ඇයි අපිට බනින්නේ නැත්ද?

කුමාර තිරිමාදුර අසයි
ජූලි 23, 2020

"කවුරුවත් බනින්නේ නෑනේ අපට. මේක හරි ප්‍රශ්නයක්. අපට යමක් හිතාගන්න පුළුවන්, අපේ කට්ටිය ආස වෙන්නෙත් කවුරුහරි මොනවා හරි කියලා බනිනවා නම්නේ... ඒත් හැමෝම හොඳයි කියනවානේ. ලංකාවේ ඉන්න සිනමාකරුවන් හැමෝම අන්තර්ජාලය ඔස්සේ පවා කියන්නේ ඉතා විශිෂ්ට නිර්මාණයක් කියලා තමයි. ඕගොල්ලො හරි පුළුවන් නම් බනින්නකෝ අපට." මේ කුමාර තිරිමාදුර ප්‍රවීණ රංගන ශිල්පියා සරසවියෙන් කළ ඉල්ලීමයි. ඒ ඔහුත්, ප්‍රවීණ රංගන ශිල්පී සරත් කොතලාවලත් එක්ව තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණය ද  කරමින් ප්‍රධාන චරිත ද නිරූපණය කළ 'ද නිවුස්පේපර්' චිත්‍රපටය වෙනුවෙනි. ඒ නිසාම ඔවුන්ට බනින්නට ඉදිරිපත් විය හැකි කෙනකු සොයන අටියෙන් අපි තව-තව  විස්තර 'ද නිවුස්පේපර්' සම අධ්‍යක්ෂ කුමාර තිරමාදුරගෙන් මෙසේ ඇසුවෙමු.

ජනමාධ්‍ය ලෝකයේ හැසිරීම පිළිබඳව යම් විවේචනයක් මෙහි තිබීම ප්‍රචාරයට බලපෑවේ කොහොමද?

මාධ්‍ය ගැන නෙවෙයි මෙහි විවේචනය. අම්මාකෙනෙක් ඉන්නවානේ චිත්‍රපටයේ, ඇයගේ වේදනාවයි මම කීවේ.

 ඒත් එය තුළ ජන මාධ්‍ය විවේචනය කරනවා?

ඒ වේදනාව මට තිබෙන නිසා. මම අවුරුදු පහළොවක් ජාතික පුවත්පතක රස්සාව කළා. ඒ කාලෙත් මම පොඩි පොඩි ටෙලි නාට්‍ය චිත්‍රපටවල එහෙම පොඩ්ඩක් රඟපානවා. ඒ නිසා එක්කෝ පත්තරේ කරන්න නැත්නම් රඟපෑම තෝරගන්න කියලා මට අස්වෙන්න කීවා. එතකොට මට අවුරුදු නවයක සහ තුනක දූලා දෙන්නෙක් ඉන්නවා. මාව අස් කළාම බ්ලූ මැන්ඩල් පාර දිගේ අඬ අඬා ඇවිද්දා. හැබැයි ඒ වෙලාවේ හිටිය ඔය ප්‍රවීණ මාධ්‍යවේදීන් කිසි කෙනෙක් මගේ පිට අතගාලා 'ඇයි මචං උඹ යන්නේ' කියලා ඇහුවේ නැහැ. මම අඬ-අඬාම ගිහින් ආමර් වීදියේ ආර්. ප්‍රේමදාස මහත්තයා ඝාතනය කළ තැන ස්මාරකය ළඟ වාඩිවෙලා හිටියා සෑහෙන වෙලා. එතන තියෙන කඩේ ප්ලේන්ටිය හරි රහයි. ඒකෙන් වේදනාව අඩුකරගෙන ගෙදර ගියා.

ආයතනයකින් එකපාරටම නොදන්වා අස්කරනවාද?

