සාහසික උපහාසයකින් විපිළිසර කළ සිනමාපටය ද නිවුස්පේපර්

ජූලි 30, 2020

සිනමාකරුවකුගේ පළමු හා ප්‍රමුඛ කාර්යභාරය වන්නේ කුමක්දැයි යන පැනයට පිළිතුරු දෙක තුනක් ම  වුව ඉදිරිපත් කළ  හැකිය. ඒ අතර සිනමාපටයේ හැඩ රුව හා ගුණ පිළිබඳ වගකීම දැරිය යුතුය යන පිළිතුරට හිමිවන්නේ මුල් පෙළේ  ස්ථානයකි. එක්  සිනමාකරුවකුට වඩා පිවිසෙන සිනමාපටයකදී වුව සිදුවන්නේ යථෝක්ත  වගකීම සමසේ හෝ අන් අනුපාතයකට අනුව බෙදී යාම ය. තතු වඩාත් සංකීර්ණ වන්නේ මේ සම සිනමාකරුවන් සිනමාපටයේ ප්‍රධාන චරිත නිරුපණයට එළඹෙන විටදීයි. ප්‍රශස්ත හා විධිමත් තිරනාටකයක්ද, විශේෂයෙන් ම  කැමරා ශිල්පියාගේ හා සංස්කරණ ශිල්පියාගේ තීක්ෂණ දායකත්වයද නොමැති පසුබිමක සිදු විය හැක්කේ මෙවැනි සිනමාපට ව්‍යාකුල වීම ය.

මේ කරුණ අරභයා ප්‍රේක්ෂක නුවණැස  අවදි කරවන සුලු සිනමාපටයක් සේ පළමු කොටම ‘ද නිවුස් පේපර්’  හඳුනා ගන්නට අවකාශ සැලසේ. කෙසේ නමුදු මෙහිදී සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර යන සිනමාකරුවන් දෙපළ  සිනමාපටයේ ප්‍රධාන චරිත, ප්‍රධාන චරිතම ලෙස නිරුපණය කරනු පිණිස තමන්  විසින් ම  සකසන ලද තිරනාටකය ඔස්සේ ක්‍රියා කිරීම කැපී පෙනේ. ඉන් සිනමාපටය පෙර කී පරිදි ව්‍යාකුල වීම හෝ පඹ ගාලක පැටලීම යන අනතුරු වෙතින් මුදවා ගැනීමේ ඉඩ කඩ ඉස්මතු කර ගත හැකිව තිබේ.

‘ද නිවුස් පේපර්’ සිනමාපටයට අදාළව සරත් හා කුමාර ගොඩ නඟන දින දෙක තුනක කාලයක් තිස්සේ දිවෙන සිදුවීම් කිහිපය ප්‍රේක්ෂක ආකර්ෂණය වහා දිනා ගන්නා  ආකාරයක් පෙන්නුම් කරයි. ඇත්ත වශයෙන් ම ‘ද නිවුස් පේපර්’ ජන ගත කරනු වස් භාවිත කළ  හැකි උචිතම ක්‍රමවේද නිශ්චය කර ගත හැක්කේ මෙ තුළිනි. ඊට ගැළපෙන පරිසරයක් නොවළහා සකසන්නට  සරත් හා කුමාර දෙපළ  පියවර ගෙන තිබේ. නව ප්‍රකාශන විධික්‍රම විෂයෙහි සංකීර්ණ රූප රචනයකට නොපිවිසෙන ඔවුන් තවදුරටත් සම්මත සිදුවීම් පෙළ ගැස්වීමේ පිළිවෙතක් අනුගමනය කරන්නේ එය තවදුරටත් වලංගු ක්‍රමෝපායක් ය  යන සත්‍යයට වර්තමාන වටිනාකමක් ලබා දෙමිනි. මෙසමයේ සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ප්‍රතිභාසම්පන්න තරුණ හා නවක සිනමාකරුවන් වරෙක සංකීර්ණ රූපරචනා  කෙරෙහි දක්වන නොතිත් ඇල්මට සාපේක්ෂව මෙකරුණ කැපී පෙනෙන්නේ අතිශයෝක්තියකින්ද තොරවයි. 

උක්ත සිදුවීම් කිහිපයට අදාළව අරමුණු ත්‍රිත්වයක් කුළුගැන්වීමට සිනමාකරුවෝ දෙපළ වෙහෙසෙති. 

පළමු අරමුණ වන්නේ පුද්ගලයකු, දෙදෙනෙකු හෝ පුද්ගල කණ්ඩායමක් පමණක් ම නොව සම්මත මහා සමාජය වුව ස්වකීය ආත්මාභිමානය වෙනුවෙන් පෙනී සිටින්නට හෝ අරගල කරන්නට දරන නොපසුබට වෑයම ය.

