මහා විජයබා පුවත මහා තිරයට...

ගරිල්ලා සටන් කලාවේ ලෝක පුරාණය ළඟදීම...
මැයි 28, 2020

ඒ ක‍්‍රිස්තු වර්ෂ 1948 පෙබරවාරියයි. දකුණු පළාතේ පිහිටි මොරවක් කෝරළයේ සිංහරාජ අඩවියට නුදුරින් වූ පනාකඩුව නම් ගම්මානයේ වෙසෙන සුරවීරගේ කරෝලිස් අප්පුහාමි තමන්ට අයත් බෝගහදෙණිය නම් කුඹුරු යායට යන්නේ වෙනදා මෙන්ම තම ගොවිතැන් බත් වැඩ කරන්නටය. කලින් දවසේ දුටු සිහිනයක් පාන්දර සිට ඔහුගේ සිත පෑරූවේය. එබැවින් ඔහු පුරුදු කුඹුරේ වුව වැඩ කරයුතු කරන ලද්දේ පරිස්සමින්ය. අහම්බෙන් මොකක්දෝ එකක උදැල්ල ගැටිණ. එය වෙනදා උදැල්ල හා පොර බදින මඩ යට රැුඳි පස් කුට්ටියක් නොවන වග වටහා ගන්නට කරෝලිස්ට කල් ගතවූයේ නැත. ඔහු ගැටුණු වස්තුව කුමක්දැයි සොයා බැලූ‍වේය. එය ඝනකම් ලෝහමය දෙයක් බැව් වැටහිණ. පත‍්‍රයකි. එකක් නොව තුනකි. එකක් දිගින් අඩි එකහමාරකි. පළල අඟල් තුනකි. සාමාන්‍ය ඝනකම අඟලින් අටෙන් එකකි. බර රාත්තල් දෙකකට වැඩිය. මේ නිකම් අත හැර යන්නට තරම් නොවනා බැව් කරෝලිස් ගේ මොළයට වැටිණ. ඔහු වැඩ කටයුතු නිම කොට ගෙදර යන විට තහඩුව ද ගෙන ගියේය. එය සෝදා පිරික්සා කෑල්ලක් ද යාන්තම් කපා බලද්දී එය නිකම් ලෝහයක් නොව තඹ තහඩුවක් බැව් ඔහුට පෙනිණ. එහි මොනවාදෝ අමුතු ජාතියේ සටහනක් ද තිබිණ. තඹ පත‍්‍රය පැත්තකට දැමූ කරෝලිස් ලා පුරුදු පරිදි එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියේය. කරෝලිස්ලාට කුඹුරෙන් හමුවුණු දේ ගැන ගැමියන් අතර කථාබහක් ඇති වුණ ද ඉන් එහා ගැන වගක් නොවිණ. එහෙත් එදා පටන් මෙතුවක් සන්සුන්ව ගත කළ ජීවිතයේ මොකක්දෝ වින්නැහියක ලකුණු පහළ වන බව කරෝලිස්ට වැටහිණ. කරෝලිස් තම නෑයෙකු වූ මොලොක්ගමුවේ සරණපාල හිමියන්ට මේ බව දැන්වීය. උන්වහන්සේගේ අනුදැනුමෙන් එය කරෝලිස් ගේ නිවසින් පිටමං කෙරිණ. සරණපාල හිමියන්ට ද ඒ පිලිබඳ වැඩි දැනුමක් නොතිබිණ. එහෙත් කඹුරුපිටියේ වනරතන හිමිපාණන් අතට පත් වූ මේ පත්ඉරු තවත් ටික කලකින් එවකට පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ නිරීක්ෂණයට හසුවිය. ඉතිහාසයේ සැඟව ගිය මහා වෘත්තාන්තයක දොරගුළු විවර වන්නට පටන් ගත්තේ එයින්ය. දිගින් අඩි එකහමාරක් ද පළලින් අඟල් තුනක් ද ඝනකම අඟලින් අටෙන් එකක් ද බරින් රාත්තල් දෙකක් වූ මේ තඹ පත‍්‍රිකාවේ තිබුණු සටහන මිළකින් තක්සේරු කළ හැක්කක් නොවිණ. ඉතිහාසයේ එක් අවදියක සැඟවුණු පුරා වෘත්තාන්තයක් දිග හැරෙන්නට පනාකඩුවේ තඹ සන්නස සූදානම් වූයේය.