මෙතනදි කියන්න විශේෂ දෙයක් තිබෙනවා. මාව අස්කරන්න දැන් ඔන්න සාකච්ඡා යනවා. එතකොට තීන්දුව ගන්න ඕන නිසා මම ගිහින් (අභාවප්‍රාප්ත විශිෂ්ට රංගවේදී) ජයලත් මනෝරත්න මහත්තයාට මේ ගැන කියනවා. එතකොට මට කියනවා 'ඔවු බං මාවත් මහවැලියෙන් ඔහොම අස් කළා. උඹට ගොඩ එන්න පුළුවන්. උඹ බය නැතුව වරෙන් මම උදවු කරන්නම්' කියලා මගේ කවිය මට දෙන්න, තුන්පත් රටාවක ලස්සන, අන්දරේලා වගේ නිර්මාණවලට දායක කරගෙන මට ජීවත් වෙන්න ක්‍රමය හැදුවා. ඊළඟට මම අපේ මත්තේගොඩ ගෙවල් ළඟ හිටිය (ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ) ප්‍රසන්න විතානගේ හමුවෙලා මේ ගැන කීවාම 'අවුලක් නෑ උඹට පුළුවන්. උඹේ ඇ‌ඟේ තියෙන ගේම් එක උඹටම තේරෙයි' කියලා ඉරමැදියම, ආකාස කුසුම් වගේ චිත්‍රපටවලට අරගෙන මට ශක්තිය දුන්නා. ඒත් මට වේදනාවක් තිබෙනවා දශක එකහමාරක් පත්තර කන්තෝරුවක වැඩ කරලා මේ විදිහට අස්කරපු එක ගැන. මම ඒ වේදනාව තමයි ඉතා දරුණු විදිහට සමාජයට, ජාතියට, ලෝකයට ප්‍රකාශ කළේ. 

තනිවම නෙවෙයි හවුලේ?

ඔවු. සරත් කොතලාවල කියන්නේ අමු ගොවියා. ඌ ගම ගැන හොඳට දන්නවා. මම අමුම අමු රස්තියාදුකාරයෙක්. මම මරදානේ, සොයිසා පුර, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එක්ක ජීවත් වුණ කුඩා කාලයක් තියෙන එකෙක්. මොරටු සමන් කියන පාතාල නායකයා එක්ක ක්‍රිකට් ගහපු එකෙක්. ඒක කියන්න මම බය නැහැ. හැබැයි ඒකා ලොකු වෙද්දි ඔය තත්ත්වෙට ආවේ ඇයි කියන එක ගැන මම දන්නේ නෑ. කොහොම හරි ගොවියයි රස්තියාදුකාරයයි එකතු වුණාම මරුනේ? 

පත්තර රස්සාවේදී වුණාම කොහොමත් පොඩි රස්තියාදුවක් තියෙන්න ඕනෙනේ... ඊට කලින් ඉඳන්මත් ගහපු රස්තියාදුවක් ගැනද ඔය කියන්නේ?

ගොවියා ගොවියාමයි, රස්තියාදුකාරයා රස්තියාදුකාරයාමයි. ඒ අදහස් එකතුවන විදිහ වෙනස්. මම දැන් කාටවත් බය නැහැ මේවා කියන්න. මම බාර්වලට යනවා. ඒ බාර්වල තියෙන චරිත උඹලා දන්නවාද? මම පොළට යනවා. තව තව තැන්වලට මම යනවා. ඒවාට උඹලාට යන්න පුළුවන්ද? ඒවා දැකලානේ ඒ චරිත මම සිනමාවට ගේන්නේ. ඉතින් මම රස්තියාදු ගහන්නේ නැතුව අහවල් එකක් කොරන්නද? උඹ බය නැතුව ලියපන්... මම 1989 නොවැම්බර් 17 රෝහණ විජේවීර මහත්තයා මැරුණ දවසේ...

'විජේවීර' මහත්තයාද? සහෝදරයාද?

