වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
‘Film’ කියන්නෙම Commercial Art එකක්
කොරෝනා වසංගතයෙන් වැසුණු සිංහල සිනමාව යළි විවෘත වුණේ 'ඇවිළෙන සුලුයි' සමඟ. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹූ දිනට පසු දින සිට තෙමසක් සිනමා ශාලා වැසී තිබුණා. බොහෝ සිනමාකරුවන් තමන්ගේ කෘතීවලට ප්‍රේක්ෂකයන් කෙසේ ඇදේදැයි යන්න අවිනිශ්චිත බැවින් ප්‍රදර්ශනය කල්දැමීමට උත්සාහ කරද්දි ඇවිළෙන සුලුයි අධ්යක්ෂ චින්තන ධර්මදාස කැමැත්තෙන්ම මේ අවස්ථාවට මුහුණ දෙන්න ඉදිරිපත් වුණා. ඔහු වෘත්තියෙන් වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක දැන්වීම් නිර්මාණකරණයේ යෙදෙන්නකු නිසා මේ අවස්ථාව ඔහු සුබවාදීව ගත්තාද? නැතහොත් පෝලන්තයේ සිනමාකරණය පිළිබඳ හැදෑරූවකු ලෙස සිනමාව පිළිබඳ පරමාර්ථය වෙනස් වූවක්ද? එසේත් නැත්නම් සිනමා විචාරකයකු ලෙස ප්‍රේක්ෂකයන්ගේ හදවත හඳුනාගත් නිසා නොබියව මේ මොහොතට මුහුණ දෙන්නේද? අපි මේ සියල්ල ඔහුගෙන්ම දැනගමු...
කොරෝනා නිසා ඇවිළෙන සුලුයි අවුළා ගන්න තෙමසක් ගතවුණා?
ඇත්ත. ඒත් කොරෝනා සමඟ අපට බොහෝ යෝජනා ආවා, චිත්‍රපටය ඔන්ලයින් ක්‍රම ඔස්සේ මුදාහරින්න කියලා. හැමෝම නිවෙස්වල රැඳී සිටිද්දි මොනවා හරි ඕනේ වෙනවා රසවිඳීන්න. ශාලාවලට ආවත් මේ වසර තුළ චිත්‍රපට නරඹන්න ලොකු උනන්දුවක් ඇති නොවෙයි කියන හේතුවත් එයට බලපෑවා. ඒත් අපි හිතුවා, නෑ... මේ දේ පුළුල් තිරයේ රසවිඳීන්න කැමැති ප්‍රේක්ෂකයන්ට අපි මෙය දායාද කරන්න ඕනේ. අපි මේ චිත්‍රපටය තිරයෙන් ගලවා රූපවාහිනියකට වගේ දැම්මොත් මෙවැන්නක් රසවිඳීමේ අවස්ථාව රසිකයන්ට අහිමි වෙනවා. ඒ නිසා සුළුතරයක් හෝ ප්‍රේක්ෂකයන්ට මේ අත්දැකීම දිය යුතුයි. රජකතා, බණකතා බලනවා වගේ මේ චිත්‍රපටය බලන එකක් නැහැ කියන දේ අපි දැනගෙන හිටියා. ඒත් මේ රසය ඉල්ලන සීමිත පිරිසට හෝ එය ලබාදීම අපේ වගකීම නිසා කොරෝනා ඉවර වූ වහාම පළමුවැනි චිත්‍රපටය ලෙස ආවේ ඇවිළෙන සුලුයි.
හැමෝම ආර්ථික හේතු මත තමන්ගේ චිත්‍රපට පස්සට ගත්තා. ඒක නරක දෙයක් නෙවෙයි, යෙදවූ පිරිවැය අනුව හිතලා ගන්න තීරණයක් ඒක. ඒත් ඒ නිසා චිත්‍රපට දාන්න කවුරුත් නැති වුණා ශාලාවලට. අපව කොහොමත් මුල ඉඳන්ම ප්‍රේක්ෂාගාරය ගැන නිශ්චිත අදහසක් තිබුණා. ඒ අය කොහොම හරි කොරෝනා අස්සෙ වුණත් ඇවිත් මේ ෆන් එක, ත්‍රිල් එක ගන්න පිරිස. සමහර විට කොරෝනා වගේ අපව සමාජයෙන් වෙන් කෙරුණු අවස්ථාවකට පස්සේ අපි බලාගෙන ඉන්නේ තව යාළුවෙක් හමුවෙලා බදාගෙන පිස්සු නටන්නේ කොයි වෙලාවෙද කියලා. ඇත්තෙන්ම අපි ලෝකේ බොහෝ රටවලට වඩා වාසනාවන්තයි ඉක්මනින් සිනමා ශාලා විවෘත කරගන්න ලැබීම නිසා. සිනමා ශාලාවක් කියන්නේ එළියට ගිහින් චිත්‍රපටයක් බලලා හවස එකතුවෙලා බියර් එකක් බීලා ඒ ගැන කතා කරලා ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් අවස්ථාවක්. කොරෝනාවෙන් පස්සේ ඒ වාතාවරණය ඇති කරන පළමුවෙනි චිත්‍රපටය වන්න මට ලොකු ආසාවක් තිබුණා වගේම ඒ චිත්‍රපටයේ තියෙන්නෙත් වාහනයක් අරගෙන ලොකු අවකාශයකට යන අත්දැකීමක්. මම කොහොමත් කැමැතියි එහෙම අභියෝගාත්මක අවස්ථාවල එළියට ඇවිත් වෙන්නේ මොකක්ද කියලා අත්දකින්න. මොකද ආරක්ෂා වෙන්න කියලා හැමදේම කරලා කර්මාන්තයක මුහුණුවරක් ගන්න අපහසුයි.
කොහොමද ප්‍රතිචාර?
ශාලා හිමියන් බලාපොරොත්තු වුණාට වඩා හොඳ මට්ටමක් තිබෙනවා. අපේ චිත්‍රපටයට සතියකට පස්සේ 'ද නිවුස්පේපර්' චිත්‍රපටයත් ආවා. ඒක හොඳ දෙයක්. මොකද ඒ එන්ටර්ටේන්මන්ට් පැකේජ් එක රසිකයන්ට අවස්ථාවක් දෙනවා කැමැති චිත්‍රපටය තොරාගෙන බලන්න. එතකොට ශාලාවලට ප්‍රේක්ෂකයන් ඇදෙනවා වැඩියි. මේ වගේ වෙලාවක චිත්‍රපට බලන්න එන අය තමයි චිත්‍රපට ගැන ඇම්ම තියෙන, බයිස්කෝප් පිස්සුව තියෙන අය. ඇත්තෙන්ම අපට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් උදවුවක් නැහැ. ඒ නිසා රසිකයන්ගේ කටවචනය තමයි චිත්‍රපටයකට තිබිය හැකි හොඳම ප්‍රචාරණය.
මෙය රෝඩ් මූවී ජෝනරයට (ප්‍රවර්ගයට) අයත් චිත්‍රපටයක්?
මෙයට ලංකාවේ චිත්‍රපට කීපයකින්ම මම උත්තේජනයක් ලැබුවා. මෙහේ ජෝනර චිත්‍රපට හදන්නේ නැහැ, එය සාමාන්‍යයෙන් ඇමෙරිකානු සම්ප්රදායේ චිත්‍රපට කලාවක් නිසා. අපි වැඩියෙන් උනන්දු වන්නේ යුරෝපීය සම්ප්‍රදායන්ට තමයි. ඒත් මට ඕනේ වුණා මේ ලක්ෂණ ලංකාවේ සිනමාවේ තිබෙන බව මතු කරලා පෙන්වන්න. රෝඩ් මූවි ම නොවුණට හාරලක්ෂය, දඩයම, තුන්වෙනි යාමය ගත්තොත් ඒ ලක්ෂණ හොඳටම පෙනුණා. මම ඇමෙරිකාවේ රෝඩ් මූවි ප්‍රවර්ගයට බොහොම කැමැතියි. මම හෙවුවා ලංකාවේ මේ වගේ දෙයක් හැදෙනවා නම් කොහොමද එය කරන්න වෙන්නේ කියලා. එනිසා අපේ සිනමා සම්ප්‍රදායන්වලින් ගත් ලක්ෂණ මුල් කරගෙනයි චිත්‍රපටය කරන්න පෙලඹුණේ.
රෝඩ් මූවි එකක ලක්ෂණ පවත්වා ගනිමින් චිත්‍රපටය කළ ආකාරයත් කියමු?
මෙවැනි චිත්‍රපටයක් අපිත් කලින් කරලා තිබුණේ නැහැ. මෙය ලියැවුණු විදිහ පවා වෙනස්. අපි චිත්‍රපටයක් කරනවා කියලා ගෙදර මේසේ උඩ ඉඳගෙන ලියු එකක් නොවේ මෙය. රන්දුලා- මගේ පෙම්වතිය සමඟ කතරගම යන අතර අපි චිත්‍රපටයක් කරමු කියලා කතා කරකර එද්දි ගේම් එකක් වගේ එයා එකදෙයක් කියනවා මම ඒක තව පැත්තකට ගෙනයන්න පුළුවන් ආකාරය කියනවා. එහෙමයි කතාව ගොඩ නැඟුණේ. පස්සේ මම දෙබස් එහෙම දාලා පිටපත හැදුවා.
ඒ නිසා වෙන්න ඇති පුරුෂායිතිය සමඟ කාන්තා අයිතියත් චිත්‍රපටයට එකතු වුණේ?
ඔව්. කාන්තාවන්ගේ දෘෂ්ටිකෝණයත් එයට එකතු වුණේ ඒ නිසා විය යුතුයි. අනෙක රෝඩ් මූවි එකක් හදන්න අපි වාහනය එලවන අතරමනේ කතා වෙන්නේ. ඒ හැඟීම අපට කතාව ගොඩ නඟද්දි හරි පහසුවක් වුණා. ඒත් ඇත්ත කතාව නම් වාහනේ අපි දෙන්නා යද්දි වායු සමීකරණය කරලා කතාව හදාගත්තා වගේ නෙවෙයි. රූපගත කිරීම්වලදි ඒ පාරෙම ගිනි අව්වේ පිච්චි පිච්චි කිසිම සැප පහසුකමක් නැතුව අපට ෂූටින් කරන්න වෙනවා. ඔය පාර තමයි මම හිතන්නේ වැඩියෙන්ම රත් වෙන පාර. සෑහෙන කැපවීමක්. ඒනිසා චිත්‍රපටය හදන කාලේ පින්තූර බලද්දි පවා අපි කට්ට කළුයි. අනෙක අපි මේකට භාවිත කළේ එතරම් සැප පහසුකම් නැති සාමාන්‍ය වාහනයක්. ඒ එක්කම අනෙක් වාහනවලින් අපට තිබුණු බාධා! ඒ අය හෝන් ගහනවා, සමහරුන්ට කේන්ති ගිහින් බැන බැන යනවා. ඒ වගේ හරිම පීඩනයකින් කළේ. ඒක වැඩියෙන්ම ශ්‍යාම්ට දැනෙන්න ඇති. මොකද හොඳට බජට් තිබෙන නිෂ්පාදනයක නම් ඒ වාහනය ගේන්නේ ගෙනියන්නේ වෙනත් කෙනෙක්. ඒත් මෙකෙදි ශ්යාම්ටම තමයි වාහනේ අරගෙන යන්න වුණේත්, සමහර වේලාවට තල්ලු කරන්න පවා වුණේ සමනලී එක්ක. සාමාන්‍යයෙන් රෝඩ් මූවී එකක වාහනය වෙන කැරේජ් එකක තියලා අරගෙන යන පහසුකම් තිබෙනවා. ඒත් අපට එහෙම මුදල් නැති නිසා අපි ඇත්තටම කළේ, වාහනේට දෙපැත්තට ලෑලි දාලා, ඒකේ කැමරාව සවි කරලා තමයි රූගත කළේ. හරියට 1970 ගණන්වල හාරලක්ෂේ කළා වගේ.
එතරම් අඩු වියදම් චිත්‍රපටයකදි කණ්ඩායමේ සහාය කොයිවගේද?
ලෝ බජට් කීවට අපට ඕනෑකම තිබුණේ ආරක්ෂිත පියවරක් ගතහැකි මට්ටමේ පිරිවැයක් ඇතුළත මෙය කරන්න. එය පොඩ්ඩ එහා මෙහා වෙද්දි ලොකු වෙනසක් දැනෙනවා. ඇත්තටම පාරට වාහනේ දාලා ෂූටින් පටන්ගන්න කල්ම අපි හිතුවේ නැහැ ඒ අභියෝග ටික එයි කියලා. පළමුවැනි දවසේ තමයි අපි බය වුණේ. මොකද සැලසුම් කළ, හිතුව වෙලාවට වඩා කාලයක් ගත වෙනවා. ඒ නිසා අපට එදා නවාතැන්වලට ගිහින් ආයෙම ෂෙඩ්යුල් එක සකස් කරන්න සිදු වුණා. පළමු චිත්‍රපටය අපි අධ්‍යයනය සඳහා වගේ කළේ. මේ චිත්‍රපටය අපි ශාලාව ගැන අදහසකින් යුතුවම කළ එකක්. ශ්‍යාම් සහ සමනලී තෝරාගන්න හේතුවත් බටහිර රෝඩ් ත්‍රිලර් මූවීවල දකින රංග භාවිතාවන් අපේ ලංකාවේ රංග ශෛලියට වඩා වෙනස් විම. අපි නොදැනුවත්වම අපේ ලංකාවේ ඔක්කොම චිත්‍රපටවල එක ශෛලියක් ගොඩනැඟිලා තිබෙනවා. එය කඩන්න සිදුවෙනවා අපට මේ වගේ ජෝනර මූවි එකක් කරනවා නම්. ඒ සඳහා අපට අපේ ගෙවල්වල සෑහෙන කාලයක් රංගනයන් පුහුණු වන්න සිදු වුණා. අපි පුරුදු වෙලා තිබෙන්නේ භාවයන් ඕනෑවට වඩා පෙන්වන ක්‍රමයක්. මට ඕනෙ වුණේ හැඟීම් හිත ඇතුළේ තියාගෙන රඟපාන ගතියක්. ඒ මිනිස්සු උණුසුම් ගතියක් නැති සීතල මිනිසුන් බව පෙන්වන්න මට ඕනෑ වුණා. ඒකත් එක්ක ශ්‍යාම් සහ සමනලී මට බොහොම උදවු වුණා ඒ කාලය කැප කරගෙන, ඒ මහන්සිය දරාගන්න. ඒ වගේම කැමරා සහායක, ආලෝකකරණ ශිල්පියාගේ ඉඳන්ම සොයාගන්න ඕනේ වුණා ඇඟේ උණට, ත්‍රිල් එකට වැඩේ ගොඩදාන්න කැමැති පිරිසක්. මගේ වාසනාවට මම වැඩ කරන හැම වතාවකම සල්ලි අඩු වෙන්න-වෙන්න පහසුකම් අවම වෙද්දි ඒ අය වැඩි වැඩියෙන් තමන්ගේ සහයෝගය චිත්‍රපටයට දෙන්න ගත්තා. අපට නළුවා සහ නිළිය පමණක් පෙනුණට ඈත ගහක උඩ ඉඳන් ලයිට් එක අල්ලන කෙනා එක අතකින් අත්තක එල්ලිලා තමයි ලයිට් එක අල්ලන්නේ. පිටරටවල වගේ රක්ෂණය කරලා, බෙල්ට් දාගෙන නෙවෙයි අපි ෂූට් කරන්නේ. ඒ ශ්‍රමය තමයි මම අගය කරන්නේ. ලංකාවේ ෆිල්ම්ස් දුවන්නේ මිනිසුන්ගේ ඒ කැපවීම නිසා කියලායි මම හිතන්නේ.
ලංකාවේ පළමුවැනි රෝඩ් මූවි එක කොහොම ප්‍රේක්ෂකයන් බාර ගනීද කියා හිතුවාද?
මම චිත්‍රපටයක් කරද්දි සෑහෙන දේවල් හිතලා බලනවා. කොටින්ම තිරනාටකය ලියන්න කලින් අයවැය පවා හිතල තමයි කටයුතු කරන්නේ. අපේ සිනමා ප්‍රේක්ෂාගාරය අපට විනිශ්චය කරගන්න බැරි තැනක තිබුණේ. මොකද මීට කලින් කාලයේ අපි සිනමා ශාලා පිරෙව්වේ චිත්‍රපට ප්රේක්ෂකයන්ගෙන් නෙවෙයි. තොරණ සහ වෙසක් නාට්‍ය බලන්න යන අය තමයි චිත්‍රපට බැලුවේ. අනෙක චිත්‍රපටය පිළිබඳ දේශපාලනිකව කළ උනන්දුව නිසා හරියට ඡන්දෙ දාන්න යනවා වගේ තමයි ශාලාවලට යන්නේ. එයින් විනිශ්චය කරන්න බැහැ අපේ ප්‍රේක්ෂකයන් බලන්න කැමැති මොනවාද කියලා. මගේ අදහස වුණේ අපේ නියම ප්‍රේක්ෂකයා ඒ වෙනකොට සිනමාව අතහැරලා ඉන්නේ, ඇත්තටම චිත්‍රපට බලන්න කැමැති මිනිස්සු චිත්‍රපට ශාලාවල නෙවෙයි ඉන්නේ. අන්තර්ජාලය ලංකාවට ආවට පස්සේ අපට ටොරන්ට් බාගත කරගන්න, ඩීවීඩී චිත්‍රපට බලන්න, පිටරට චිත්‍රපට ඒ කාලය ඇතුළතම වගේ රසවිඳීන්න පුළුවන් වෙනවා. අපේ සිනමා සාක්ෂරතාව සෑහෙන ඉහළ යනවා. සිනමාව හදන අයට වඩා බලන අයගේ සිනමා දැනුම පරිනතබවක් එකතු වෙන්න ගන්නවා. ඒ නිසා මම කල්පනා කළේ තවදුරටත් සිනමාව කියන්නේ පුළුල් තිරය පමණක් නොවෙයි. කුඩා තිර ගණනාවක්, රූපවාහිනී තිරය, ලැප්ටෝප් තිරය, වගේම ජංගම දුරකථන තිරය පවා එකතු වෙලා තමයි දැන් සිනමා තිරය හැදෙන්නේ. මොකද දැන් - දැන් විවිධ ඔන්ලයින් වේදිකාවන්වලත් චිත්‍රපට නිදහස් වන නිසා. ඒත් මම හැමතිස්සෙම විශ්වාස කරනවා ශාලාවට ඇවිත් කට්ටියත් එක්ක චිත්‍රපටයක් බලන සාමූහික අත්දැකීම කියන දේ අනෙක් පරාසයන්ට වඩා වෙනස් කියලා. මගේ උත්සාහය වුණේම අර ටොරන්ට් බාගත කරගෙන, ඩීවීඩී ගෙදර ගෙනත් බලන පිරිසට ආමන්ත්‍රණය කිරීම. ඔයගොල්ලන් ඔය බලන චිත්‍රපටවල ආස්වාදය සහිත චිත්‍රපට සිංහල සිනමාවේත් තිබෙනවා කියන්න. ඒ අලුත් ප්‍රේක්ෂක පිරිසක්, ඔවුන් සිනමා ශාලාවලට යන්නෙම නැති පිරිසක් වෙන්න පුළුවන්. මොකද ඒ අය හිතනවා සිනමා ශාලා ඒ අයට අයිති නැහැ, ඒවයේ තිබෙන්නේ රජකතා, බණකතා කියලා.
ඒ කියන්නේ තරුණ පරපුර?
අන්න හරි. ආරාධනයක් විදිහට ඒ අය සිනමා ශාලාවට කැඳවන්න තමයි මේ චිත්‍රපටය කළේ. ඒත් අපට ඒ අත්දැකීම ඒ විදිහටම පුපුරුවා හරින්න බැරි වෙනවා කොරෝනා ප්රශ්නය නිසා. නැත්නම් අපට තිබුණා ඒ තරුණයන් වෙනුවෙන් වෙන විදිහක එකතුවීම් කණ්ඩායම්ගතවීම් සංවිධානය කරන්න.
මෙවැනි චිත්‍රපටයකට කැමරාව හා සංස්කරණය ඉතා වැදගත්?
පාලිත පෙරේරා තමයි කැමරාව කළේ. චිත්‍රපට කැමරාව කීවාම අප දකින බරපතළ යන්ත්‍රය වෙනුවට පොඩි කැමරා කීපයකින් හරඹ කරන්නයි ඔහුට සිදු වුණේ. බොහෝ වෙලාවට කැමරාව කාරයේ බැඳලා තිබුණේ. කැමරාකරු ඉන්නේ එළියේ. හරි විදිහට නම් පිටරටවල කැමරා අධ්යක්ෂ ඉන්නේ එහෙම තමයි. ඒත් ලංකාවේ කැමරා අධ්යක්ෂ කැමරාවට ඇහැ තියාගෙනමනේ ඉන්නේ. පාලිත එතනින් එළියට ඇවිත් මේ අඩු පහසුකම් යටතේ රූප ග්‍රහණය කරගැනීම තාක්ෂණය මෙහෙයවා ගැනීමයි හොඳට කරලා තිබුණා. ඒ වගේම සමන් ඇල්විටිගල සංස්කරණ ශිල්පියකුට වඩා මාවත් උනන්දු කරගෙන චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සියල්ල ඇදගෙන ගිය කෙනා කීවත් නිවැරැදියි. ඔහු විමුක්ති ජයසුන්දර සමඟ බොහෝ වෙලාවට චිත්‍රපට ඇමුණුම් කළ කෙනෙක්. ඒත් මෙය එහෙම දිගු දර්ශන නෙවෙයි ළඟ-ළඟ ඡේදන සහිතව සහ විවිධ භාවිතාවන් අත්හදා බලන්න සිදු වූ දෙයක්. සමහර විට අපි කළ සංස්කරණය දින කීපයකින් ගිහින් බලලා ආයේ වෙනස් කරන්න වුණා. ඒ සඳහා ඔහු මුදල ගැන නොහිතා දායක වුණා.
විදෙස් සම්මාන ගැන එහෙමත් බලාපොරොත්තුªවක් තිබෙනවද ?
මෙය කොහෙත්ම සම්මාන ධාරාවේ චිත්‍රපටයක් නෙවෙයි. ලංකාවේ පොඩි පොඩි සංස්කෘතික කලාපයන් ගැන අවබෝධයක් නැති කෙනකුට මෙය විඳීන්න බැරි වෙනවා. අපි සම්මාන සිනමාවට චිත්‍රපටයක් දානකොට එයින් යෝජනා කරන ආකෘතියක් තිබෙනවා. ලංකාව වගේ රටකින් බලාපොරොත්තු වන සිනමාව මේ වගේ කියලා වර්ගීකරණයක් ඒ අයට තිබෙනවා. ඒ විදිහට හැදුවොත් විතරයි සම්මාන ලැබෙන්නේ. ඒ නිසාම සම්මාන සිනමාව ලංකාව තුළ ලොකු අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. ඉස්සර වගේ හැමෝම සම්මානවලට චිත්‍රපට හදන්නේ නෑ දැන්. ඒගොල්ලන්ගේ ආකෘතීන් වරින් වර වෙනස් වෙනවා. යුද්දෙ තියෙනකොට යුද්ධය ගැන හදන චිත්‍රපටවලට සම්මාන ගන්න පුළුවන්. යුද්දේ නැති කාලේ යුද්ධය ගැන හැදුවට සම්මාන දෙන්නේ නැහැ. සම්මාන දෙන්න අනුකම්පා හිතෙන තේමාවල රට දුවන්න ඕනේ. මට ඇත්තෙන්ම ඕනෙ වුණේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න ලංකාවේ ශාලාවල දුවන චිත්‍රපටයක් කරන්න. මම අනුර සිල්වා නිෂ්පාදකවරයාටත් මුලින්ම කීවේ මට සම්මාන එනකල් බලන් ඉන්න බැහැ. මිනිසුන්ගේ චියර් එක එක්ක බලන්න පුළුවන් චිත්‍රපටයක් මට කරන්න ඕනෙ කියලා. ඔහුට කට්ට කන අත්දැකීම හොඳටම ලැබුණා. ඒ නිසා දැන් කඩවල් ගානේ ගිහින් පෝස්ටර් අලවන එකට පවා ඔහු දුවනවා. මම විශ්වාස කරන්නේ හැම වාණිජ සිනමාවක්ම කලාත්මකයි.
හැම කලාත්මක සිනමාවක්ම වාණිජමයයි. වාණිජ හෝ කලාත්මක එක් අර්ධයක් හෝ නැත්නම් ඒක සිනමා කෘතියක් වන්නේ නැහැ. හැබැයි අප අපේක්ෂා කරන ඉලක්ක කණ්ඩායම වෙනස් වන්න පුළුවන්. ඒ නිසා වාණිජ අර්ථයක් නැතිව සිනමාව වගේ විශාල කලා අභ්‍යාසයක් සිදුවන්න බැහැ. ඒක දිගු කාලයක් සාමූහිකව කරන වැඩක්. ෆිල්ම් කියන්නෙම 'කමර්ෂල් ආර්ට්' එකක්. සම්මාන සිනමාව කලාත්මකයි කීවට ඒකෙ තිබෙන වාණිජ අරමුණ තමයි ඒවා සිනමා සම්මාන උලෙළවලට රැගෙන ගිහින් ඒවායින් මුදල් උපයා ගැනීම. ඒක වෙනම කමර්ෂල් මොඩ්ල් එකක්. හැම දේකම ආර්ට් එක තේරුම් ගන්න අපට දැනුමක් තිබෙන්න ඕනෙ. මගේ උත්සාහය තියෙන්නෙම අපි වාණිජමයයි කියන විජයලා ජීවන්ලා රඟපෑ චිත්‍රපට තිබෙනවා. ඒවායේ වාණිජමයයි කියලා අපි දැක්ක කොටස ඉවත් කරලා අපට සිදුවනවා ඒවායේ තිබුණු කලාත්මක හැඩතල අපේ ඊළඟ සිනමා කෘතිවලට යොදා ගන්න. රටක සිනමා ධාරාවේ විකාශනය, පරිණතබව සිද්ධ වෙන්න නම් එහෙම කරන්න. එහෙම නැතිව වෙනත් රටකින් කොතරම් ගෙනත් දැම්මත් අපට පරාරෝපිත ගතිය පේනවා. එහෙම නැතිව අපේ රටේ ගොඩනැඟුණු භාවිතාවන් තුළින්ම සිනමාව ගොඩනඟන්නයි ඕනේ.
ඔබ 'ඉක්බිති ඔහුට නින්ද ගියේය' කෙටි චිත්‍රපටය නිසා පෝලන්තයට ශිෂ්‍යත්වයක් ලබා සිනමාකරණය ඉගෙන ගත් කෙනෙක්? ඒ අත්දැකීම ගැනත් අපට කියන්න?
ඒ ශිෂ්‍යත්වයත් ඇත්තෙන්ම ලංකාවට අහම්බයක්. සුනාමි නිසා ලැබුණු එකක් මිස ඒ පාසලෙන් අපට ශිෂ්‍යත්ව ලැබෙන්නේ නැහැ. ආයෙ දුන්නෙමත් නැහැ. මගේ ජීවිතේ සිනමාව පැත්තෙන් ලැබුණු වටිනාම අත්දැකීමත් ඒ පාසලේ ඉගෙන ගන්න ලැබීමයි. සිංහලෙන් ලෝඩ් සිනමා පාසල කියලා උච්චාරණය කරන ඒ අයගේ භාෂාවෙන් නම් 'වූජ්' කියලා හඬ නඟන පාසලටයි ශිෂ්‍යත්වය ලැබුණේ. පොලාන්ස්කි නැත්නම් හිතලොව්ස්කි ඉගෙන ගත් ඉස්කෝල හැටියට තමයි හඳුන්වන්නේ. මම ඉගෙන ගත් විෂය නිර්දේශයට වඩා වැදගත් වන්නේ සිනමා සංස්කෘතියකට මාව අනුගත වීම. එතකොට තමයි අපට තේරෙන්නේ අපේ රටේ සිනමා සංස්කෘතියක් නිර්මාණය වන සාධක නැහැ කියලා.
මට එහි හමුවෙනවා සිනමා පුස්තකාලයක්. එහි පොත් පමණක් නෙවෙයි, ඛාණ්ඩගත සිනමාකරුවකුගේම චිත්‍රපට දිගටම නරඹමින් හවසට කෝපි බොන්න යාළුවන් හමු වී ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගනිමින්, කොටින්ම කීවොත් ඒ පාරක ගල්වලට පවා අල්ලලා තියෙන්නේ සිනමාකරුවන්ගේ නම්ගම්. ඒ විදිහට සිනමාව උත්කර්ෂයට නංවන්න සැදුණු ලෝකයක් තුළ අවුරුදු එකහමාරක් පමණ ජීවත්වෙන්න ලැබෙනවා. විවිධ රටවලින් ආ අයගේ විවිධ දෘෂ්ටිකෝණයන් හඳුනාගන්නවා. ඒ අයගේ රුචිකත්වය අනුව සමහරු ජෝන් ෆෝඩ් වර්ගයේ චිත්‍රපටවලට, තවත් අය වෙනත් යුරෝපීය සම්ප්‍රදායට තැනුණු සිනමාවකට. එය අපි නොදැනම අපව සිනමාව පිළිබඳ වෙනම තැනකට ගෙනයනවා. එය පොතපත කියවනවාට වඩා අපේ ලේවලටම එකතුවන පෝෂණයක්. ඒක අරගෙන ලංකාවට ආවට පස්සේ ලොකු හිස්තැනක් දැනෙනවා. අපි සිනමාව කියලා කරන්නේ මොකක්දෝ හුදෙකලා වෑයමක්. අපි චිත්‍රපට රසවිඳීම කියලා කරන්නෙත් ඒවා ගැන හැදුණු න්‍යායන් විතරයි. සිනමාව ඒ වෙනුවෙන් භාවිත වනවා විතරයි. සිනමාව කියන්නේ වෙනම වින්දනීය අත්දැකීමක්. මට දැනුත් වුවමනාව තියෙනවා ගිහින් මොහොතක් හෝ එය විඳලා එන්න.
මේ චිත්‍රපටයෙන් පස්සේ?
මම මේ චිත්‍රපටය මුදාහරිද්දි ආ ත්‍රිල් එක නිසාම නිෂ්පාදකවරයා දෙවැනි එකකට මට කතා කළා. චිත්‍රපටයක් කළාම ලැබෙන සතුට කොයිවගේද කියලා ඔහුට මෙයින් දැනුණා. මෙය ශාලාවලින් පසු පිටරට අයට නරඹන්න ඔන්ලයින් වේදිකාවක් හදන්න අපි තීරණය කළා. ඊළඟ චිත්‍රපටය දොඩම්ගහ හන්දිය කියලා චිත්‍රපටයක්. ශ්‍රී ලංකාවේ මළගෙදරක විවිධ චරිතවල හැලහැප්පීම් ඇසුරෙන් සැදුණු, ජනකතා සීයක එකතුවකින් නිර්මාණය වුණු පුවතක්. මම පේ්රක්ෂකයන්ට ස්තූතිවන්ත වෙනවා චිත්‍රපටය ඉදිරියට ගෙනයන්න දෙන සහයෝගයට. ඒ අය ඇවිළෙන සුලුයි චිත්‍රපටය නරඹලා වෙනම ෆේස්බුක් පිටු හදාගෙන සෑහෙන මහන්සියක් වෙනවා මේ වෙනුවෙන්. ප්‍රධාන ධාරාවේ බොහෝ දෙනෙක් අපව ප්‍රතික්ෂේප කරද්දි ඒ අය තමයි අපට ශක්තිය වුණේ. ඊළඟ චිත්‍රපටයත් ඒ වගේ රසිකයන්ටයි.
නිශ්ශංක විජේරත්න