නීතිය සහ අවනීතිය අතර කවුරුවත් දන්නෙ නැහැ

අගෝස්තු 6, 2020

බෙනට් රත්නායකගේ නවතම සිනමාපටයේ සියලු වැඩ කටයුතු මේ වනවිට නිමව තිබේ. කවුරුවත් දන්නේ නැහැ යනුවෙන් නම තබා ඇති එය අධ්‍යක්ෂවරයාගේ පස් වැනි සිනමාපටයයි. ඔහු මීට ප්‍රථම අසවැසුම, සුළඟ, ඉර හඳ යට, නෙලා, වැනි සිනමාපට නිර්මාණය කරන ලදි.

බෙනට්, ඔබේ නවතම සිනමාපටයට පාදක කරගත්තේ මොනවගේ කතා පුවතක්ද?

පසුගිය වසරවල නීතිය ක්‍රියාත්මක වන හැටි මං පොඩි අධ්‍යයනයක යෙදුණා. එතනදි මට වැටහිච්ච කාරණාවක් තමයි නීතිය ලොකු මිනිහට එකක් පොඩි මිනිහට තව එකක්. මට හරියට හිතට දැනුණ සිද්ධීන් කිහිපයකුත් තිබුණා. සුළු වරදකට හසුවූ දුප්පත් මිනිහා හිරේ, සල්ලි බාගේ බලය තියනවා නම් ලොකු වරදක් කළත් එළියේ. මේ ප්‍රස්තුතය අලළා තමයි “කවුරුවත් දන්නේ නැහැ” සිනමාපටය නිර්මාණය කළේ. මේකේ ඉන්නවා රත්නසේකර කියලා දූෂිත ඇමතිවරයෙක්. ඔහුට එරෙහි වන කම්කරු ගැහැනියක්. මුදලට විකිණෙන සමාජයක නීතීඥයෙක්. තම දැනුම රටේ හානියට යොදාගන්නා පුද්ගලයෙක් වගේ චරිත කිහිපයක්. ප්‍රධානම චරිතය තමයි නීතිය හරියට ක්‍රියාත්මක කරගන්න බැරිව ළතැවෙන පොලිස් නිලධාරියා. ඔහු වටා තමයි කතාව ගොඩ නැඟෙන්නේ. මගෙ කතා සංකල්පයට මගෙත් එක්ක චූලාභය ශාන්ත කුමාර හේරත් පිටපත සකස් කළා.

කවදා විතරද “කවුරුවත් දන්නේ නැහැ” සිනමාපටය නරඹන්න පුළුවන්?

මේ ජූලිවල තමයි දින දීලා තිබුණේ. නමුත් කොරෝනා නිසා තව ටිකක් කල් යයි. වැඩ සේරම ඉවරයි ෆිල්ම් එකේ.

කවුරුවත් දන්නේ නැහැ සිනමාපටයේ නළු නිළියන් සහ සිනමාපටය නිෂ්පාදන කණ්ඩායම සඳහන් කළොත්?

බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය, සංගීතා වීරරත්න, ලකී ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානයක, බුද්ධදාස විතානාරච්චි, දර්ශන් ධර්මරාජ්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උදාර රත්නායක, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, ක්‍රිසල් ඉමේරා, ඇඩම් ආදිමලි, ටීනා ශනෙල්, එමාරා ප්‍රනාන්දු, ෂවන් ප්‍රනාන්දු, සත්‍යා රත්නායක, නිමේශා ඈන් ඇතුළු පිරිස තමයි රඟපාන්නේ.

කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලකගෙ. සංගීතය මිලින්ද තෙන්නකෝන්. ගීත රචනා මහචාර්ය සුනිල් ආරියරත්න. ගායනා ආචාර්ය නන්දා මාලිනී. සංස්කරණය අජිත් රාමනායක. සහාය අධ්‍යක්ෂණය ප්‍රසන්න ඉත්තෑපාන. කලා අධ්‍යක්ෂණය සුජීව ගුණරත්න. අංග රචනය ප්‍රියන්ත දිසානායක. ශබ්ද පරිපාලනය අරුණ කළුආරච්චි. වස්ත්‍රාභරණ කුමාර කරව්දෙණිය. වර්ණ සංයෝජනය දිනිදු ජාගොඩ. විශේෂ දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන්. නිෂ්පාදනය සමන්මලී හේවාමාන්න.