වසර තිස්පහක් සැඟව සිටි වෙස්වළාගත් තරුණිය පැමිණෙයි

ජුනි 18, 2020

 

ස්වාමි ජයදේව තාපසයෙකි.මහාඝන කැලෑවක ඔහු භාවනායෝගීව වෙසෙයි.දිනෙක ස්වාමි ජයදේවට වනය තුළින් ආගන්තුක නාදයක් ඇසෙයි.ඔහු සිතුවා නිවැරදිය.ඒ සිඟිත්තියකගේ හැඬීමකි.වහ වහා හඬ පැමිණි මග ඔස්සේ ගිය ස්වාමි ජයදේවට සිඟිත්තිය හමුවෙයි.ඔහු පරිස්සමට ඇය දෝතට ගනියි.කාලයාගේ ඇවෑමෙන් ලදැරිය සුරූපී තරුණියක් බවට පත්වේ.ඇගේ නම සුවඳරීය.තමන් පිටුපස මහත්වූ රහසක් ඇතිවග ඇයට වැටහේ.සුවඳරී එය සොයායෑමට පටන්ගනියි.වනයේ සුවදායී පරිසරයෙන් මිදී නගරයට එයි.එහිදී ඇය පිරිමියකු හැටියට වෙස්වලාගනියි.

මේ සුවඳරීගේ කතාවයි.සිනමාපටයේ නම වෙස්වළාගත තරුණියයි.සිනමාලෝලී ඔබට ඒ නම නුහුරු නැත.වරින් වර සරසවිය පුවත්පත ඔස්සේද ඔබට මෙම සිනමාපටය ගැන විස්තර පළවිය.නමුත් වෙස්වළාගත් තරුණිය තිරයට ආවේනම් නැත.1985 වසරේදී නිර්මාණය වූ මෙය කේ.ඩී.නිකලස්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.විජය කුමාරතුංග ඇතුළු එකල අතිශය ජනප්‍රිය සිනමා තරු රැසක් මෙහි චරිත මවනලදි.එදවස සිනමාලොව චමත්කාරය විදහාලමින් වෙස්වළාගත තරුණිය තව නොබෝදිනකින් තිරගතවනු ඇත.මීට කලකට ඉහතදී කේ.ඩී.නිකලස් අප අතරින් වියෝවිය.ඔහුගේ පුත් විදර්ශන කන්නංගර වෙස්වළාගත තරුණිය තිරයට ගෙන එන්නට සූදානම් වේ.කේ.ඩී.නිකලස් සරසවිය සම්මාන දිනූ තිරකතා රචකයෙකි.බිතුසිතුවම් සිනමාපටය වෙනුවෙන් ඔහු එලෙස සම්මාන දිනුවේය. සඳමාලි,මධුවන්ති,ආයාචනා, නුවන් රේණු,සමාවෙන්න,නරලොව හොල්මන්,තාරකා මල්,සොඳුරු වසන්තය,අපායෙන් තත්පර අසූ හාරදාහක්,වැඩ බැරි ටාසන් වැනි සිනමාපටයන් රචනා කරන ලද්දේ කේ.ඩී.නිකලස් විසිනි.වෙස්වළාගත තරුණිය තිරයට එන්නේ වෙඩි වගේ වැඩ ඇගේ යන නමිනි.නමුත් වෙස්වළාගත තරුණිය නමද භාවිත වේ.

සිනමාපටයේ නළුනිළියන් -

විජය කුමාරතුංග,අනෝජා වීරසිංහ,මර්වින් ජයතුංග,සොමී රත්නයක,සතිස්චන්ද්‍ර එදිරිසිංහ,ලයනල් දැරණියගල,සුමනා අමරසිංහ,මානෙල් වානගුරු,ලීනා ද සිල්වා,ආනන්ද වික්‍රමගේ,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,අරුණ ශාන්ති,

මැණිකේ අත්තනායක,දේවිකා කරුණාරත්න,ලිලියන් එදිරිසිංහ,ටෙඩී විද්‍යාලංකාර,හර්බට් අමරවික්‍රම,එල් එම්.පෙරේරා,එම්.වී.බාලන්,සුනිල් හෙට්ටිඅරච්චි,ටිරෝන් මයිකල්,ජයලත් ප්‍රනාන්දු,සිරිමතී රසාදරී

සිනමාපටයේ   නිෂ්පාදන කණ්ඩායම -

කැමරාකරණය-ජේ.ජේ.යෝගරාජා

සංගීත අධ්‍යක්ෂණය-මෙල්‍රෝයි ධර්මරත්න

ගීත රචනා - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,ශ්‍රී නිහාල් ජයසිංහ,

උපාලි ධනවලවිතාන,කේ.ඩී.නිකලස්

ගායනා - එච්.ආර්.ජෝතිපාල,ලතා වල්පොල,අමිත් වල්පොල,කලාවතී

කලා අධ්‍යක්ෂණය - පත්මසිරි සොයිසා

සටන් අධ්‍යක්ෂණය -  ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - එඩ්වඩ් එම්.විතාන

නිශ්චල ඡායාරූප - ලීනස් කල්දේරා

සංස්කරණය - එම්.එස්.අලිමාන්

වෙස් ගැන්වීම - ඩබ්ලිව්.සෙල්වරාජ්

කොණ්ඩා සැරසිලි/ඇඳුම් නිර්මාණය - වික්ටර් ලොයිඩ්

සහාය අධ්‍යක්ෂණය - ලයනල් පඬුවාවල,හේමප්‍රිය කන්ඩම්බි