අම්මා නොවෙයි බුදු වන්නේ නුඹයි පුතේ නන්දා - සුනිල් - ගයත්‍රි ගැන ජැක්සන් ඇන්තනී කියන ආන්දෝලනාත්මක කතාව

ජැක්සන්ට මඟහැරුණු The Newspaper
ජුනි 25, 2020

කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලගේ තිරරචනයක්ද අධ්‍යක්ෂණයක්ද වුණු එච්.ඩී. ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේ සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ නිෂ්පාදනයක් වුණු "The Newspaper " චිත්‍රපටයේ තේමා ගීතය එළිදැක්වීමේ සුවිශේෂී හමුවක් පසුගියදා (16) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙම ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදරචනයෙන්ද ගයත්‍රි කේමදාසගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද විශාරද නන්දා මාලිනියගේ ගායනගෙන්ද නිර්මාණය වී ඇත. මෙම අවස්ථාවට එක් වෙමින් ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මෙම චිත්‍රපටය සහ එහි සංගීතය නිර්මාණය පිළිබඳව සුවිශේෂී කතාවක් කළේය. එය මෙසේය.

 

‘’පශ්චාත් කොරෝනා වකවානුවේ සිනමාව වෙනුවෙන් මාධ්‍ය විවෘත වෙන පළමු සැසිය මෙයයි කියලා මම.හිතනවා. ඒ නිසා මේ සීමා සහිත ප්‍රේක්ෂකාගාරය පවා පිරී තිබීම හෙට අනිද්දාට නැවත සෙනඟ වෑහෙන චිත්‍රපටිශාලා විවෘත වෙනවා කියන එකට අපූරු පෙර දැක්මක්. අපි කවුරුත් නොදැකපු චිත්‍රපටයක් ගැන විචාරයක් ඉදිරිපත් කරන්න මම සූදානම් නැහැ. මම මේ චිත්‍රපටයේ තිරකතාව කියවා තිබෙනවා. ඒ පිළිබඳව උනන්දු වී තියෙනවා. නමුත් මට මගේ ගුරුවරයා වුණු බන්දුල සර්ගේ සමූපාකාරය හමු වුණේ නැහැ. එහෙම හමු වුණා නම් අද මට මෙහෙම කතාවක් පවත්වන්න වෙන්නෙත් නැහැ. ඒ නිසා චිත්‍රපටය පිළිබඳව මගේ අදහස කෙටියෙන් කියන්නම්.

මේ චිත්‍රපටය ගුටි කන්න නියමිත චිත්‍රපටයක්. අපේ රටේ තියෙන හොඳ නරක සියල්ල පෙන්වන්නේ මාධ්‍ය. මාධ්‍ය තමයි හෙළිදරව් කරන්නේ ඒ රටේ තියෙන සියලුම අක්‍රමිකතා. නමුත් මාධ්‍ය තුළ සිද්ධ වෙන අකටයුතුකම් හෝ මාධ්‍යා ආයතනවල පරිපාලන තුළ සිදුවෙන මහා පරිමාණ වෙනස්කම් වෙනත් මාධ්‍යකින් කවදාවත් විචාරයට, විශ්ලේෂණයට භාජනය වෙන්නේ නැහැ. එහෙම සම්ප්‍රදායක් අපේ රටේ තියෙනවා. ඒ සම්ප්‍රදාය ලෝකෙයේම තියෙනවා වෙන්නත් පුළුවන්. ඒක මාධ්‍ය අතර වෙන සම්මුතියක්ද කියන එක අපි දන්නේ නැහැ. "The Newspaper " කියන්නේ ලංකාවේ මාධ්‍ය පිළිබඳ කතාබහ කරන චිත්‍රපටයක්. විශේෂයෙන් පුවත්පත් කලාව වස්තුවිෂය කරගෙන තමයි මෙහි තිරකතාව නිර්මාණය වෙන්නේ. මෙහි සුබ පක්ෂය සහ අසුබ පක්ෂය කවුද කියන්නේ නැහැ මම. ඒක නරඹා දැනගන්න. හැබැයි ව්ඥඹඵනචනඥප එක චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්.