සහෝදරයා. ඒ සහෝදරයා මැරුව දවසේ මම ඉස්කෝලේ පෝස්ටර් ගැහුවේ 'මවුබිම නැත්නම් මරණය' කියලා මහින්ද අබේසුන්දර මහත්තයාගේ පුතා සජිත් අබේසුන්දර එක්ක. අපේ අම්මට මම කියනවා පාප්ප ටිකක් දෙන්න කියලා. අම්මා අහනවා මොකටද කියලා. ඒ පට්ට භීෂණ කාලේ. එතකොට මම ඒ ලෙවල් පන්තිවල. අපි පාප්ප බෑග් අස්සේ හංගගෙන ඇවිත් තිස්ස ගුණවර්ධන සර්ගේ ආර්ට් ඩිපාර්ට්මන්ට් වැඩවලට තියලා තිබුණ තීන්ත ටින්වලින් කොහොම හරි දියකරලා පෝස්ටර් අඳීනවා. උදේ හතහමාරට කලින් ඉස්කෝලෙට එන්න පුළුවන් කෙඩෙටින් කරන අයට විතරයි. ඉතින් අපි බොරුවට කෙඩෙටින්වලට බැඳීලා පාන්දර පහාමාරට ඉස්කෝලෙට රිංගනවා. අර පෝසටර් කැන්ටිම ළඟ අලවනවා. ඒවා ගැහුවේ එදා ජේවීපී එකට තිබුණු ආදරයට. මම අදටත් විජේවීරට, ගමනායකට, නිමල් බාලසූරිය කියන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නිර්මාතෘට ගරු කරනවා. අද මොරටු කැම්පස් එකේ ඈත කෙළවරක එයාගේ පිළිරුවක් හදලා තියෙනවා. ඒ පිළිරුව කාගෙද කියලාවත් අද ළමයි දන්නේ නැහැ. නිකං පාරේ දුවනවා අවිශිබමේ කියලා. අපට ලැජ්ජයි. ඒ මිනිස්සු මැරුණේ හොඳම තරුණ කාලේ. ඒ කාලේ අපට ආදරයක් අරහේ මෙහේ ගැන වැඩිය හැඟීමක් නැහැ. අපි කළේ රටට ආදරය කරන එක තමයි. මොකද ඉන්දු ලංකා ගිවිසුම වගේ දේවල් එක්ක අපට ඒ අය කීවේ මේක සුදු අලියෙක් කියලා. පළාත් සභාවලට විරුද්ධ වුණු මා එක්ක හිටිය සහෝදරයෝ සෑහෙන්න මැරුණා. ඒත් අද ඒ අය ඒ පළාත් සභාවල ජීවත්වෙනවා. එතකොට අපේ ඇඟවල් කකියනවා. හැබැයි මම ජවිපෙ සම්බන්ධව කිසි දෙයක් කියන්නේ නැත්තේ මේකයි. අපේ අම්මා අයියාට මාළු කෑලි දෙකයි බිත්තරයයි දීලා, මට මාළු කෑල්ලයි බිත්තර පළුවයි දුන්නා කියලා මම අම්මා එක්ක තරහ වෙනවද? නෑනේද? ඒ වගේ තමයි. මම අම්මා, පෙරළූ නැවුම් පස, ගුරුගීතය වගේ පොත් කියෙව්වේ, ඉගෙන ගත්තේ අර ඇසුරෙන්. ඒ ඉගෙනගත් නිසා මම ඒ අයට බනින්නේ නෑ. වැරැද්දක් තිබුණත් අම්මට බනින්නේ නෑ වගේ.

මේ චිත්‍රපටයේත් අම්මා කෙනෙක් ඉන්නවා. බොහොම නිහඬයි?

