BEER WITHOUT ALCOHOL

හඳගමගෙන් කොරෝනා කාලේ චිත‍්‍රපටයක්
මැයි 21, 2020


සරසවිය කියන්නේ චිත‍්‍රපට බැලීම ප‍්‍රධාන රාජකාරී කොටසක් වන පුවත්පතක්. අප චිත‍්‍රපට නැරඹීමට ඇබ්බැහිවෙලා හිටියත් මේ කාලය පුරා ශාලාවකට ගිහින් චිත‍්‍රපටයක් නැරඹීමේ වින්දනය ලබන්න ලෝකයටම හැකියාවක් නෑ. මේ වසංගත තත්ත්වය නිසා අපේ රාජකාරී පවා කෙරුණේ නිවෙසේ සිට. එහෙම මාස දෙකක් ගෙදර හිටියා. ඒත් පහුගිය සතියේ හිටි හැටියේ කර්තෘතුමා කතාකරලා කීවා අශෝක හඳගම ප‍්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයා කෙටි චිත‍්‍රපටයක් යූටියුබයට මුදා හැරලා කියලා. සිනමාවක් නැරඹීමේ පිපාසාවෙන් සිටි අපට ඒක තටාකයක් වගේ. ඉතින් නැරඹුවා. විනාඩි 20යි. නම බියර් විතෞට් ඇල්කොහොල්. චිත‍්‍රපටයේ තේමාව වගේම තාක්ෂණය භාවිතය කොරෝනා සමය මැනවින් නියෝජනය කරනවා. ඉතින් පොඩි කතාබහක් ඒ ගැන කරන්න හිතුවා. හැබැයි මේ ලිපිය සැකසීමේදී වෙනදා වගේ සිංහල වචන සොයන්නේ නැතිව අපි කතාකරද්දි භාවිත කළ ඉංග‍්‍රීසි වචන සමහර අවස්ථාවලට එහෙමම යොදලා ලියන්න ඕනෙ කියලා මට හිතුණේ ඔහු කියන දේවල නියම හැඟීම ඔබටත් දැනෙන්න එය හේතු වන බවට විශ්වාසයක් ඇති වුණු නිසයි.


මේ චිත‍්‍රපටය දැක්කාම තේරෙනවා කොරෝනා කාලයේ ගෙදර සිටීමමයි මෙවැන්නක මුල කියලා?

මේ චිත‍්‍රපටය කිරීමට අදහස පහළ වුණේ සහ බලපෑම කෙරුණේ කොරෝනා තත්ත්වයම තමයි. මාස එකහමාරත් තිස්සේ බාහිර සම්බන්ධකරම් සියල්ල දුරකථනයෙන්, ස්කයිප් එකෙන්, සූම් එකෙන් වගේ සන්නිවේදන උපකරන හරහා පවත්වන අවස්ථාවක වගේම මම සිනමාකරුවකු ලෙස සිටි පීඩාකාරී තත්ත්වය මත තමයි මේ අදහස පහළ වුණේ. සිනමාකරුවන් හැටියට අපට දැනෙන දේ තමයි ලෝකය යථා තත්ත්වයට පත්වුවත් සිනමාව කොහොම ද ආපසු යථා තත්ත්වයට පත් වන්නේ කියන බය. සියලූ‍ අත්‍යවශ්‍ය සේවාවන් ටික කොහොම හරි සාමාන්‍ය තත්ත්වයට ඉක්මනින් ආවත් මේවා රිකවර් වෙන්නේ අවසානයට තමයි. ලෝකෙමත් එහෙම තමයි. ඒත් අපට එහෙම කියල නිකං ඉන්නත් බැහැනේ... අපි සමාජය සමග ගනුදෙනු කරන්නේ අපේ දේවල් ප‍්‍රකාශ කරන්නේ සිනමාව ඔස්සේ නිසා අපට අපේ හඬ නැතිවුණා වගේ හැඟීමක් දැනුනේ. ඒ පීඩාවෙන් ඉද්දි නිව්යෝක්වල ඉන්න අපේ ලොකු දුව සඳලි එක්ක තරු දුවයි මායි දවසක් හැන්දෑවේ තේකක් බිබී කතා කරද්දි මේ අදහස ආවේ අහම්බෙන් වගේ. හරියට සවසක සෝෂල් ඩ‍්‍රින්කින් සෙෂන් එකක් වගේ දෙයක් වර්චුවලි කරන්න පුළුවන් නේද කියලා නිකම්ම නිකං සාකච්ඡුාවකට වඩා පොඩි ආර්ටිස්ටික් වැඩක් හැටියට.