අද මාතෘකාව මේ චිත්‍රපටයේ මේ ගීතය. චිත්‍රපටය තුළ අන්තර්ගත වෙන මේ ගීතය චිත්‍රපටයෙන් වෙන් කළ හැකිද? නැති නම් චිත්‍රපටයෙන්ම මේ ගීතය උපදිනවාද? චිත්‍රපටයෙන් මේ ගීතය උපදිනවා නම් එය චිත්‍රපට පසුබිම් ගීතයක්. අපේ රටේ චිත්‍රපට ගීත තියෙනවා. නමුත් චිත්‍රපට පසුබිම් ගීතය චිත්‍රපටවල තේමාවත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා මේ චිත්‍රපටයේ කතා කරන්න පුළුවන් පැතිකඩ කීපයක් තියෙනවා. පැතිකඩ පහක් විතර තියෙනවා. පළවෙනි පැතිකඩ තමයි චිත්‍රපටයේ අර්ථපතීත්වය. ඒක මම අතහරිනවා. මගේම ගුරුවරයෙක් වෙච්ච ආචාර්‍ය බන්දුල ගුණවර්ධනයන් නිසා ඒ අර්ථපතීත්වය ගෞරවයෙන් පැත්තක තියලා මට කතා කරන්න පුළුවන් චිත්‍රපටයේ තේමාව, ගීතය, ගීත ගායනය, සංගීත නිර්මාණය ගැන. මේ ගීතය කොතෙක් සිනමාත්මකද, කොතෙක් සමාජයට බද්ධ වෙච්ච නිර්මාණයක්ද කියලා කතා කරමු.

වෙන චිත්‍රපටිවල ගීත තියෙනවා. ඒක උපුටා ගෙන වෙනත් ගීතයක් ලෙසත් භාවිත වෙනවා. අපි දන්නෙත් නෑ ඒක චිත්‍රපට ගීතයක්ද කියලා. සමහර චිත්‍රපට තේමා ගීත තියෙනවා ඒවා අපිට චිත්‍රපටයෙන් වෙන් කරන්නම බැහැ. පරම්පරා ගණනාවක් ගියත් ඒ ගීතයෙන් චිත්‍රපටයේ රූපාවලිය පෙන්වනවා. උදාහරණයක් ලෙස සත්සමුදුර චිත්‍රපටයේ "සිනිදු සුදුමුදු තලාවේ" ගීතය පරම්පරා ගණනාවක් ගියත් ඒ චිත්‍රපටයෙන් මුදවලා අහන්න බැහැ. සෝමදාස ඇල්විටිගලයන් සංගීතවත් කරපු පණ්ඩිත් අමරදේවයන් ගායනා කරපු ඒ ගීතය අපට චිත්‍රපටය තුළ කිඳා බැසපු ගීතයක්. මෑත කාලීන සිනමාවේ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කරපු උදේකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයක් වුණු "ගිනි අවි සහ ගිනි කෙළි" චිත්‍රපටයේ ලූෂන් බුලත්සිංහල රචනා කරපු "දිවි මකුළු ඇස නොසැලේ" ගීතය ඇහෙන වාරයක් පාසා ඒ මිනීමරු පාතාලයේ ක්‍රෑරකම, සාහසිකත්වය පේන්න පටන්ගන්නවා. චිත්‍රපටයේ මතකයත් එක්ක බද්ධ වෙච්ච ඉතා දුර්ලභ ගීතාවලියක් අපට තියෙනවා.