උඹ හරි. මේ ළඟදි මම සේපාල් අමරසිංහ එක්ක මහරගම සිනමා ශාලාවට ගියා චිත්‍රපටය කොහොමද කියලා බලන්න. චිත්‍රපටය ඉවරවෙලා එළියට යන තැනදි එනවා ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙකුයි. කෙල්ල දුවගෙන ඇවිත් මගේ පපුවේ හේත්තු වෙලා ඇඬුවා- ඇඬුවා මගේ අම්මා නෑ කියලා. කොල්ලත් එකත්පස්ව ඉන්නවා. (විශාරද) නන්දා මාලිනිය අම්මාවරුනේ ගීතයෙන් පස්සේ මවුවරුන් වෙනුවෙන් ඇගේ හඬ අවදි කළා, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ වදන් වැලට, ගයත්‍රි කේමදාස, ප්‍රේමසිරි කේමදාසයන්ගේ දුවගේ සංගීතයට. අවුරුදු විස්සක් විතර කේමදාසයන් සහ නන්දා මාලිනියත් සුනිල් ආරියරත්නයනුත් අතර තිබුණු විරසකයට තිත තියලා එකතු කරන්නත් මට පුළුවන් වුණා. ඒ සතුටත් මට තිබෙනවා. විශේෂයෙන් මේ ලංකාවේ, දෙන්නෙක් තිර රචනය කරලා, අධ්‍යක්ෂණය කරලා ඒ දෙන්නම ප්‍රධාන චරිත රඟපෑ පළමුවැනි චිත්‍රපටය තමයි ද නිවුස්පේපර්. දැන් මහාචාර්ය පැට්‍රික් රත්නායක සොයමින් ඉන්නවා ලෝකේ මේ වගේ අවස්ථා මීට පෙර තිබෙනවාද කියලා බලන්න. මම ඒ අම්මාව ගෙනාවෙත් මගේ රස්තියාදුවලින් හොයාගෙන ඒ නිසා මම කාටවත් බය නෑ.

කාටද දැන් ඔය සැරින් සැරේ බය නෑ කියන්නේ?

නෑ මේ සමහරු මට අපහාස කරන්න හදනවා මම ඔය පොඩි අඩියක් එහෙම ගන්නවාට. ඒත් මගේ චරිතේ එහෙම තමයි. එහෙම චරිත ලෝකෙ තියෙනවා. මේක හොඳට අහගනිං. මම අවුරුදු 19ක් 20ක් වෙනකල් අම්මටයි තාත්තටයි ඕනේ විදිහට වැඩ කළා. ඊට පස්සේ නෝනට ඕනෙ විදිහට වැඩ කළා. ඊළඟට අවුරදු පනහ වෙනකල් දරුවන්ට ඕනෙ විදිහට. දැන් කියනවා මුනුපුරා හම්බෙනකල් ඉන්නලු. යකෝ! මට ඕනෙ විදිහට වැඩකරන්න බැරිද කවදාවත්. මේක මොන අසාධාරණයක්ද? මොන අපරාධයක්ද? මොන ජීවිතයක්ද මේ? මම හැමදාම උඹලා ඔක්කෝටම ඕනෙ විදිහට ජීවත් වෙලා මැරිලා යන්නද? ඒක නිසා මට හිතෙන විදිහට මට ඕනේ තැනක පාරේ හරි ඇවිද ඇවිද නිදහසේ  කල්පනා කරන්න බැරිද? සිද්ධාර්ථ කුමාරයා රාහුලයෙක් උපන්නා කියලා මාළිගාවෙන් බැහැලා ගියාම උඹලාට හොඳයි. අපි පොඩ්ඩක් පාරේ එහා මෙහා ඇවිද්දාම තමයි එක එක ඒවා කියන්නේ.  

 ඒ ගියේ ලෝකයා නච්ච ගීත වාදිත විසූක දස්සනවලින් මුදවාගන්න මිස චිත්‍රපටයක් හදන්න නොවන නිසා ඒ ගැන කතා නොකර, ද නිවුස්පේපර් ලෝකෙන් ලංකාවට ගෙනා දේවල් ගැන කියමු? විශේෂයෙන් සම්මාන ගැන?