ඊට පස්සේ?

අදහස පහළ වෙලා ආකෘති හැදුණානේ... හැන්දෑවේ යාළුවෝ කට්ටියක් එකතුවෙලා බොනකොට තියෙන පසුබිම තමයි මූලික සැකැස්ම. හැබැයි ඉතින් කරන්න වෙන්නේ ඇත්තට නෙවෙයිනේ. එකිනෙකා දුර ඉන්න තත්ත්වයන් තුළ. ඒකට අපි දේශ සීමා ඉක්මවලා ඉන්න කෙනෙක් හැටියට රුක්මල් නිරෝෂ් යොදාගත්තා මෙල්බර්න්වල ඉඳන්. නදී කම්මැල්ලවීර පන්නිපිටියේ, සමනලී සහ චාපා කැස්බෑවේ, මම තලවතුගොඩ. ඒ දුරස්ථභාවයම තමයි අපි මෙතන පාවිච්චි කළේත්. රුක්මල්ට සංස්කරණය කරන්න පුළුවන්, සමනලී චාපා දෙන්නා අඹුසැමි යුවලක් නිසා දෙන්නා එකට එකතැන ඉන්න නිසා පහසුයි වගේම චාපාට සංගීතය සහ තනු නිර්මාණය කරන්නත් සමනලීට සින්දු කියන්නත් පුළුවන්. මේ සියල්ල අපි කීපදෙනාටම එකතුවෙලා නිම කරගන්න පුළුවන් වීම ප‍්‍රධාන කාරණයක්. මුලින් ඔළුවට ආවේ පුද්ගලයන් පසුව අදහස හදාගත්තා. මට පිටපත සකස්කරගන්න දවස් දෙකක් විතර ගියා. චාපාට පදපේළි ටික යැව්වාම සින්දුවත් දවස් බාගයෙන් හැදුවා. සිකුරාදා හැන්දෑවේ සෙෂන් එක ගද්දි සින්දුව සමනලී පුරුදුවෙලා හිටියා. සිකුරාදා රෙකෝඞ් කළා. සෙනසුරාදා රුක්මල් එඩිට් කළා. ඉරිදා එළියට මුදාහැරියා.

ඒක මරු! එතකොට අශෝක අය්යා අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය ඉටුකරපු විදිහත් දැනගන්න ආසයි?

ටැබ් එකේ හතර දෙනෙක් ඉද්දි සක‍්‍රින් එක හතරට බෙදෙනවානෙ... එකක මම අනෙක් තුන්දෙනා අනෙක් තුනේ. රෙකෝඩින් නැති වෙලාවේ මම ඕනෙ කරන ඉන්ස්ට‍්‍රක්ෂන් දෙනවා. ඇක්ට් එක කරන්න වෙන්නේ එයාලටමයි. මට කට් කියන්න පුළුවන් වුණාට ඇක්ෂන් කියන්න වෙන්නේ ආර්ටිස්ට්ටමයි. මොකද කැමරාව ස්විච් වෙන්නේ ශබ්දයටනෙ. නදීගෙ කොටස කරද්දි නදී ඇක්ෂන් කියාගෙන තමන්ගෙ මූඞ් එකට ඇවිත් ඒ ටික කරනවා. ඒක බලන් ඉඳලා රුක්මල් තමන්ගේ කොටස ඇක්ෂන් කියලා පටන්ගෙන ඒ විදිහට කළා. සමනලී සහ චාපාත් එහෙමයි. ඒකත් හිතෙන් මවාගත්ත මූඞ් එකක් ඇතුළෙ තමයි කරන්න වෙන්නේ. ඒක ටිකක් සංකීර්ණයි. පුරුදු නැතුව කරන්න අමාරුයි. හැබැයි හැමෝම හොඳට කළා.

අනෙක් සියල්ලම ස්ක‍්‍රීන් එක එක්ක බද්ධ වෙද්දි රුක්මල්ගේ නෝනාගේ පැමිණීම සමඟ කැමරාව වෙනත් කෝණයකින් පිහිටියා. ඒ ඇයි?

ඒක කළේ හේතුවක් ඇතුව. මොන තතත්වයක් යටතේද මේ සිදුවීම වන්නේ කියන එක පේ‍්‍රක්ෂකයාට අදහසක් නැතිවන නිසා රුක්මල් ගෙදර හිටියේ කම්පියුටර් ස්ක‍්‍රීන් එකක් සමඟ කතාකරමින් කියන එක පෙන්වන්න තමයි ඒ ෂොට් එක පාවිච්චි කළේ. ඒක රුක්මල්ගේ නෝනා දුරකථනයෙන් ෂූට් කරලා සංස්කරණයේදි එකතු කර ගත්තා.

