විසංගමනය රටවල් තුනක

ජූලි 23, 2020

රන්ජන් ප්‍රසන්නගේ කලුඳුල් සිනමා නිර්මාණය විසංගමනය ලන්ඩන්, නිව්යෝක්, තෝකියෝ සහ ටොරොන්ටෝ  ලිෆ්ට් ඕෆ් යන උලෙළ හතරෙහිම තරගකාරී අංශයේ අවසන් වටයට තේරී පත්ව තිබේ.  මේවා සෑම වසරකම උත්කර්ෂවත්  අන්දමින් ඒ ඒ නගරවල පැවැත්වුණ අතර කොරෝනා වසංගතය හේතුවෙන් උලෙළ අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය. කෙටි වාර්තා සහ වෘත්තාන්ත චිත්‍රපට යන  සියලු අංශයන්ගෙන් සමන්විත නිව්යෝර්ක් ලිෆ්ට් ඕෆ් සිනමා උලෙළ සඳහා ලොව පුරා රටවල්   රාශියකින් චිත්‍රපට 33 ක් අවසන් වටයට තේරී පත්ව ඇති අතර විසංගමනය ඊට ඇතුළත්ය. ජූලි මාසය පුරා  අන්තර්ජාලය මඟින් ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයන්ට මෙම උලෙළ නැරැඹීමට අවස්ථාව සලසාදී ඇත.  නුදුරු දිනයකදී  අනෙකුත් උලෙළ අන්තර් ජාලය මඟින් ප්‍රේක්ෂකයන්ට විවෘත  වනු ඇත.

විසංගමනය සිනමාපටයේ තිර රචනය උපාලි ගම්ලත්ගෙනි. අශාන් ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ, සමනලි ෆොන්සේකා, ඩග්ලස් රණසිංහ, හයිසින්ත් විජේරත්න, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ, චින්තක කුලතුංග, චරිත් අබේසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ගාමිණී ජයලත්, බන්දුල සූරිය බණ්ඩාර, සුජීව කරුණාරත්න, ජයතිස්ස අතුලසිරි මෙහි චරිත මැවුවෝය. විසංගමනය මහේෂ් විජේරත්නගේ නිෂ්පාදනයකි.