මම ගිය සතියේ ඇමෙරිකාවෙන් සම්මානයක් ගෙනාවා ලංකාවට. අද මේ කොරෝනා  ප්‍රශ්නය නිසා අනෙක් සම්මාන උලෙළ පහුවෙලා තිබෙනවා. සියලු විචාරකයන්ගේ පැසසුම් ගෙනත් තිබෙනවා. මට මෙතෙක් කල් බොහෝ සම්මාන ලැබී තිබෙනවා. ධර්මයුද්ධයේ හොඳම සහාය නළුවා සඳහා එකක් හැර සියලු සිනමා උලෙළවල සම්මාන මට ලැබුණා. ඒත් මම ඒවා ගන්න යැව්වේ මගේ දුව. මම නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. සම්මාන ගැන හෝ තවත් දේ ගැන කතා කරලා කාගෙවත් හිත්රිදවන්න මම කැමැති නැහැ. හැබැයි ද නිවුස්පේපර්වලට ඉදිරියේදීත් කොරෝනාවලින් පසු ලැබීමට නියමිත ජගත් සම්මාන පිළිබඳ ආරංචි ලැබෙනවා.  

 මෙහි ඔබ නිරූපණය කරන චරිතය වැඩි කතාබහක් නැති නූගත් වැනි එකක්?

ඒ කියපු දේ මම හිතලාමයි කළේ. මේ චිත්‍රපටයේ ග්‍රාම සේවක කියනවා ඒ ප්‍රදේශයේ සාක්ෂරතාව නැතිම එකා මේකා කියලා. හැබැයි ඒ මෝඩයා  කියන දෙබස්! එක තැනක කියනවා ලොකු හාමුදුරුවෝ කටපාඩම් කරගෙන කියන බණ ටිකමනේ අපටත් කියුවේ කියලා. ඒ වගේම කෑවාද කියලා ඇහුවාම ' ඔය අනපු බත් එකක් දුන්නේ' කියනවා. ඒකාට ෆ්‍රයිඩ්රයිස්වල වගක් නැහැ. මේ චිත්‍රපටයේ දෙබස් දහයක් පහළොවකට වඩා නෑ මට. හැබැයි නිහඬව බලාගෙන ඉඳීම තුළම වෙනම කතාවක් කියනවා. (ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ) සෝමරත්න දිසානායක මහත්තයා මට කීවා උඹ ඔහේ බලාගෙන ඉන්නවා. ඒ නිකන් බලාගෙන ඉන්න එකමයි අපට දරන්න බැරි' කියලා.

මම විශේෂයෙන්ම කියන්න ඕනේ මට ඒ සිනමාව ඉගැන්නුවේ අජන්ත අලහකෝන්. අපි මත්තේගොඩ ඉද්දි 'මචං මාර ෆිල්ම් වගයක් තියෙනවා කීවා. චිල්රන් ඔෆ් හෙවන්' කීවා. මෙලෝ රහක් නෑ වගේ පෙනුණේ. පස්සේ ෆාදර්, ද සයිකල් බලද්දි හප්පා... මේ ඉරාන සිනමාව! මම බැලුවා හොලිවුඩ්, බොලිවුඩ් වගේ ලොකු සල්ලි වියදම් කරලා චිත්‍රපට කරන්න බැහැ අපට. හොඳ සිතිවිල්ලක් මනුස්සකමක් තිබුණොත් විතරයි අපට ගොඩදාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපේ හෙළයන්ගේ හෙළවුඩ් චිත්‍රපට මේ විදිහට හදමු කියලා ජනාධිපතිතුමාට යෝජනා කළේ. දැනට චිත්‍රපට හතක පිටපත් ලියලා තියෙනවා මම. ඒකට මට උදවු කළ දෙන්නා තමයි සහරාන් සහ කොරෝනා. ඒ දෙන්නා නොවෙන්න අපට වැඩ වැඩි වෙලා ගෙදර ඉන්න වෙලාවක් නැති වෙනවානේ. එහෙම නැතුව නිවී හැනේ තිරපිටපත් ලියන්න පුළුවන් වුණේ අපට ගෙදර ඉන්න අවස්ථාව දුන්නු නිසා. දැන් නිෂ්පාදකයන් තමයි අවශ්‍ය.

නිවුස්පේපර් එකට වගේම හමුවෙයි?