අය්යාට දැන් හිතෙන්න පුළුවන් අමාරුවෙන් කැමරා ලයිට් අටවගෙන දවස් ගණන් ෂූටින් ෂෙඩ්‍යූල් එකකට යනවාට වඩා මෙහෙම ලේසීයි කියලා?

(සිනාසී පවසයි) මෙහෙමයි ඉතින්. එහෙමමත් නෑ. මොකද සිනමාව කියන එක ලොකු ගමනක් ඇවිත් තියෙනවානේ අරුණි. ඉතින් ඒවා අපට අතහරින්න බෑ කොරෝනා වසංගතය නිසා. 1895 පළමු චලන චිත‍්‍රයේ සිට ආව මේ විශාල ගමනක් වගේම මිනිසාගේ ජයග‍්‍රහණයක්නේ. කොරෝනාවලට බයේ එය අතහැරීම සුදුසු නෑ. හැබැයි මේ ක‍්‍රමය වෙනත් විකල්ප මාර්ගයක් ලෙස භාවිත කරන්න පුළුවන්. මේ විදිහට කළ පළමු චිත‍්‍රපටය මෙය නොවෙන්න පුළුවන්. ලෝකේ වෙන වෙනවිදිහට කරලා තිබෙනවා ලින්ක්ස්වලට ගියාම. හැබැයි මේ විදිහ හුදු සූම්වලින් ෂූට් කරනවා කියනවාට වඩා වෙනම ආකෘතියක් හැදෙනවා සීමාකාරී තත්ත්වයන් තුළ. ඒකට රූල්ස් හැදෙන්නේ සීමාවන් තුළ. විවිධ ශානරවලට ලක්ෂණ තිබෙනවා වගේ මේ සූම් සිනමාව කියලා සුදර්ශන කන්නන්ගර නම දැම්ම සිනමාවටත් රීති තිබෙනවා. සූම් පාවිච්චි කරන වෙනත් අවශ්‍යතා වන ඉගැන්වීම, කාර්යාල කටයුතු සඳහා සාකච්ඡුා පැවැත්වීම වගේ ඇටමොස්ෆියර් එක යූස් කරලා ආරට් එකක් කරනවා කියන දෙය වෙනම ආකෘතියක් ලෙස සලකන්න පුළුවන්. ඒ තුළ වෙනම සිනමා ප‍්‍රකාශන විදිහක් හදාගන්නත් පුළුවන්.

පේන විදිහට තව කොච්චර කල් යයිද අපේ සිනමාව යළි ගොඩ එන්න? මොකද සමහර රටවල සිනමාව දැන් ආපසු ඇහැරෙනවා?

ඔව්. ඔව්. වෙනත් රටවල් උදාහරණයක් හැටියට කොරියාවේ ජොන්ජු චිත‍්‍රපට උලෙළ මැයි 28 වැනිදා පටන්ගන්නවා. ඒක දැවැන්ත උලෙළක්. මම දන්නේ නැහැ කොයි මට්ටමින් පවත්වයිද කියලා. ඒ වගේම එස්ටෝනියාවේ බ්ලැක්නයිට ෆිල්ම් ෆෙස්ටිවල් එක දැන් අනවුන්ස් කරලා තියෙන්නේ. බූසාන් උලෙළත් තියෙයි. ඉතාලියේ වෙනිස් උලෙළත් තියෙන බව කියනවා. ප‍්‍රංශය එහෙම රූපගත කිරීම් පටන් අරගෙන. ඒ නිසා මේ දේවල් ලෝකේ නවතින්නේ නැහැ. අපිත් කළ යුත්තේ කොරෝනා සමඟ යන ක‍්‍රමවේදයක් හදාගන්න එක. සියලූ‍ ආරක්ෂක විධිවිධාන එක්ක ආපහු පටන් ගන්න ඕනෙ වගේම අපිත් ඒ දේවල්වලට සහයෝගය දෙමින් කටයුතු කරන්න ඕනේ. මමත් අගෝස්තුවල අලූ‍ත් චිත‍්‍රපටයේ කටයුතු පටන්ගන්න හිතාගෙන තමයි ඉන්නේ.

මේ කාලය තුළ නව තාක්ෂණයෙන් සිනමා නිර්මාණ නැරඹීමේ ප‍්‍රවණතාව තවත් වැඩි වුණා. එය අපේ සිනමා කර්මාන්තයට කෙසේ බලපායිද?