ක‍්‍රිස්තු වර්ෂ 1082. පොලොන්නරු රජ මැදුර. එදවස මහා විජයබා රජු සෙසු ඇමැතිවරුන් පිරිවරා සිය රාජ සභාව හොබවමින් සිටි මොහොතකි. මේ මොහොතේ රාජ සභාවට අවතීර්ණය වන මහලූ‍ මිනිසෙකි. රජු මොහොතක් බලා සිටින්නේ ඔහු දෙසය. එකවරම රාජ සභාව පසෙක ලා සිහසුනෙන් නැගිටින මහා විජයබාහුවන් ඉදිරියට දිව යන්නේ මහල්ලා සමීපයටය. ඇමැතිවරු ඇතුළු සියල්ලෝ සිදුවන්නේ කුමක්දැයි බලා සිටිති. මහ රජු විසින් පෙරගමන් ගොස් පිලිගන්නා මේ අමුත්තා කවුරුන් විය හැකිද? අවරුදු විසි හතකට පසු රජු හමුවට පැමිණෙන්නේ එයට වසර ගනනාවකට පෙර ඔහු රැුක ගත් බුදල්නාවන්ය. සිතනරු බිම් බුදල්නාවන් හෙවත් රුහුණු දඩනායක බුද්ධරාජ ය. වසර දහස් ගණනකට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති අනුරාධපුර රාජධානිය අවසන් වනුයේ රුහුණේ කුඩා බිම් කඩක් හැර අන් සියලූ‍ දේ චෝල අධිරාජ්‍යයේ කොටසක් බවට යටත් වෙමිනි. ඉතුරු වූ සිංහල කුමාරයා සොයා රැුකවල් ලා හදා වඩා දැඩි කොට විරුවෙකු බවට පත් කරනුයේ බුදල්නාය. රට එක්සේසත් කරන්නට, මහ රජෙකු හදන්නට මුළු රටම එක්සේසත් කොට දේශයට විජයග‍්‍රහණය ගෙන දෙන්නට මුළු දිවියම කැප කළ මහා සෙනෙවියා බුදල්නාය. කුඩා කීර්ති කුමරුවන් වනසංග‍්‍රාමයෙහි පුහුණුකරුවකු කරමින් රට එක්සේසත් කරන්නට ඇසක් මෙන් ඔහු බලා ගත් මහා සෙනෙවි බුදල්නා ඔහුය. රට එක්සේසත් කොට කීර්ති කුමරුවන් කිරුළු පැළඳිමෙන් පසු බුදල්නාවෝ සිය මහා මෙහෙය අවසන් කොට ආපසු ගියේය. ඔහු යළි පැමිණ සිටියි. රජුගේ ළමා වියේ දී බුදල්නා තමා හා රට වෙනුවෙන් කළ අප‍්‍රමාණ කැපවීම ඉමහත්ය. විසි හත් වසරකට පසුව හෝ මේ මහා මිනිසා වෙනුවෙන් සිය යුතුකම ඉටු කරලන්නට රජුට වුවමනා විය. ඔහු සියලූ‍ විස්තර අලළා සන්නසක් කළේ තඹ තහඩුවකය. එය එසේ මෙසේ සන්නසක් නොවිණ. එතෙක් මෙතෙක් ඉතිහාසයේ එබඳු වරප‍්‍රසාදයක් ලද කිසිවකු හෝ සිටියේ නැත. එය බුදල්නාවන්ට පමණක් නොව ඔහුගෙන් පැවත එන්නන්ටත් එක්කය. මේ සන්නස අනුව බුදල්නා පරපුරේ කිසිවකු අතින් සිදුවන පළමු, දෙවැනි හා තුන්වැනි වරද පවා නිදහස ලබා දිය යුතු බව රජුගේ නියමය විය. එසේම එම පරපුරේ කිසිවකු සිරගත කිරීම, දඩ අය කිරිම, දේපළ රාජසන්තක කිරිම ද නොකළ යුත්තේය.

සියවස් ගණනකට පසු කරෝලිස් අප්පුහාමිට ලැබෙන තඹ සන්නස එයයි.