නිවුස්පේපර් කතාව මුලින්ම අධ්‍යක්ෂණය කරන්න හිටියේ (ප්‍රවීණ රංගධර) ජැක්සන් (ඇන්තනි) අය්යා. ඒත් කාර්යබහුල නිසා ඒ අවස්ථාව මඟහැරුණා. සරත් කොතලාවලගේ ආර්ථික විද්‍යා ගුරුවරයා තමයි බන්දුල ගුණවර්ධන මහත්මයා. කොහොම හරි සරත් පිටපත එතුමාට ලැබෙන්න සලස්වලා. ගෙදර එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. අපි යද්දි සරසවි පොත්මැදුරේ අධිපති එඩ්. ඩී. ප්‍රේමසිරි මහත්මයායි, (ප්‍රවීණ සංස්කරණ ශිල්පී) රවීන්ද්‍ර ගුරුගේයි එහේ ඉන්නවා. බන්දුල මහත්තයා කීවා 'මේක හොඳ පිටපතක්. අපි මේ කොල්ලො දෙන්නට පොඩි සපෝට් එකක් දෙමු' කියලා. ඒ වෙලාවේ ගුණවර්ධන නෝනා දර්ශනතල බලන්න යන්න කියලා ලක්ෂය ගානේ මටයි සරත්ටයි දුන්නා. ඒ වාසනාවන්ත අතින් මුලපුරපු ගමන තමයි අද ශාලාවලට එනකල් එන්න පුළුවන් වුණේ. 

 කොරෝනා පිටපත් ලියන්න උදවු කළා කීවට ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමට එය දැඩිව බලපානවා?

මේ වෙලාවේ සියලු චිත්‍රපටකරුවන් පස්ස ගැහුවා. ඩොනල්ඩ් ජයන්ත සහාය       අධ්‍යක්ෂවරයා අදහසක් හැටියට කීවා සමහර විට කොරෝනා කාලේ ගෙවල්වල හිරවෙලා හිටිය අය චිත්‍රපට බලන්න ආසාවෙන් එයි. බය නැතුව අවදානමක් ගන්න කියලා.  අපි ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් හිතලා සරත්ගෙයි මගෙයි දරුවා ද නිවුස්පේපර්, සෝපාක වගේ කොරෝනාවේ බැඳලා කනත්තට දැම්මා හා සමානව මේ වෙලාවේ අපි ශාලාවලට දැම්මේ. ඒත් සෝපාක බේරගන්න බුදුහාමුදුරුවෝ වැඩියාට අපේ මේ දරුවා බේරගන්න එන්න බුදුකෙනෙක් නැහැ. මම මේ වෙලාවේ... (ඔහුගේ වචන ගිලී යයි. දෑස් පිරීයයි) මුළු රටෙන්ම ඉල්ලන්නේ අපි දෙන්නගේ දරුවා බේරගන්න ඉදිරිපත් වෙන්න. මේ චිත්‍රපටය නරඹන්න එන්න. (ඔහුගේ කෘතිය වෙනුවෙන් නැඟුණු වේදනාව කොපුල් තල දිගේ රූරා හැලී මඳකට අපේ කතාව නතර විය)          

පිටපත් රචකයකු, නළුවකු වගේම අධ්‍යක්ෂවරයකු හැටියට මේ චිත්‍රපටයට යම් වර්ගීකරණයක් දෙන්න කැමැතිද?

නෑ. එහෙම මුකුත්ම නැහැ. අද මුළු ලෝකෙම ආදරේ කරන්නේ මානුෂිකත්වයට. ලෝකෙම ටයිටැනික් චිත්‍රපටයට ආදරේ කරන්නේ මහා නැව් කඩාවැටෙන නිසාද? නෑ. අර කොල්ලගෙයි කෙල්ලගෙයි චූටි ආදරේට. බර්නාඩ් ෂෝ කියන කලාකරුවා මිය යන මොහොතේ මාධ්‍යවේදීන් දෙදෙනෙක් බිරිඳගේ මාර්ගයෙන් ළඟට ඇවිත් කතා කරලා ඇහුවලු මේ ලෝකේ වටිනම දේ මොකක්ද? කියලා. යන්තම් ඔළුව උස්සලා එතුමා කීවාලු මානව සම්බන්ධකම් තරම් වටින කිසිම දෙයක් නැහැ කියලා. 

මම මානුෂිකත්වය ගැන අදහන කෙනෙක්. පිළිකා රෝහලේ දරුවෙක් ගෙනැත් බෙහෙත් කරලා උගේ මිනිය පවා මගේ ගෙදර තියාගත්ත මිනිහෙක් මම. මට පුතෙක් නැහැ. ඒ හුරතල් කොල්ලාට අවුරුදු 21යි. මම අද වෙනකල්  ඒ ගැන ප්‍රසිද්ධියේ කියලා නෑ. පූසෙක් පාර පැන්නත් ආතල් ගන්න සමහර නිළියෝ වගේ ඒවායින් ජනප්‍රිය වෙන්න ඕනේ නෑ මට. ඒත් බිමල් (ජයකොඩි)ලා, ගිහාන් (ප්‍රනාන්දු), ගිරා (ගිරිරාජ් කෞශල්‍ය), අජිත් (ලොකුගේ) මේ ගැන දන්නවා. මානව සම්බන්ධතා තරම් වටින දෙයක් නෑ කියලා කොරෝනා කාලේ තේරුණේ නැද්ද? මම හදන කෝටි ගාණක ගේවත්, මගේ කෝටියක් වටින වාහනේවත් වැඩක් තිබුණද? එහා ගෙදරින් දෙල් ගෙඩිය ඉල්ලගෙන ජීවත් වන තත්ත්වයට අපි වැටුණේ නැද්ද? මේ විශ්වය කියල දෙන්නේ ඒක. ඉරාන සිනමාවෙන් මම ඉගෙන ගත්තෙත් ඒක. ඒ දේට මුළු ලෝකෙම ආසයි. මේ චිත්‍රපටයේ අම්මා නිහඬව කියන්නේත්, නන්දා මාලිනියගේ හඬින් මතු කරන්නේත් ඒ මානව හැඟීම නේද? ඉතින් මම චිත්‍රපටවලින් කතා කරන්නෙත් ඒ දෙයමයි.

 රංගනය කියන දේ මේ තාක් අධ්‍යයනයෙන්, අත්දැකීමෙන් හඳුනාගන්නේ කොහොමද?

මම කියන්නේ රංගනය යනු අනෙකා හඳුනා ගැනීමයි. හැමෝම අහනවා මගෙන් ඔයා ගෙදර ඉන්නවා වගේනේ රඟපාද්දිත් කියලා. ඒක තමයි ඉන්න අපහසුම ක්‍රමය. මොකද ඕනෙම නළුවෙකුට නිළියකට කැමරාව දැක්ක ගමන් අමුතු වෙනසක් වෙනවා. ඒත් හිතපන් මම උඹට පට්ට ලව් කියලා පෙන්වන සීන් එකක් මෙතන ෂූට් කරනවා කියලා. එතකොට මට පුළුවන්ද මේ විදිහට (ඔහු පුටුවේ සෘජුව අසුන්ගෙන කකුලක් පිට කකුලක් දමා දෑත පුටු ඇඳීමත විදහා අහංකාර ලීලාවක් මවා පෙන්වමින් ගැඹුරු හඬින් පවසයි) 'ආ.. මම ඔයාට ආදරෙයි' කියන්න? ඒක අපේ ඉදිරියේ ඉන්න නිළියටවත් ප්‍රේක්ෂකයාටවත් දැනෙනවාද? මම මගේ ඉදිරිපිට ඉන්න කෙනාට ආදරෙයි කියද්දි මගේ ශරීරය නිසගයෙන්ම ඒ කෙනා පැත්තට ඇදිලා යනවා. අපි ගෙදර බිරිඳට ආදරෙන් යමක් කියද්දි ඇය වෙතට නැඹුරු වෙලානේ කියන්නේ. ඒකයි ස්වභාවික. ඒ කියන්නේ තමන්ගේ හදවතයි රඟපාන්න ඕනේ. ඒකට බොරු කරන්න බැහැ.