අන්තර්ජාතික වශයෙන් නම් රටවල් පවතින තත්ත්වයට ලෑස්ති වෙලා කටයුතු කරනවා. නිදසුනක් කීවොත් කොරියාවේ සිනමා ශාලා ඇරලා දැන්. ඔන්ලයින් බුක් කරන්න පුළුවන්. සීට් එකක් ඇර එකක් තමයි ඉඳගන්න තිබෙන්නේ. පවුලේ අය නම් එකට ඉඳගන්න පුළුවන්. හැබැයි ලංකාවේ සිනමාවේ තමයි කිසි සූදානමක් නැත්තේ. මම මහබැංකුවේ නිසා දන්නවා, කොරෝනා එනකොටම මහබැංකුව ලෑස්තියි රටවහලා වුණත් වැඩකරගෙන යන්න සුදුසු ක‍්‍රමවේදය සකසාගෙන. ඒ නිසා රටට ගනුදෙනුවල අපහසුවක් දැනුණේ නැහැ. එත් සිනමාවට එහෙම සූදානමක් තිබුණේ නැහැනේ. ඒ නිසා අදහසක් නැහැ මොනවද කරන්න ඕනේ කියලා. මේ වගේ වෙලාවක කර්මාන්තය කඩා වැටෙන්න ඇරලා බැහැනේ. දැන් අනවුන්ස් කරන්න ඕනේ මේ මේ දේවල් කරනවා ඕගොල්ලොත් ඒකට එකතු වෙන්න කියලා. සංස්ථාව වගේ ආයතනයක් වැඩ කරනවා කියලා පේන්නේ එතකොටනේ.

රටේ අනෙක් ආයතනවලට ජනාධිපතිතුමා උපදෙස් දෙනවා අපට ප‍්‍රවෘත්තිවල දකින්න ලැබෙනවා. චිත‍්‍රපට සංස්ථාවත් බලා ඉන්නේ එහෙම කරන තුරු කියලාද හිතන්නේ?

මම උදාහරණයකට කියන්නම් අපේ රටේ තත්ත්වයට වඩා දරුණුයි ඉන්දියාවේ කොරෝනා තත්ත්වය. ඒ නිසා දැනට රූගත කිරීම් තව ටිකක් කල් යයි කියලයි ඒ අය හිතන්නේ. හැබැයි ඒගොල්ලො කැමතියි හොඳ ලොකේෂන් තියෙන ළඟපාත රටවල්වලට ගිහින් ඒ ෂූටින් කටයුතු කරන්න. අපට පුළුවන් වෙන්න ඕනේ ඒවා මෙහෙ ගෙන්වා ගන්න. අපි උත්සාහ කරන්න ඕනේ මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගන්න. ඒවාට ආරක්ෂක විධිත් එක්ක ක‍්‍රමවේදයක් හදන්න ඕනේ. ඒ වගේ ආරම්භයක් දෙන්න ඕනෙ. මම ඔය ෂෝර්ට් ෆිල්ම් එක කළෙත් මේ කාලකන්නි තත්ත්වය යටතේ පොඩි කික් එකක් ගන්න පුළුවන් වෙන්න. ඒ වගේ දෙයක් රටෙත් සිනමාව වෙනුවෙන් කෙරෙන්න ඕනෙ. ඒ සඳහා රජය මෙය කර්මාන්තයක් ලෙස පිළිගන්න ඕනෙ. මම නිකම් අධ්‍යක්ෂවරයෙක් විතරයි. ඒත් මේ ක්ෂේත‍්‍රයේ කීදෙනෙක් රැුකියාවල නියැළිලා ඉන්නවාද? නිෂ්පාදකවරු තාක්ෂණික ශිල්පීන් නළුනිළියන් ඒ අයටත් යම් සහනයක් තියෙන්න ඕනෙ. මේ වෙලාවේ හොඳ නිර්මාණ හැදුණොත් අපට ඒවා අන්තර්ජාතික මට්ටමට දෙන්නත් පුළුවන්. අනෙක මෙය අමතක කරලා අතහැරලා දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර විට පේ‍්‍රක්ෂකයන් හිර වී සිටි නිසා සිනමාවට වැඩි ආකර්ෂණයක් එන්නත් පුළුවන්.

අය්යා මහබැංකුවෙත් නිසා ආර්ථික විද්‍යා විශේෂඥයකුත් හැටියට මේ අවස්ථාවේ සිනමාව ගොඩගන්න මොනවගේ වැඩපිළිවෙළක්ද යෝජනා කරන්නේ?

මෙය සමස්ත කර්මාන්තයක් හැටියට හිතනවා නම් මේ තුළ විශාල දෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට‍්‍රි එකේ දැවැන්ත අංශයක්නේ සිනමාව කියන්නේ. ඒකට පහසුකම් ලෙස ණය පහසුකම්, ශාලා අප්ගේ‍්‍රඞ් කරන්න, මේ තිබෙන තත්ත්වය යටතේ පේ‍්‍රක්ෂකයන් ගෙන්වා ගන්න එකානෙකාට තදවෙලා බලනවාට වඩා සෝෂල් ඩිස්ටන්සිං වගේම පොඩි පෞද්ගලිකත්වය රැුකෙන ක‍්‍රමයේ නරඹන ක‍්‍රමයක් තියාගන්න ශාලා හැදෙන්න එපැයි. නිෂ්පාදකයන්ට බදු සහනයක්, අඩුපොළියට ණයක් වගේ සලසන්න පුළුවන් නම් හොඳයි. මේ සියල්ල මම කියන්නේ නැහැ නිකම්ම දෙන්න කියලා. ආපසු අය කරගන්න ක‍්‍රමයටයි දිය යුත්තේ. හැබැයි එය පොඩි තල්ලූ‍වක් වෙන්න ඕනෙ මේ වෙලාවේ කර්මාන්තයක් ලෙස නඟා සිටුවන්න.

කෙනකුට කියන්න පුළුවන් මේ වෙලාවේ ලොකෙටම වගේම රටට තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්න සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ දේවල් මිස විනෝද කටයුතු නෙවෙයි කියලා?

ඔව් ඒක ඇත්ත. ඒක හරි. ඒක නෑ කියන්න අපට බැහැ. හැබැයි මිනිස් ජීවිතයක් කියන්නේ ලෙඩක් දුකක් නැතුව ගෙදරට වෙලා කාලා ඇඳලා ඉන්න එක විතරක් නෙවෙයිනේ. මිනිස් ජීවිතයක් කියන්නේ සංස්කෘතික ජීවිතයක්. එතනදී සංගීතයක් අහන්න, සිනමාවක් විඳින්න, පොතක් පතක් බලන්න අවශ්‍ය වෙනවා. මම දැක්කා ෆෙස්බුක් එකේ අහනවා කර්ෆියු කාලෙ බුක් ඩිලිවරි සිස්ටම් එකක් නැද්ද කියලා. ඒක ඉතාම හොඳ දෙයක්නේ පොතක් කියවන්න හිතෙන එක. ඇඳිරි නීතිය අස්සේ එළවළු වගේ ඔක්කොම එනවා නම් පොතක් ගෙන්නගන්න පුළුවන්ද කීවාම අහන්න ලැබුණේ පොත් කියන්නේ අත්‍යාවශ්‍ය සේවාවක් නෙවෙයි වගේ දෙයක්. ඒ අපි හිතන විදිහ. හැබැයි ඇත්ත කතාව පොත් කියන්නේ අත්‍යාවශ්‍ය සේවාවක් තමයි. ඒත් අපි ඒවාට දක්වන සැලකිල්ල තමයි පේන්නේ.

ෂෝර්ට් ෆිල්ම් එක අරුණාම මේ කාලේ ප‍්‍රයෝජනයට ගත්ත විදිහත් කියමු? මොකද පශ්චාද් කොරෝනා කලා ප‍්‍රබෝධයක් ගැන බොහෝදෙනාගේ බලාපොරොත්තුවක් තිබෙනවා?

තව වේදිකා නාට්‍යයක් බාගෙට ලියලා තිබුණා ඒකත් ඉවර කරගත්තා. චිත‍්‍රපට පිටපත ඉවර කළා. හැබැයි රිහර්සල් කොහොම හරි කරගත්තත් වේදිකා නාට්‍යය පවා පෙන්වන්න වෙන්නේ මේ තත්ත්වය යටතේ නේ...බලමු. ඒ වගේම ඉතින් ඕනෙ නම් විශාල කලා ප‍්‍රබෝධයක් ඇතිවන්න විභවයක් තිබුණා. සියලූ‍ම දෙනා හැල්මේ දුවන ගතිය නවත්වලා අපට විවේකයක්, නිදහසක් දුන්නා. අපේ වියදමත් අඩු වුණා. ඇඳුම් පවා ඉතුරු වුණා. වැඩක් කරන අයට කරන්න පුළුවන්. ඒ නිසා කාලය ආවාම ඒවා එළි දැක්වෙයි කියලා මටත් හිතෙනවා.