ඒවා සිනමාවෙන් ඉවත් කරන්නට බැහැ. මම මේ ගීතය සලකන්නේ ඒ වගේ චිත්‍රපටයේ තේමාවත් සමඟ බද්ධ වුණු ගීතයක් ලෙස. තව අවුරුදු 25ක් විතර ගිහින් මේ ගීතයත් එක්ක සරත් කොතලාවලගේ සහ කුමාර තිරිමාදුරගේ රූපාවලිය අනන්‍ය නොවනවා නම් මගේ මතය වරදින්න පුළුවන්. මේ ගීතය ඒතරම්ම චිත්‍රපටයේ තේමාවත් එක්ක බද්ධ වෙලා එහි ගැඹුරු සංකල්පයක් ගොඩනඟනවා. මේ චිත්‍රපටයේ මේ ගීතය ඇහෙන තැනදී චිත්‍රපටය පිළිබඳව විශාල ගෞරවයක් හටගන්න පටන්ගන්නවා. මේකෙන් කියන්නේ මෙබඳු දෙයක් නේද කියලා අපට හිතවන්න මේ ගීතය මුල්බසිනවා. ඒ නිසා මේ ගීතය ගැන කතා කරනකොට මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීත රචනය, විශාරද නන්දා මාලිනියගේ ගායනය, ගයත්‍රී කේමදාසගේ සංගීත නිර්මාණය සහ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ රූපාවලිය ගැන කතා කරනවා.

මහාචාර්ය සුනිල් ආරියරත්න ගැන කතා කරද්දි එතුමන් පිළිබඳ දීර්ඝව කතා කරන්න පුළුවන්. හේතුව එතුමන් පිළිබඳව කිසිදු සාකච්ඡාවක් වර්තමානයේ පැවැත්වෙන්නේ නැහැ. මහගම සේකර, චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, එදිරිවීර සරච්චන්ද්‍ර වගේ අයගේ භාවිත කාලය තුළම ඔවුන් පිළිබඳව සකච්ඡාවට ලක්වුණා. ඊට සමකාලීනවම ඔවුන් පිළිබඳ විචාර ලියැවුණා. සයිමන් නවගත්තේග්ම, ප්‍රේමකීර්ති ද අල්විස් වගේ අය ගැන කතා කරන්න පටන්ගන්නේ ඔවුන් අපිව හැරදා ගියාට පස්සේ.

සේකර යුගයේ සිටම මේ සංස්කෘතික කලාපයේ වැජඹෙන මහාචාර්ය සුනිල් ආරියරත්න ගැන සාකච්ඡාවක් නැත්තේ ඇයි? එතුමන්ගේ ගීත කලාව පිළිබඳ සාකච්ඡාවක් ගැඹුරින් පවත්වන්නේ නැත්තේ ඇයි කියන කාරණයට මම දෙන පිළිතුර සාහසික වෙන්න පුළුවන්. ඒ මේ රටේ විචාර කලාවේ වෙනස්කම්. විචාරය සහ විවේචනය කියන සංකල්ප දෙක දැන් එකට ඇනිලා තියෙන්නේ. ඒ දෙක එකිනෙකට වෙනස්. සිද්ධාන්තයෙන් පරිබාහිර වෙච්ච විවේචන කලාව තුළ සුනිල් ආරියරත්නයන් හසු වෙන්නේ නැහැ. එතුමගේ සමස්ත සංස්කෘතික ක්‍රියාවලියම එකට එක් කර විචාරයට ලක් කරන්න ඕනේ.

මේ ගීත රචනාව එසේ මෙසේ ගීත රචනාවක් නොවේ. මේ ගීත රචනාවෙන් එතුමන් අල්ලන නිමිත්ත කුමක්ද? මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු සහ තිරරචකයින් පෙන්වන නිමිත්තට වඩා එහා ගිය නිමිත්තක් තමයි එතුමන් අල්ලගන්නේ. එය බෞද්ධ දෘෂ්ටියත් එක්ක දැඩි ලෙස සම්බන්ධ වෙනවා. බෞද්ධ ජනශ්‍රැතියෙන් තමයි ඔහු මේ නිමිත්ත අල්ලා ගන්නේ. අපි අහලා තියෙනවා "පුතේ උඹ බුදු වෙයන්" කියලා මවක් දරුවෙකුට කියපු කතාවක්. පන්සිය පනස් කතා පොතෙනුත් ඈතට ගිහින් සුනිල් ආරියරත්නයන් වර්තාමානයට මේ මව් ගුණය ගේනවා. අද අපිට හමුවෙනවාද එහෙම අම්මාව කරේ තියාගෙන සත්සමුදුර පිහිනපු පුත්වරු සහ බුදුවෙන්න කියන මව්වරු? එහෙම නම් ඒ කවර පුත්‍රයෙක් සඳහාද අම්මාට එසේ කිව හැක්කේ කියලා මේ චිත්‍රපටයෙන් සුනිල් ආරියරත්න පෙන්වලා තියෙනවා. එහෙම පුතෙක් මේ චිත්‍රපටය පුරාම ඉන්නවා. මේ චිත්‍රපටයේ රාමුවේ පටන්ගත් තැනේ සිට අවසානය පුරාවටම ඒ පුතා ඉන්නවා. මේ චිත්‍රපටය මට හරි දාර්ශනික චිත්‍රපටයක් වෙන්නේ ඒකයි. මහාචාර්යතුමාට පේනවා මේ චිත්‍රපටයේ පෙනෙන දේට එහා දෙයක් තියෙනවා කියලා. ඒ නිසා එතුමන් මේ ගීතය රචනා කරන්නේ චිත්‍රපටයට පෙනෙන දේට එහායින්.

 

"දොළේ දියත් නැති විය නුඹ නාවන්ට

තනේ කිරිත් දිය විය තොල් පුරවන්ට

කටුසර බෝග තිබුණේ බඩ පුරවන්ට

සමාවෙයන් පුතුනේ නුඹ වැදුවාට"

 

පැය ගාණක් උලලේනි හැඬුවාය

ගම්මැද්දේ බැල්ලිය උඩු බිරුවාය

නුඹ එන තුරා අම්මා දින ගැන්නාය

හාමත් වෙලා ගොම පොළෙවේ වැටුණාය

 

දුක් ගිනි නිවන්නට මතු ජාතියක නොවේ

ආයෙත් මගේ බඩට දවසක වරෙන් පුතේ

නුඹ මට කරපු දේවල් මහමෙරක් වගේ

අම්මා නොවෙයි බුදු වන්නේ නුඹයි පුතේ"

 

මෙන්න මේ පදවැල චිත්‍රපටයත් එක්ක වින්දනය කරන්න ඕනේ. එවිට පදවැලේ අර්ථය දැඩිව වින්දනය වෙන හැටි ඔබට වැටහේවි.

ඊළඟට මම කතා කරන්නේ නන්දා මාලනිය ගැන. මේ ගීතය ගායනා කරන්න සුදුසුකම් ලබන ලංකාවේ හොඳම එකම ගායිකාව ඇයයි. ඒ ඇයි කියන ප්‍රශ්නය මේ චිත්‍රපටය තුළම තියෙනවා. මේ චිත්‍රපටයේ ඉතාම අඩුවෙන් කතා කරන අම්මා ගායනා කරන්න පටන් ගන්නවා ඇගේ සිතිවිලි. මෙහි අම්මා හෙවත් නන්දා මාලනිය මාතෘ ගායිකාව කිව්වාම ඇගේ දරුවන් බවට පත් වෙනවා චන්ද්‍රා ද සිල්වා, සුදර්මා ද සිල්වා, නොයෙලින් ලියනගේ වගේ අයත්. එපමණක් නොවෙයි. කෝකිලදේවිලා, රුක්මණීදේවිලා පවා මාතෘ ගායිකාවගේ දරුවන් ලෙසයි මම දකින්නේ. ඒ තරම් මේ අම්මා කියන භාවරූපය නන්දා මාලනියගේ හඬ සමඟ මුසුවෙලා තියෙනවා. නන්දා මාලනී නැමැති භාවරූපය අපේ අම්මා කියන භාවරූපයත් සමඟ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ චිත්‍රපටයේ භාව ගායනය කරන්නට අය තරම් සුදුසුකම් බලන තවත් ගායිකාවක් නැහැ කියලා මම කියන්නේ. මේ තිරකතාවේ කඳුළු සලමින් ඉන්න අම්මාට ගැඹුරු අර්ථයක් දෙන්නට සුනිල් ආරියරත්නයන්ගේ පදවැල්වලට නන්දා මාලනිය ගායනා කරනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තමයි ලංකාවේ සමාජ දේශපාලනයේ භාව ගීත රචනා කළේ. මනුසත්ව ගීතය නෙමෙයි සමාජ සත්ව ගීතය රචනා කළේ ඔහු. සමාජ භාවය පිළිබඳව එතුමන් "සත්‍යයේ ගීතය සහ පවන" හැටියට රචනා කරනවා. එය ගායනා කළේ නන්දා මාලනිය. ඒකෙන් තවත් මේ කාරණාව ඔප්පු වෙනවා. මේ සමාජය පවතින තුරු ඒ සමාජභාව ගායනාව පවතිනවා.

මේ ගීතයේ, මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය ගැන අපි කතා කරමු. මේ ගීතයේ පදැවල ඇහෙන්නේ අවසානයේ වුණාට ගීතය සඳහා අපේ භාවරූපය ගයත්‍රි කේමදාස ආරම්භක සංගීතයේදීම පටන්ගන්නවා. ඇය මේ මුළු චිත්‍රපටය පුරාම ශෙලෝව තමයි එහි ප්‍රධාන වාද්‍ය භාණ්ඩය බවට පත් කරගන්නේ. මේ ගීතය අහනකොට නන්දා මාලනියගේ කට හඬත් ශෙලෝවත් අතර කොයිතරම් සබඳතාවක් තියෙනවාද කියලා මට හිතුණා. මාතෘත්වයේ හඬ මොකක්ද කියලා ඇහුවොත් මට මතක් වෙන්නේ ශෙලෝව. අම්මාගේ ගැඹුරු හඬ ශෙලෝවෙන් එන හඬ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසාම සංගීත අධ්‍යක්ෂවරිය මේ චිත්‍රපටය පුරාම ශෙලෝවේ හඬ අරන් එනවා. මේ ගීතයත් එක්ක ගොඩනැඟුණු ඊළඟ මතවාදය "ගොසිප්" කියන එක. සිංහලෙන් "ගොසිප්"වලට කියන්නේ ඕපාදූප කියලානේ. ඉංග්‍රීසියෙන් ගොසිප් එක ගමේ කියන ඕපාදූපවලට වඩා යම් වැදගත් ස්වරූපයක් තියෙනවා. මේ ගීතය ඇතුළේ අපූරු ගොසිප් එකක් තියෙනවා. ඒ තමයි ප්‍රේමසිරි කේමදාසයන් සහ ගයත්‍රී කේමදාස අතර සබඳතාව සුනිල් ආරියරත්නයන් සහ නන්දා මාලනිය හරහා ගොඩනැඟෙන හැටි. මම නිවැරදි නම් "අම්මාවරුනේ" කියන භාව ගායනාවට පසුව කේමදාසයන්ගේ සංගීත නිර්මාණයක් නන්දා මාලිනියගේ ගායනයක් ලෙස ගැයුවේ නැහැ. ඉන්පසු අපේ පොඩි පොඩි හිත් රිදීම් වෙනවා. කාලයක් සුනිල් ආරියරත්න, නන්දා මලනී සහ රෝහණ වීරසිංහ අතරත් පොඩි විරසකයක් තිබුණා. ඒ විරසකය අපේ සංස්කෘතියටත් බැලපෑවා සුබ සහ අසුබ විදිහට. රෝහණ වීරසිංහ සංගීතවත් කළා නම් "පවන" ප්‍රසංගයේ ගීත මීට වඩා වෙනස් විදිහකට අපට ඇහෙන්න තිබුණා. ඒ වගේ කේමදාසයන් නන්දා මාලනිය සහ සුනිල් ආරියරත්න කියන මේ ත්‍රිත්වයෙන් ගීත නිර්මාණය වුණේ නැහැ. ඒක විරසකයක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ විරසකය අපේ චිත්‍රපටයේ නිෂ්පාදකතුමා සහ අධ්‍යක්ෂවරුන් එක් වෙලා ජන්මාන්තර විරසකයක් බවට පත් නොවී අපූරු සංකලනයක් බවට පත් කළා. ගයත්‍රී කේමදාස මට කිව්වා ඉතාම ඉහළ දායකත්වයක් මහාචාර්යතුමාගෙන් සහ නන්දා මාලිනියගෙන් ලැබුණා කියලා. ගයත්‍රී කේමදාසයන් පදවැල් වෙනස් නොකර හරි අපූරුවට සිව්පද ආකෘතිය වෙනස් කරමින් මේ නිර්මාණය සහ නන්දා මාලිනිය අතර අනන්‍යතාවක් ඇති කළා. මේ චිත්‍රපටයේ තේමාව වෙන්නේ අපේ රටේ තිස් අවුරුදු යුද්ධය. යුද්ධයේ අතුරු ඵලයන් ජීවිතයක් විනාස කරගෙන, පවුල් පදනම් විනාස කරගෙන ගොඩනැඟෙන හැටි තමයි මේ චිත්‍රපටය පුරාම පෙන්වන්නේ. ඒ ගීතයෙන් එක පුතෙක්ගේ වියෝවීමකට මේ අම්මා අඩනවා. ගයත්‍රී කේමදාස ඒ දරුවාට එහා ගිය තවත් දරුවෝ ගොඩකගේ හඬවල් අපිට මේ ගීතයෙන් අහන්න සලස්වනවා. ඇය මේ ගීතයට ඇතුල් කළ පිරිමි හඬවල්වලින් අපට පේන්න පටන් ගන්නවා තවත් විශාල පුත්තු තොගයක්. සිංහල දෙමළ මුස්ලිම් භේදයක් නැතුව මේ යුද්ධයෙන් මිය ගිය සමස්ත දරුවන්ගේ හඬ මේ ගීතයට ඇය ඇතුළු කරගන්නවා. මේ ගීතයට නන්දා මාලනියගේ හඬ සංයෝග වීම, නූතන තාක්ෂණික ශිල්ප ක්‍රම සියල්ලත් සමඟ ගොඩනැඟීම ඉතා ඉහළින් කරලා තියෙනවා.

අවසාන වශයෙන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන රස්තියාදුකාරයෝ දෙන්නා ගැන කතා කරමු. අපි මේ අයව හඳුන්වන්නේ විකටයෝ කියලානේ. නමුත් කාටත් අමතකයි "තණ්හා රතී රගා" චිත්‍රපටයේ පිටපත ලියන්නේ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර. The Newspaper  චිත්‍රපටයේ තිරකතාව සහ අධ්‍යක්ෂණය කරන්නේ මේ දෙදෙනා. සරත් කොතලාවල කියන්නේ ලංකාවේ ඉතා දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක්. මම ඔහුව හඳුන්වන්නේ ඇඟ පුරාම නළුවෙක් කියලා. ඉතා දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස මම ඔහුව හඳුන්වනවා. ඊළඟ රස්තියාදුකාරයා කුමාර තිරිමාදුර. කාටත් අමතකයි ඔහුත් පත්තරකාරයෙක්. The Newspaper  කියන චිත්‍රපටයේ තිර කතාව රචනා කරන කුමාර තිරිමාදුර වෘත්තිය පත්තරකාරයෙක්. ඔහු පුවත්පත් කලාවේ සිට තමයි රඟපාන්න ආවේ. මේ පත්තරකාරයා සහ ජසයා ලබන දේශපාලනික නිදහස සහ ඔවුන්ගේ විවෘතකම හේතුකොට ගෙන ඔවුන්ට පුළුවන් වුණා මේ අඬබෙර කෝලම මැනවින් උත්ප්‍රාසාත්මක ලෙස ලංකාවට ගෙන එන්න.

අවසාන වශයෙන් තේමාව ඔසවාගෙන යන ගීත රචනයකුත්, රචනය අර්ථකතනය කරන තනු නිර්මාණයකුත් තනුවට හුස්ම දෙන ගායනයකුත් චිත්‍රපටයේ පැවැත්ම ස්ථාවර කළ බවට මම කියනවා."