්‍රේක්ෂකයකු ලෙස ඔබ සිනමා කෘතියකින් බලාපොරොත්තුවන්නේ කුමක්ද?

රස විඳීම, ඉහින් කනින් රස විඳීම. මා ජීවත්වන මේ භෞතික ලෝකයෙන් මුළුමනින්ම අන්තරස්දානව ගොස් නරඹන කලාකෘතියේ ඓන්ද්‍රීය කොටසක් බවට පත්වීම. කලා කෘතියෙන් දුරස්ථ වීම, එය විචාරයට ලක් කිරීම, එය අධ්‍යයනය කිරීම වගේ තරමක් ව්‍යාජ දේවල් මා කරන්නේ ගෙදර ආවට පස්සේ. එක අතකින් මට හිතෙනවා කලාකෘතියක් ආස්වාදනය කිරීම මිනිසකුට තමන්ගේ අව්‍යාජ බව හා අවංක කම පිළිබඳව තමන්ටම විනිශ්චයක් ලබාගත හැකි කටයුත්තක්ද වන බව.

අව්‍යාජබව හා අවංකබව සැබැවින්ම තිබිය යුත්තේ කාටද?

ප්‍රේක්ෂකයන්ට වඩා නිර්මාණකරුවන් අව්‍යාජ විය යුතුමයි. නිර්මාණකරුවන් ව්‍යාජ වුණොත් ඔවුන් ප්‍රකාශ කරන අදහසුත් ව්‍යාජ වන එක නවත්වන්න බැහැ. රසිකයන් කොහොමත් අවංකයි තමයි. හැබැයි දශක කීපයක ඉඳන් රසිකයන්ටත් ප්‍රශ්නයක් තිබෙනනවා මේ සමාජ සංස්කෘතික ප්‍රවේග විසින් ඔවුනුත් ව්‍යාජ රසිකත්වයක් සහ ව්‍යාජ විඥානයක් ඇති අය බවට වෙනස් කර තිබීම නිසා. ඒත් ම‌ගේ පෞද්ගලික අත්දැකීම නම් රසිකයන් වැඩිපිරිස තවමත් නිර්ව්‍යාජයි. මගේ පැවැත්ම තහවුරු   කළේත් ඒ අය. 

ඔබ විචාරය වැනි ‘ව්‍යාජ දේ’ කියලා හඳුන්වන්නේ ඇයි?

මම එහෙම කියන්නේ කලාකෘතිය හැදෑරීම සඳහා කෘතියෙන් දුරස්වීම, කර්තෘ මියගියා යැයි සැලකීම නරකදේවල් කියලා මම කියන්නේ නැති වුණාට, විචාරකයකුට හෝ විද්වතකුට ඒ මොනවටත් කලින් කලාකෘතිය රසිවිඳීමේ හැකියාව නොතිබුණොත් ලොකු අර්බුදයක් ඇතිවෙන නිසා. එය මේ සමාජයේ පේන්න තිබෙනවා. ඇත්තෙන්ම සමාජයට ආදරේ අහිමි වුණා වගේම චිත්‍රපටයට මේ සැබෑ විචාරකයා අහිමි වීමේ අවදානම තිබෙනවා. එනිසායි විචාරකයා කෙරෙන් රසිකයාගේ පළා යෑම සිදුවන්නේ. 

නිර්මාණකරුවකු ලෙස ඔබේ චිත්‍රපට ඔස්සේ රසිකයන්ට ඉහින් කනින් රසවින්දනය ලබා දීමට යොදන උපක්‍රම මොනවාද?

ඕනෑම නිර්මාණකරුවකු සේම මමත් කිසිවිටෙක මේ විශ්වයෙන් විවේකයක් නොලද කෙනෙක්. මා ජීවත්වන සමාජය, ලෝකය, විශ්වය හැම විටම මා අවදිකරවනවා. මා කොනිත්තනවා. මට රිදවනවා. මා පොලඹවනවා. මේ ප්‍රේරණය විසින් මා සිදු කරන සිනමා තිර රචනය තුළට සිනමාව පිළිබඳ මගේ අධ්‍යයනයන්, න්‍යායන් හා භාවිතයන් ඇතුළුවන බව ඇත්ත. නමුත් ඉතාම ඇත්ත තමයි, මට නොදැනුණු දෙයක් මම කවදාවත් නිර්මාණය කරන්නේ නෑ කියන එක. සමහර විට සමහර කාරණා මට දැනෙනවා වැඩිත් වගේ. ඒ නිසා සමහර කෙනෙකුට නොපෙනෙන දේවල් මට ‘එන්ලාජ්’ වෙලා පේනවා. අපේ සමාජ භූමි දර්ශන වේගයෙන් වෙනස්වීගෙන යනවා. අපේ සමාජ සබඳතා වේගයෙන් වෙනස්වීගෙන යනවා. ආදරය, කරුණාව වගේ උත්තම මනෝභාවයන් අයිස් පැකට් වගේ ලාබෙට එල්ලා විකුණන්නතියෙනවා. කෙනෙක්, කෙනෙක් සමඟ හිනා වෙන්නේ, තමන්ට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා හොඳට හිතලයි.