තව නොබෝ දිනකින් මෙරට සිනමා හල් කරා ඇදෙන අලූ‍ත්ම සිනමා කෘතියවූ ශ‍්‍රී සිද්ධා සඳහා පාදක වනුයේ එදා කීර්ති කුමාරයාණන් තම රැුකවලා වූ බුදල්නා සමඟ දේශයේ නිදහස වෙනුවෙන් කළ මහා සංග‍්‍රාමයයි. එය අධ්‍යක්ෂණය කරනු ලබනුයේ රියර් අද්මිරාල් සරත් වීරසේකර විසිනි. ඔහු මෙයට පෙර නිර්මාණය කරන ලද ගාමණි සිනමා නිර්මාණය විචාරකයන්ගේ මෙන්ම පේ‍්‍රක්ෂක්යන්ගේ ද දැඩි අවධානය දිනා ගත්තේය. මහා විජයබා පුවත සිනමාවට නගන්නට ඔහු පෙරුම් පුරන්නට පටන් ගත්තේ ගාමණි තිර ගත වන සමයේ සිටය. ඒ බැව් ඔහු සරසවිය හමුවේ කියා සිටියේ ඒ දවස්වලය. දැන් එම සිහිනය සැබෑ කැරගෙන අවසන්ය. ලෝක සිනමාවේ චිත‍්‍රපට අධ්‍යක්ෂණය කරන ලද රියර් අද්මිරාල්වරු ඇත්තේ දෙදෙනෙකි. අමෙරිකානු සිනමාකරුවකුව සිටි සිනමාකරුවන්ගෙත් සිනමාකරු ලෙස හඳුන්වාදෙනු ලබන ජෝන් ෆෝඞ් එයින් පළමුවැන්නාය. අනතුරුව රියර් අද්මිරාල්වරයකු සිනමාකරුවකු වනුයේ මෙරට සිනමා කර්මාන්තයේය. ඒ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරය.

ඔහු මහා විජයබා පුවත සිනමාවට නඟන්නේ අපේ ඉතිහාසයේ අභිමානවත් පුවත කියා සිටින්නටය. ලොව සංග‍්‍රාම ඉතිහාසයේ ගරිල්ලා සටන් කලාව ගැන සඳහන් වන පැරණිතම පුරාවෘත්තයක් වනුයේ විජයබා වෘත්තාන්තයයි. රට එක්සේසත් කළ පසු ද අභ්‍යන්තර වියවුල් රැුසකට මුහුණ දුන් විජයබා රජු අතිමහත් සංඛ්‍යාවක් වැව් අමුණු සාදා වෙහෙර විහාර කරවා රට සමෘධිමත් කළේය. එමෙන්ම ඔහු විසින් බුදල්නාවන්ට දුන් තඹ සන්නස මෙරට ඉතිහාසයේ පැරණිතම තඹ සන්නස වෙයි.

මහා විජයබා පුවත සිනමාවට නැගෙන්නේ ශ‍්‍රී සිද්ධා නමින්ය.

එයට රංගනයෙන් දායක වන්නෝ මෙලෙසය.

දිනෙත් ද සිල්වා, ජගත් චමිල, පබෝධා සංදිපනී, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, කුමාර තිරිමාදුර, දමිතා අබේරත්න, රිටිගල සුමේධ, සචිත‍්‍ර වීරසේකර, ජනිදු චමත් කුමාර, උදේනි අල්විස්, රජිත රොඩිරිගෝ, කුමාර කරුණානන්ද, රුවන් වික‍්‍රමසිංහ, සචිත‍්‍ර වීරසිංහ, ඕෂධි හේවාමද්දුම, ගීතා කාන්ති ජයකොඩි, මෙලනි අශෝකා. චනුද් අධිකාරිවත්ත. ඇතුළු නළු නිළියන් රැුසක් මෙහි රංගන දායකත්වය සපයති.

නිශ්චල ඡුායාරූප -ධම්මික පතිරත්න. ගායනා - මීනා ප‍්‍රසාදිනි, සමන් ලෙනින්, නැටුම් නිර්මාණය - ජනානන්ද ජයශ‍්‍රී, කලා අධ්‍යක්ෂණය-පැට‍්‍රික් ඬේවිඞ්, සංගීතය-මිලින්ද තෙන්නකෝන්, සටන් අධ්‍යක්ෂණය - රිටිගල සුමේධ. වෙස් ගැන්වීම - ප‍්‍රියන්ත දිසානායක, ඇදුම් නිර්මාණය-කුමාර කරව්දෙණිය, නිෂ්පාදන කළමනාකරු- නිමල් විජේසිරි සේනාධීර, සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප‍්‍රිය, කැමරා අධ්‍යක්ෂණය- චන්දන ජයසිංහ. සංස්කරණය,ශබ්ද නිර්මාණය වර්ණ සංයෝජනය හා විධායක නිෂ්පාදනය - ප‍්‍රවීන් ජයරත්න, නිෂ්පාදනය- තුසිත විජේසේන, ආචාර්ය ගුණපාල රත්නසේකර, දොස්තර මාලිකා ජයසූරිය. ගී පද රචනය, තිර රචනය, හා අධ්‍යක්ෂණය - රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර