උතුරු සුළඟට හසු වූ දකුණේ තරුණයකුගේ කතාව

චාමර ජනරාජ් පීරිස්ගේ අධ්‍යක්ෂණයක්
ජූලි 9, 2020

මේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයයි. යල මහ කන්නවල වී වගාවෙන් ස්වයංපෝෂිත වන ගැමි පරිසරය උපරිමයෙන් ඇති නිහඬ නිශ්චල පළාතකි. යුද සමයේදී කිහිප විටක් ත්‍රස්ත ප්‍රහාරවලට මෙම ගම්පළාත ලක් වුණත් මේ වනවිට ඒ සියල්ල කාලයත් සමඟ අමතක වී ගොසිනි. මෙම ප්‍රදේශයේ ජීවත් වන හේරත් මහා ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඔහු ප්‍රාදේශීය ජනතා නායකයෙකි. සාමාන්‍ය ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටින ඔහු ප්‍රදේශවාසීන් සමඟ සහයෝගයෙන් දිවි ගෙවන ප්‍රදේශවාසීන්ගේ දුකට සැපට උදව් උපකාර කරන ධනවතෙකි. ඔහුට දරුවන් දෙදෙනෙකි. පුතා පියා සමඟ එක්ව ව්‍යාපාර කටයුතු කරගෙන යන අතර පවුලේ සැමගේ අදිටන වී ඇත්තේ තම දියණියට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදී රටේ පිළිගත් රැකියාවකට යොමු කිරීමය.

මෙවැනි පසුබිමක හේරත් මහතාගේ එදිනෙදා වැඩ කටයුතුවලට උදවු වන තරුණ විය ඉක්මවා යමින් සිටින පුද්ගලයෙකි. ඔහුගේ නම සුනිමල්ය. කාත් කවුරුත් නැති අනාථයකු වන ඔහු දැන් වසර කිහිපයක සිට ජීවත් වන්නේ හේරත් මහතාගේ නිවසේය. ඔහුගේ නම සුනිමල්ය. තම ගම් පළාතක් අම්මෙක් අප්පෙක් ගැන නොදන්නා ඔහු යුද සමයේ අවතැන් වූ සිංහල පවුලකට අයත් ඉතිරි වී සිටින්නා යැයි ගම්මු සිතති. ත්‍රස්ථවාදයෙන් දිවි ගලවාගෙන පැමිණ සිටින ඔහු ගැන හේරත් මහතා අනුකම්පා සහගතව කතා කළත් පෙළක් ගම්මුන් පවසන්නේ මේ පුද්ගලයා උවමනාවෙන්ම තම අතීතය සඟවාගෙන සිටින හොරෙකු හෝ මිනීමරුවෙකු වෙන්න පුළුවන් බවයි.

සුනිමල්, හේරත් මහතාගේ නිවසට ආ දා සිටම හේරත් මහතාගේ දියණිය සුනිමල් කෙරේ විශේෂත්වයක් දක්වන බව කිසිවෙකුට නොපෙනුණත් එය සුනිමල්ට පෙනෙන්නට වූයෙන් ඔහු නිතර ඇයට පැවසුවේ තමා අනාථයකු බවත් ඔයාට පැහැදිලි අනාගතයක් තිබියදී මා ගැන අදහසක් තබා ගැනීමෙන් අප දෙදෙනාටම ඉන් අවැඩක් සිදු විය හැකි බවයි. ඇයට කෙසේ වෙතත් මෙවැනි සිදුවීමක් ආරංචි වන පළමු මොහොතේ හේරත් මහතා ඔහුව එලවා දමන බවත්, තමා ඊට අකමැති බවත් විටින් විට ඔහු ඇයට පැහැදිලි කළත් කාලයත් සමඟ ඇය හා ඔහු පෙමින් බැඳෙන්නේ ඉදිරියට සිදු වන්නට යන දේ ගැන අවබෝධයකින් නම් නොවේ.

ගම්මුන්ගේ කියුම් බස් සනාථ කරමින් එක්තරා දිනක ඔවුන්ගේ ප්‍රේමය හේරත් මහතාගේ කණ වැකෙන්නේ එතෙක් කලක් ඔහු සමඟ හේරත් මහතාගේ තිබූ බැඳීම් සුනු විසිනු කරමිනි. අනාථයකුව සිටි සුනිමල් තමා සතු සියලු සන්තකය සිලි මල්ලක දමාගෙන අනාථයකු ලෙසම මහමඟට බසින්නේ අරමුණක් නොමැතිවය.

එදින ශ්‍රී ලංකාවේ නිදහස් දිනයක් වූ අතර එය පැවැත්වුණේ සුනිමල් සිටි ගමට ආසන්නයේ ඇති විශාලතම නගරය වූ පොළොන්නරුවේය. අනාථයකු ලෙස මහමගට ආ සුනිමල්ට නිදහස් දිනයක ඔහුට ඇත්ත වශයෙන්ම ඔහු කවුද යන්න අවබෝධ කර දෙන්නේ එතෙක් කලක් ඔහුව වසාගෙන සිටි කළුවළාව ඉවත් කරමිනි.

පියවි, අයාල්, යාය 4, ඇසිඩ් වැනි වෙනස්ම ආරේ ටෙලි නිර්මාණ පුංචි තිරයට කැන්දූ චාමර ජනරාජ් පීරිස්ගේ “උතුරු සුළඟ” සිනමාපටය එලෙසින් දිගහැරේ. තව නොබෝ දිනකින් තිරයට එන මෙය අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමා නිර්මාණය වේ.

 

************************

උතුරු සුළඟ සිනමාපටයේ

නළු නිළියන් - සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, කාවින්ද්‍යා දුල්ශානි, බිමල් ජයකොඩි, සුජානි මේනකා, රෝහණ බැද්දගේ, මොරීන් චාරුණී, ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, කසුනි කාවින්ද්‍යා, නදීශානි පේලිආරච්චි, ප්‍රදීප් මානවඩුගේ, සුලක්ඛනා හේරත්

කැමරා අධ්‍යක්ෂණය - කපිල සුගත් විජයරත්න

පසුතල නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත

අංග රචනය - අරුණ ශාන්ත

ගීපද - තුලානි බුලුමුල්ල

සංගීත අධ්‍යක්ෂණය - ජානක ෆොන්සේකා

ගීත ගායනා - උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය

සහාය අධ්‍යක්ෂණය - කීර්තිරුවන් ලාල්සන්

රේඛීය නිෂ්ාදනය - ලක්ෂිත ප්‍රභාත් පතිරාජ

සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල

නිෂ්පාදන කළමනාකරණය - අජිත් සමන්ත, මාලින්ද මධුශංක

නිශ්චල ඡායාරූප - ටෙරන්ස් ද සිල්වා

නිෂ්පාදනය - එම්. එච්. එම්. සානි, කපිල නවරත්න, රසික ජිනසේන, චාමර ජනරාජ් පීරිස්