අප ජීවත්වෙන්නේ සැබෑ යථාර්ථයක නොව මවන ලද යථාර්ථයක (Virtual Reality) බව අපට වැටහෙන්නේ නැහැ. මේ ගැන කියන්න යටි ගිරියෙන් කෑගහලා වැඩක් නෑ. මොකද එතකොට ඒකත් අර මවන ලද යථාර්ථයේම කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ගැන කියන්න සොයා යායුත්තේ අර ආදරය, කරුණාව වගේ මනෝභාවයන්මයි. හැබැයි ඒවායේත් තිබෙන භාවිතාවන් කොතරම් කෘත්‍රිමද, යල් පැන ගිහින්ද කියනවා නම් මිනිසුන් ඒවාටත් සංවේදී නැහැ. ඒ නිසා කලාකරුවකුට සිද්ධ වෙනවා ඒවායේ සුලභ භාවිතයන් පිරුණු කලාත්මක පරිසීමාවන් ගෙන් ඉවතට යන්න.

“මිදුණු විශ්වය” කියන්නේ මගේ ඒ නවතම සොයා ගැනීමයි.

“මිදුණු විශ්වය” එක අතකින් කාලතරණය පිළිබඳ අනුභූතියක්. කාලතරණය පිළිබඳව ඔබ මෙතරම් උනන්දු ඇයි?

ඛලීල් ජිබ්රාන් කිව්වා ජීවිතයට සිය හදවත ගායනා කරන්නට කවියකු හමු නොවන විට, එය එහි මනස ප්‍රකාශ කරන්නට දාර්ශනිකයකු බිහි කරන්නේය කියලා. මට නම් මගේ හදවත ගායනා කරන්නට කවියකු හමු වුණා. ඒ තමයි සිනමාව. ඒ වගේම මගේ මනස ප්‍රකාශ කරන්ට මට දාර්හනිකයකුත් හමු වුණා. ඒ තමා සිනමාව. එතකොට “මිදුණු විශ්වය” කියන්නේ ඒ දෙවිදියේම ප්‍රකාශනය. එහි ප්‍රස්තූතය එහෙමත් නැතිනම්    Subject Matter  එක තමයි ආදරය. මේ ආදරය ප්‍රකාශ කරන්නට මට අවශ්‍ය වුණා සමාන්තර සිදුවීම් දැක්මක්  (Parallel Action)) යොදාගන්න. ඒ සඳහා මා නිපදවා ගත් උපක්‍රමය තමා කාලතරණය.

කාලත්‍රය, කාලත්‍රය කිව්වට මිනිස්සු හැමවිටම ජීවත්වන්නේ එක්කෝ අතීතයේ, නැත්නම් අනාගතයේ. අතීතයේ තොරතුරු විශ්ලේෂණය කරමින්, එහි පාඩම් උගනිමින් හෝ නොගනිමින් ඒවා අනාගත උපකල්පන මත ගැටගසමින් කරන ක්‍රියාව තමා අපි වර්තමානය කියලා කියන්නේ. නිර්මාණකරුවකු වශයෙන් මා මෙහිදී කළේ අතීතයට, අනාගතය මුණගැස්වීම. 1964 වකවානුවේ ජීවත් වූ ආදරය අහිමි කතකට 2020 දී ආදරයෙන් පිරුණු මිනිසකු මුණගැසීම මා ගෙන එන්නේ අද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාවක් වශයෙන් නොවෙයි. කොහොමටත් කාලතරණය කියන සංකල්පය මගේ උනන්දුවට ලක් වූයේ එය විද්‍යාත්මක හෝ විද්‍යාත්මක නොවන හෝ සංසිද්ධියක් වශයෙන් සලකා නොවෙයි. එය මට අවශ්‍ය, යථාර්ථයක් ප්‍රකාශයට පත්කරනු සඳහාමා යොදා ගන්නා පරිකල්පනීය උපක්‍රමයක් විදිහටයි. හැබැයි මේ සුවිශේෂ විෂයයට අදාළව විද්‍යාත්මක වූත් තර්කානුසාරී වූත් කරුණු අධ්‍යයනයකින් තොරව එය නොකළ යුතු යැයි මා විශ්වාස කරන නිසා එය මා දීර්ඝ කාලයක් තිස්සේ හදාරනවා.

ටෙලි නාට්‍යවල සිට සිනමාවටත් ඔබ ඒ සංකල්පය ගෙනාවා?

ඔව්, වර්ෂ 1995 දී මා නිර්මාණය කල “අකාල සන්ධ්‍යා නොහොත් කාලාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා” ටෙලි නාට්‍යයෙන් තමයි, ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයක් මුල් වරට දේශීය කලා කෘතියකින් ඒ අත්දැකීම ලබන්නේ. මේ ටෙලි නාට්‍යය කෙතරම් ජනයා අතරට ගියාද කියනවා නම් අදත් ඒ පිළිබඳව මගෙන් විවිධ ප්‍රශ්න නගන රසිකයන් සිටිනවා.

කාලතරණය එවකටත් බටහිර ජනප්‍රිය ව තිබූ සංකල්පයක් බව ඇත්ත. හැබැයි හැමවිටම බටහිර රචකයන් ඒ සඳහා යොදා ගත්තේ කුමක් හෝ කාල යන්ත්‍රයක්. මා කළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මගේ චරිතවල කාල යන්ත්‍රය වූයේ ඔවුන්ගේම දියුණු කළ මනසම යි. ඒ වෙනුවෙන් මගේ අධ්‍යයන ක්ෂේත්‍රය වූයේ භාරතීය යෝග දර්ශනයේ එන කුණ්ඩලිනී යෝගය යි. මා අකාල සන්ධ්‍යා රචනා කරන්නේ ඒ පිළිබඳව කළ දීර්ඝ ගවේෂණයකින් පසුවයි.

 Back to the Future, මනි, IBM වැනි චිත්‍රපට ඔබට බලපෑමක් කළාද?

නැහැ. මේ සඳහා මගේ ළමා කාලයේදීම මට බලපෑමක් කළ කෘතිය වූයේ එච්.ජී. වේල්ස් ගේ   “Time Machine” කෘතියයි. මේ පොතේ සිංහල පරිවර්තනයක් අපේ පාසල් පුස්තකාලයේ කවුරුවත් නොකියවන පොත් අතර තිබුණා. මා හිතන්නේ කාලතරණය පිළිබඳව ලෝකයේ මුලින්ම ලියවුණු ප්‍රබන්ධයත් එයම තමා. එච්.ජී. වේල්ස් කියන්නේ විද්‍යාඥයෙක් නොවෙයි, ඉතිහාසඥයෙක්. මේ ලෝකයේ බිහි වූ උතුම් ම මනුෂ්‍යයා බුදුන් වහන්සේය කියා කිව්වෙත් එච්.ජී. වේල්ස් ම තමා. කාලතරණය පිළිබඳව දැන් මම නවකතා, චිත්‍රපට පනහකට, හැටකට වඩා දැකල ඇති. ඒත් එච්.ජී. වේල්ස් ගේ කාලයන්ත්‍රයට සමාන කරන්න කෘතියක් මං තාම දැකල නැහැ.

ඔබ රංගන පුහුණුකරුවකු ලෙස,“මිදුණු විශ්වය” චිත්‍රපටයේ දැක්වෙන ආකාරයේ යම් අත්දැකීමක් ලබා තිබේද?

රූපණය ප්‍රජා විධිමය ආකාරයකින් විඳීම (Ritualistic Enjoyment of Acting) කියන කාරණයට පටහැනිව එය ඉතාම ගැඹුරු විෂය ක්ෂේත්‍රයක් වශයෙන් මුලින්ම හඳුනාගන්නේ භාරතීය මුනිවරුන්. ඔවුන් අතරිනුත් 11 වන සියවසේ හිටපු අභිනව ගුප්ත පාදයන් ඉතා විශේෂයි. හැබැයි එය පූර්ණ ඉගෙනුම් ක්‍රමයක් වශයෙන් නිශ්චිත න්‍යායක් සහ භාවිතයක් සහිතව ඉදිරිපත් කරන අප්‍රමාණ ගුරුවරයා වන්නේ 19 වන සියවස අගභාගයේ රුසියාවෙන් බිහි වූ කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලවුස්කි යි. ඔබ දන්නවා මා එහි ඉතාම ශාස්ත්‍රීය පක්ෂය වගේම එහි වැඩි දියුණු කළ අතිශය නූතන පක්ෂයත් දේශීයව හා විදේශීයව හැදෑරූ කෙනෙක් බව.

මේ හැදැරීම් වලදී වගේම, උගැන්වීම් වලදීත් අප ප්‍රධාන කොට ගන්නේ මිනිස් මනස යි. ඒ නිසයි ස්ටැනිස්ලවුස්කි රංග වේදය   (The Method) තීව්‍රතර මානසික විද්‍යාවක් වශයෙන් සලකන්නේ. නළුවා නැමැති මිනිසා චරිතය නැමැති සංකල්පීය ප්‍රපංචය තුළට රූපාන්තරණය වීම (Impersonation) කියන අතිශය සංකීර්ණ ක්‍රියාදාමය අරභයා වන අභ්‍යාසමය පුහුණුව තුළ මෙහි ගුරු-සිසු දෙපාර්ශ්වයම බොහෝ විට තම භෞතික ජීවිතය තුළ අත්නොවිඳීන යම් යම් සුවිශේෂ භාව කලාපයන් මානසිකව අත්විඳීනවා. මෙය මට කෙටියෙන් සහ සරලව විස්තර කරන්න අපහසුයි. දැන් බොහෝවිට එහි එන නිජභාව ස්මරණය  (Affective Memory) වැනි අභ්‍යාසයකදී සමහරුන් ස්වයං මෝහන තත්ත්වයකට වුවත් පත්වෙන්න පුළුවන්.

දැන් මිදුණු විශ්වයේ දැක්වෙන්නේ සුමධ්‍යා කියන ශිෂ්‍යාව ධ්දබපධඵනඥජබඪධද කියන විශේෂ අභ්‍යාසයේදී යම් ස්වාපනයකට පත්ව තමා සිටින යථාර්ථයෙන් එහා වෙනත් යථාර්ථයකට මානසික වශයෙන් ගමන් කිරීමයි. එබඳු අවස්ථා මේ අභ්‍යාසයේදී එතරම් විරළ නැහැ. එබඳු අවස්ථා මා ඕනෑ තරම් දැක තිබෙනවා. නමුත් සුමධ්‍යාගේ ප්‍රශ්නය වන්නේ ඇය වෙනත් යථාර්ථයකට ගමන් කරනවාට වඩා මෙතැනදී වෙනත් යථාර්ථයකට වගේම කාලයකටත් ගමන් කිරීමයි.එම කාලය හරහා විවර වන සන්නිවේදන පථයක් ඔස්සේ ඇය වෙනත් සිරුරකට සම්බන්ධ වීමයි. එය හුදු පරිකල්පනයක්ද නැද්ද යන්න මා පසුව කියන්නම්.

මිදුණු විශ්වයෙහි එන ආකාරයට; අනාගතයෙහි බිහිවන්නට නියමිත ජන්මියකුගේ විඥාන ධාතුවෙන් ඔහුගේ කාලයට අයත් නොවන වෙනත් කෙනෙකු ප්‍රයෝජන ගැනීම පිළිබඳව ඔබ පැහැදිළි කරන්නේ කෙසේද?

ඔබ ඔය නඟන්නේ සිනමා ලේඛකයෙකුගේ ප්‍රශ්නයක් නොව, පරිනත ධර්ම ගවේෂකයකුගේ ප්‍රශ්නයක්. බෞද්ධ දර්ශනය තරයේ විශ්වාස කරන්නකු වශයෙන් මට එය මඟහැර යා නොහැකියි. මා එය මේ කාරණාවට අදාළ චරිත දෙක ඇසුරින්ම විග්‍රහ කිරීමට උත්සාහ කරන්නම්.

වර්තමානයේ ජීවත්වන වරේණ්‍යගේ සිතුවිලි හදිසි කාල හැකිලීමේ ක්‍රියාවලිය හරහා රාජිනීට සම්ප්‍රේෂණය වීමත් එක්තරා කර්ම න්‍යායක් අනුවම සිදු වූ බවට ඉඟියක් මා කෘතියෙන්ම සපයනවා. ඔබට මතක නම් රාජිනී තම මෙහෙකාරියට පවසන“සමහර විට දැක්කේ තත්ත්පරයකටත් අඩු කාලයක් වෙන්න ඇති. ඒත් සංසාරයක් දැක්ක වගෙයි මතක”යන්න යොදන්නේම ඒ නිසා. නූතන විද්‍යාවට අනුවත්, බුදු දහමට අනුවත් කාලය යනු නිරපේක්ෂ දෙයක් නොවෙයි, සාපේක්ෂ දෙයක්. බැඳීම් කියන්නෙත් නිරපේක්ෂ දෙයක් නොවෙයි, සාපේක්ෂ දෙයක්. රාජිනී තත්ත්පරයකට අඩු කාලයක් වශයෙන් දක්වන්නේ වරේණ්‍යගේ ආදරයට සාපේක්ෂ කාලය. ආදරය කියන්නේ එකිනෙකාට සාපේක්ෂ දෙයක්.

ඔබ නිර්මාණකරුවාට අණපණවන් එපා කියන අතර ඔබේ නිර්මාණ සියල්ලේම ශික්ෂණයක් රඳවා ගන්නවා?

මගේ සංස්කෘතිය තමයි මාව හික්මවන්නේ. එය පෝෂණය වී තිබෙන්නේ මහා දර්ශනයකින්. ඒ බෞද්ධ දර්ශනය බව කියන්න මම බය නැහැ. ඒ වගේම විවේචනය කරන්න දෙයක් නෑ මම නිශ්චිතයි. මගේ දෙපය තිබෙන්නේ මේ පොළොව උඩ. ඒ ශික්ෂණය වෙන්නැති ඔබ කියන්නේ. නිර්මාණයක් ගලා යද්දි මට දැනෙනවා නම් නිදි යහනක් යොදන්න, ඒකෙ ප්‍රශ්නයක් නැහැ. විරුද්ධ වෙන්නෙත් නැහැ. මම ඒ වගේ තැනක නෙවෙයි ඉන්නේ. හැබැයි නිර්මාණකරුවාම තේරුම්ගත යුතුයි මොන හේතුවටද ඒ දර්ශනය යොදන්නේ කියලා.

මෙහි නළුවරණය ගැනත් කියමු?

මම හැමතිස්සෙම හරිම පරෙස්සමෙන් නළුවරණය කරන කෙනෙක්. ඒ නිසා ඉතාම දක්ෂ නළුනිළියන් නොගැළපී යන්න ඉඩ තිබෙනවා. මෙවර උද්දික මම තෝරා ගත්තේ සමනල සන්ධ්වනියේ වැඩකිරීමෙන් ලැබූ අත්දැකීමක් වගේම ඔහු ගැන මට මුල ඉඳන්ම රංගන පුහුණුකරුවාගේ චරිතයට සුදුසුයි යන අදහස තිබීම නිසා. ඒ චරිතය ඔහුට වැටහෙයි කියලා මට හිතුණා. උදාරි වර්ණකුලසූරිය සමඟ මම පළමුවැනි වතාවට වැඩකරන්නේ. ඇය මම දැක්කේ බොහොම දක්ෂ නිළියක් වගේම සියුම් භාව ප්‍රකාශනයන් කිරීමේ හැකියාවක් ඇති කෙනකු ලෙස. බුද්ධික ජයරත්න කියන්නේ යම් විශේෂ වර්ගයක නළුවෙක්. ඒ ලක්ෂණ මට අවශ්‍ය වුණා මේ නිළියගේ ස්වාමිපුරුෂයාගේ චරිතය නිරූපණය කරන්න. බොහෝ දෙනා දන්නවා මා එක්ක වැඩකරන්න තරමක් දුෂ්කරයි මොකද නම්‍යශීලී බව අඩු නිසා. චුලක්ෂි බොහෝවිට දකින්නේ සිනමාවේ නිරූපිකාවක් ලෙස. ඇගේ අඟපසඟට වඩා මම දුටුවා ඇය සතු සියුම් බුද්ධිය. ඒ මගේ නිරූපණ පන්තියේදී. ඇයවත් නොදන්න තරමට සංකීර්ණ චරිත නිරූපණයේ හැකියාවක් වගේම කැපවීම ඇයට තිබෙනවා. නිරූපණ ශිල්පිනියක් ලෙස ඇයට ආර්ථික වාසි ඇති අවස්ථා පවා මඟහැරලා ඇය මේ නිර්මාණයට වෙහෙසුණා. අපට අනාගතයේ බලාපොරොත්තු තියාගත හැකි ශිල්පිනියක් ඇය. මගේ සුපුරුදු ශිල්පීන් ලෙස ශ්‍රියන්ත, කුසුම් රේණු, දමිතා, වසන්ත විට්ටච්චි වගේ කීපදෙනෙකුත් රඟපානවා.   

මම විශේෂයෙන් කියන්න ඕනේ මේ චිත්‍රපටය නිෂ්පාදනයට එකඟ වුණ රුවන් ජයසිංහ ගැන. මම මෙය කලින් සූදානම් වෙලා අවශ්‍ය මූල්‍ය ශක්තිය නැතිව අතෑරලා දැමූ එකක්. ඔහු තමයි රූ සිනමා මඟින් ආපසු මෙය කරමු කීවේ. සමනල සන්ධ්වනියේත් නිෂ්පාදකයා ඔහු. අප දෙදෙනා අතර නිෂ්පාදකයා සහ අධ්‍යක්ෂවරයා අතර බැඳීමට එහා ගිය අවබෝධයක් තිබෙනවා. 

මගේ සහාය අධ්‍යක්ෂවරුන් දෙදෙනා, නිමල් ෆ්‍රැන්සිස් සහ සරත් සේනාරත්න වගේම නිෂ්පාදන කළමනාකාරු වන ප්‍රසන්න ඉත්තෑපාන වැනි අයගේ සහායත් මතක් නොකර බැහැ.

ඒ වගේම නවරත්න ගමගේ මේ චරිත සහ කෘතිය අතර සම්බන්ධය, ඒ මනෝභාවයන් ප්‍රේක්ෂකයා අතරට සංවේදීව ගෙනයන්න සංගීතය මනාව උපයෝගී කරගත්තා කියලා මම හිතනවා.

සරසවිය පුවත්පත මිදුණු විශ්වයේ චරිතයක්?

ඔව්. ප්‍රධාන චරිත අතර එකක්. ඒ එක අතකින් සරසවිය ගැන මගේ තිබෙන ගෞරවය වගේම ආදරය නිසා. ලංකාවේ සියලුම කලාකරුවන් අතරත් එවැනි දෙයක් සරසවියට තිබෙනවා. විවිධ හේතු මත සිනමාව අන්තිම ලෙල්ලට කඩාවැටුණු වෙලාවලදිත් සරසවිය පුවත්පත නතර වුණේ නැහැ. මගේ චිත්‍රපටය පුදන්නේ මගේ ගුරුවරුන්ට සහ සරසවිය පුවත්පතට. සරසවිය මේ සියලු කලාකරුවන්ට ගෞරව කරලා තිබෙනවා. හැබැයි සරසවියට පෙරළා ඒ ගෞරවය පුදන අවස්ථාවක් මම දැකලා නැහැ. ඒකෙ වරදක් නෑ. ඒ කොයි දේ නිසාවත් මම චරිතයක‌ට කිසිකෙනෙක් තෝරගන්නේ නැහැ. මේ කෘතියේ ප්‍රස්තුතය එන්නෙම සිංහල සිනමාව සමඟ. 60 සහ 70 යන ස්වර්ණමය යුගයේ දශකවලින්. පුවත්පත බිහිවන්නේත් 60 දශකයේ. මම නිර්මාණය කරන භූමිකා සියල්ලමත් මේ සරසවිය කියන සන්නිවේදන ජාලයත් එක්ක හැසිරුණු අය. ඒ යුගයේ රූපවාහිනී නැහැ. අනෙක් පුවත්පත්වල වුණත් සීමාසහිත සම්බන්ධතාවක් තිබුණේ. සරසවියේ සිටි කතුවරුන් පවා බොහොම කෘතහස්තයි. මා කතා කරන පැරැණි දශකයන් සහ වර්තමාන කාලය දිහා එක පැහැර බලා සිටින මහ පුරුෂයෙක් මට අවශ්‍ය වුණා. ඔහු මේ මොහොතේ අප කතා කරන දේ දෙසත් සජීවීව බලා සිටිනවා. ඒ තමයි සරසවිය. එය වෙන කිසි කෙනකුට දෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.