අතුරුදන් වූ පුතු සොයා ගිය මව පාංශු

අගෝස්තු 13, 2020

විසාකේස, කවදද පාංශු නරඹන්න ලැබෙන්නේ?

මේ මාසේ විසි එක තමයි අපිට දින දීලා තියෙන්නේ. රිත්මා මණ්ඩලය ප්‍රමුඛ සිනමාශාලා තිහකදී පමණ පාංශු නැරැඹිය හැකිවනවා.

මේ කාලයේ චිත්‍රපටයක් මුදා හැරීම තරමක් අවදානම් සහිත කාර්යයක් නේද?

මම හිතනවා වසංගත තත්ත්වය දැන් පාලනය වෙලා කියලා. මිනිස්සුන්ට දුෂ්කරතා නැතුව නෙවෙයි. කොහොමත් යම් යම් කාලවලදි ප්‍රශ්න එනවා. එහෙම බලනකොට ප්‍රශ්න නැති කාලයක් නෑ වගේ. ඔබ කිව්වා වගේ මේ කාලයේ චිත්‍රපටයක් මුදා හරින්න නිෂ්පාදකවරයෙක් දෙවතාවක් හිතනවා. ඒත් මම ලැබුණු අවස්ථාව මග හැර ගන්නේ නැහැ. එහෙම වුණොත් ආයේ කොයි කාලේ චාන්ස් එකක් ලැබේවිද දන්නේ නැහැනේ. මම විශ්වාස කරන තව දෙයක් තියනවා. අපි වගේ අය හදන චිත්‍රපට බලන්න වෙනම පිරිසක් ඉන්නවා. අන්න ඒ අය මොන තත්ත්වයක් මත වුණත් චිත්‍රපට බලන්න ශාලාවලට එනවා.

චිත්‍රපටයේ කතාව කොහොමද මනසට ආවේ?

ළමයින් අතුරුදන් වුණ සිද්ධියක් මට දැනගන්නට ලැබුණා. ඒ තැන තැන මළ සිරුරු හමුවීමත් එක්ක අතුරුදන් වූ ළමයින්ගේ අම්මලා ඒ ඒ තැන්වලට ගියා. මේ සිදුවීම් මගේ හිතට තදින් දැනුණා. ඒ ඔස්සේ තමයි මෙහි පිටපත ලිව්වේ.

නීටාව ප්‍රධාන චරිතයට ගන්නවාම කියලා හිතාගෙන හිටියද?

පාංශු මගේ දෙවැනි චිත්‍රපටය. මම සය පෙති කුසුම විතරයිනේ නිර්මාණය කරලා තිබුණේ. නීටා ප්‍රනාන්දු කියන්නේ මට වඩා සිනමාවේ හසළ අත්දැකීම් තියෙන කෙනෙක්. මම හිතාගෙන හිටියා මගේ මට්ටමේ කෙනෙක්ව ගන්නත්. නමුත් මම ටෙලිෆෝන් එකෙන් නීටා මහත්මියට කතා කරලා පාංශු චරිතය ගැන කිව්වාම ඇය එකඟතාවය පළ කළා. ඒ වගේම ඊට මනා සාධාරණයක් ඉටු කළා. ඒ වෙනුවෙන් ඇයට නීස් අන්තර්ජාතික සම්මාන උලෙළේ හොඳම නිළිය හැටියටත් සම්මනනීය වුණා.

පාංශු නළු නිළි පිරිවර සඳහන් කළොත්?

නීටා ප්‍රනාන්දු, ජගත් මනුවර්න, නදී කම්මැල්ලවීර, සේවියර් කනිෂ්ක, මයුර කාංචන යන අය තමයි රඟපාන්නේ.