දෙවැනි අරමුණ වන්නේ සම්මත ජන මාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ අවැසිම ඉඩක් සඟවා තබන අවස්ථාද පවතින බව  අවධාරණය කිරීම ය. ඉන් අනපේක්ෂිත අර්බුද උත්සන්න වන වග ඉඟි කිරීම ය.

තෙවැනි අරමුණ වන්නේ පරාජිතයාගේ ඉරණම ජයග්‍රාහකයාගේ පරම අයිතියක්  වන්නේය යන යථාර්ථය තවදුරටත් ප්‍රශ්න කරනු පිණිස වුවමනා  ඉඩ හසර ප්‍රේක්ෂකයන් වෙත සපයා දීම ය.

මෙයින් පෙනී යන්නේ ‘ද නිවුස් පේපර්’ යම් ආක්‍රමණශීලී අදියරකට වුව ද පැමිණෙන සිනමාපටයක් වීමේ විභවතාවක් නිර්බාධිතව ප්‍රකට කරන ආකාරයයි. එතුළ පවතින්නේ විදග්ධ හා විචක්ෂණශීලී ජවයක්, එඩිතර කමක් හා තරමක දඩබ්බර කමකි. සරත් හා කුමාර ගෙවුණු  සමයේදී හා මෙසමයෙදී නා නා නිර්මාණ කාර්යයන් සමග ගනුදෙනු කළේ  මෙකරුණද ප්‍රකාශයට පත් වන විලාසයක් සහිතව ය. එනයින් මෙහිදී දත  හැකි ඔවුනගේ චර්යාව කිසිදු ආගන්තුක බවක් නොඋපදවයි.

පෙර දැක්වූ අරමුණු ත්‍රිත්වය විෂය කර ගන්නා  සිදුවීම් පෙළ හා ගළපාලීමේදී සිනමාකරුවන් දෙපළ දක්වන ඉවසීම නිසාම සිනමාපටය හා ප්‍රේක්ෂකයා අතර සම්බන්ධතා තීව්‍ර වීමේ ලක්ෂණ ප්‍රකාශයට පත්වේ. එසේම ඔවුන් මෙම අරමුණු ත්‍රිත්වයම සිනමාපටයේ සමස්තය තුළ ගිල්වා දැමීමට පියවර ගන්නේ මහත්වූ  සලකිල්ලකිනි. ඉන් සිනමාපටය රළු මුහුණුවරකින් සමන්විත නොකිරීමේ අභිප්‍රාය කරා  ළං වීමට ඔවුහු අවකාශ සලසා ගනිති. 

සිදුවීම් කිහිපය නොඅනුමානවම අතිශය සංවේදී වූවකි. ඒවා අප ඇසේ ගැටී අතුරුදන් වූ වෙනත් සිදුවීම් අතර තිබුණු වග  හැඟෙන්නේ සිනමාපටය නරඹන මොහොතේදීමයි. යුද සමයේදී ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වූවකු යැයි හංවඩු ගැසූ ගැමි තරුණයකු , අවිහිංසක යැයි පසුව  අනාවරණය කර ගැනේ. එහෙත් එය පිළිගන්නට ගම්මු සුදානම් නොවෙති. ඔවුනගේ එම චර්යාව තීරණය කරන්නේ අගනුවර කේන්ද්‍රීය මාධ්‍ය භාවිතය යන්න සිනමාකරුවන් දෙපළ පවසන්නේ සිනමාපටය ආරම්භ වී පළමු මිනිත්තු කිහිපය ගත වද්දීම ය. අනතුරුව දිස් වන්නේ මාධ්‍ය හරහාම යුක්තිය ඉටු කරනු පිණිස එසේ අගතියට පත්ව මිය ගිය තරුණයාගේ වැඩිමහලු සොහොයුරා වන ගුණා  හා ළබැඳී  මිතුරා දරන ජයග්‍රහණ සීමිත , පරාජයවීම්  බහුල ප්‍රයත්නයයි. සිනමාකරුවන් දෙපළගේ අබිභවා යාම්ද, සීමාද මනාව දත හැක්කේ මේ ප්‍රයත්නය විෂයෙහි ය. ඔවුන් සිනමාපටය නිමාකරන්නේද ජයග්‍රහණ එක පසෙකින්ද, පරජයවීම් තවත් පසෙකින්ද ගෙන හැර පාමිනි. එතැනට  ඔවුනගේ ප්‍රවිෂ්ටය සිදුවන්නේ බලහත්කාරයෙන් නොවේ. නිරායාසයෙනි. ඊට අවශ්‍ය නිදහස වෙනුවෙන් ඔවුන් පෙනී සිටින වග පැහැදිලි ය.

මේ අනුව පෙනී යන්නේ ‘ද නිවුස් පේපර්’ හි එන ප්‍රමුඛ අරමුණු ත්‍රිත්වය එකිනෙකින් වෙන් කොට විනිශ්චයට බඳුන් කිරීම නිරර්ථක ක්‍රියාවක්ද විය හැකි බවයි. සිනමාපටයේ සමස්තයම විනිශ්චය වඩා සහේතුක වන බවයි. සිනමාපටයේ සමස්තය තුළ සැරිසරමින් අරමුණු සතු හැසිරීම් හසු කර ගැනීම උචිත වන බවයි.

ගුණා නමැත්තාද , මවද සෑම කල්හිම අවධාරණය කරන්නේ ගම්මුන්ගේ වැරදි  වැටහීම දුරු කරනු පිණිස කළ  යුතු හොඳම දේ කිරීමට යා යුතු ය යන්නයි. කවර තරාතිරමේ අයකුට වුව ආත්මාභිමානය කෙතරම් වැදගත්ද යන්න මෙතනදී කියැවෙන්නේ අගනුවර අත්දැකීම්ද ඉදිරිපත් කරන විටදීයි. ජන මාධ්‍ය භාවිතයේ ඇතැම් ජඩ ලක්ෂණ සිනමාකරුවන් දෙපළට හසු වන්නේ මේ කවුළුවෙන් රිංගා යාමත් සමඟිනි. මෙහිලා සිනමාකරුවන් සිය ප්‍රේක්ෂකයනට කියා දෙන්නේ  ගුණා, ඔහුගේ මව හා ළබැඳී  මිතුරා මුල් වූ පාඩමක් ම නොවේ. අප සියලු  දෙනාම ජන මාධ්‍ය භාවිතයේ ඇතැම්  ජඩ ලක්ෂණ හමුවේ ගොදුරු බවට පත්ව සිටින වග ය. ජන මාධ්‍ය භාවිතයේ විකල්ප පිවිසුම් පිළිබඳ ප්‍රේක්ෂක කල්පනා පුබුදු කරලන්නටද ඔවුහු වෙර දරති. නමුත් මේ සිනමා ශාලාවෙන් ඔබ්බට ගොස් සාක්ෂාත් කර ගත යුත්තක් ය යන්න නොරහසකි.

සිය ප්‍රමුඛ අරමුණු සමඟම හැසිරෙන්නට යාමේදී සරත් හා කුමාර දෙපළ අතුරු කතා කෙරෙහිද යොමු වන සෙයක් පෙනේ. ඇතැම්  අතුරු කතාවක් අවිනිශ්චිත ය. අගනුවරදී ගුණා හා මිතුරු ලුයියා අනීතික කාර්යයක පැටලීම එබන්දකි. පුවත් පත් කතුවරයකුට පහරදීම නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ  ලුයියාට පාතාලයකු හඳුනා ගන්නට අවස්ථාව ලැබේ. එය දුරදිග යන්නේ ලුයියා ලවා යම් අනීතික කාර්යයක් ඉටු කර ගන්නට පාතාලයා  පියවර ගැනීමෙනි. මේ අතුරු කතාව සැනෙකින් අතුරුදන් වේ. තවත් විටෙක ගුණා අනවබෝධයෙන් ක්‍රියා කොට බැංකු මංකොල්ලකරුවකු පොලීසියට හසු කර දෙයි. හුදෙකලා මංකොල්ල සැලසුම්කරු තීරණය  කරන්නේ ගුණාව එලොව යවන්නට ය.  අනතුරුව එම අතුරු කතාවද ප්‍රේක්ෂකයන් වෙතින් පළා යයි. අවිනිශ්චිත නොවන අතුරු පුවත්  සිනමාපටයට යම් අපූර්වත්වයක් ගෙන දෙන බවද පැවසිය යුත්තකි. ඒ ගුණාට හා ලුයියාට සරණ වීමට ගොස්  සිය රැකියාව පවා පරදුවට තබන තරුණ මාධ්‍යවේදිනියගේ  ඇවතුම් පැවතුම් ය. ගුණාගේ වියපත් මව පිළිබඳ කියැවීම සිනමාපටයේ හැරවුම් ලක්ෂ්‍යයක්  සේ කියා පෑමේ තැනකට සිනමාකරුවන් දෙපළ ම නොඑන්නේ හිතාමතාමද, අත් වැරදීමකින්ද යන්න අපැහැදිලි ය. එහෙත් මවද එක්තරා  අතුරු කතාවක් පවසන නිමිත්තක් සේ පෙනේ. ගුණාට ගම්මුන් පහරදී ආබාධිතයකු බවට පත් කරලීම , සොරකු  මුදල් සොරා ගැනීමෙන්  පසු ඒ ගැන වෙහෙස නොවන ගුණාගේ හා ලුයියාගේ චර්යා, රෑ බෝවීමට ප්‍රථම අදාළ පුවත්පත් කාර්යාලය කරා යාම පසෙකලා මුහුදු වෙරළේ අසිරිය දකින්නට ලුයියා මෙන්ම  ගුණාද තීරණය කිරීම බඳු පිවිසුම් සිනමාපටය සාවධානව නරඹන ප්‍රේක්ෂකයන්ගේ ඇසේ ගැටෙන  වැලි කැට ය. එහෙත් ඔවුනට ඒවා පිසදාලීමේ නොහැකියාවක් නො මැතිවීම සිනමාකරුවන් දෙපළගේ වාසනාවකි. නො එසේනම් ‘ද නිවුස් පේපර්’  ඉබාගාතේ ගිය සිනමාපටයක් සේ නම් කිරීමට ඔවුන් කිසිසේත් ම නොපැකිළෙනු ඇත.

රූප රචනය කෙරෙහි සිනමාකරුවන් දැක්වූ අවධානය ඇතැම් තැනකදී  විශේෂයෙන් කැපී පෙනේ. සිනමාපටයේ ආරම්භය හා අවසානය සනිටුහන් කරන එකම ආකාරයේ රූප රාමු ද්විත්වය එබන්දකි. පළමු වැන්නෙන් කියැවෙන්නේ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ  සිවිල් පුරවැසියා පදිංචිව සිටි  නිවස ගිනිබත් කොට ඇති බවත්, ඔහු නිසැක වශයෙන් ම  ත්‍රස්තයකු වන බවත් සඳහන් සිරස්තල සහිත පුවත්පත් කිහිපයකි. දෙවැන්නෙන් කියැවෙන්නේ එම පුද්ගලයා නිර්දෝෂී බව සඳහන් වර්තමාන පුවත්පත් ය. මේ අතර කාලය වසර නවයකි. නමුත් සිනමාකරුවනට අවශ්‍ය දින දෙක තුනක් පමණි. පුවත් පත් කාර්යාල, පොලිස් ස්ථාන, අගනුවර වීදි, උද්‍යාන,අගුපිල් ආදිය නිරූපණයේදී සිනමාකරුවන් පිහිටන්නේ වඩාත් විශ්වසනීය වූ පිළිවෙතක ය. වෙස් ගැන්වීම් ආදියේදීද ඔවුහු එම පිළිවෙතටම අනුගත වෙති. ග්‍රාමීය පුද්ගල ආධිපත්‍යය , ආගමික සංස්ථා  ආකල්ප, පීඩිතයන්ගේ අඳෙීනා සේම නගරයේ බලපුළුවන්කාර පාර්ශ්වද මෙසේ දැකිය හැක්කේ තත්‍ය ලෝකයේ විලසින්ම ය. තත්‍ය ලෝකය සමඟින් වූ සිනමාකරුවන්ගේ සම්බන්ධතාව ප්‍රමුඛ අරමුණු ත්‍රයට අදාළව නව ඥානයක්  ප්‍රේක්ෂකයා වෙත රැගෙන යාමේ අභිලාෂයට තීරණාත්මක බාධාවක් නොවේ. එසේම සිනමාපටය සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ සිතුවිලි ප්‍රේක්ෂකයා තුළ ජනිත කිරීමටද මේ තත්‍ය ලෝක නිරූපණය පිටිවහලක් වී ඇත.

තමන් ‘ද නිවුස් පේපර්’ හි සිනමාකරුවන් වීම සරත් හා කුමාර යන දෙදෙනාටම බරපතළ අභියෝගයක් වන්නේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණයේදී ය. ඔවුන් සිය චරිත කිසිවිටෙකත් හෑල්ලු නොකරන වග සත්‍යයකි. නමුත් තවදුරටත් ප්‍රේක්ෂකයන් සසල කරන අංග රංගන කාර්යය කරා ගෙන එනු පිණිස ඔවුනට හැකියාව තිබුණේ යැයි වරෙක සිතේ.

‘ද නිවුස් පේපර්’ හඳුන්වාදිය හැකි වඩා නිරවද්‍ය ආකාරය දැන් විද්‍යමාන වේ. ඒ ‘ද නිවුස් පේපර්’ යනු පටු, පෞද්ගලික හා නොමේරූ  අරමුණු හා බැඳී  සිටින අප සියලු  දෙනාම සාහසික උපහාසයකින් විපිළිසර කළ  සිනමාපටයක් ය යන්න ය. සරත් හා කුමාර එක්ව හෝ වෙන් වෙන්ව සිය සිනමා අධ්‍යක්ෂණ අනාගතය කරා යාමට ඉන් සපයා ගන්නා  පිටුබලය සුළු පටු නොවේ.