සම්මාන නෙවෙයි ප්‍රශ්නෙ පෙන්වන එක 

“සූස්ති” හැදූ   කුෂාන් වීරරත්න
අගෝස්තු 13, 2020

සිංහල සිනමාවේ පරිහානියට හේතුව තරුණ සිනමා         අධ්‍යක්ෂවරුන්ගේ ඇති අඩුව බවට සිනමා විචාරකයන්ගේ විවේචන මේ වන විට එල්ල වේ. තරුණයන් සිනමාවට අවතීර්ණය වීම මන්දගාමීව පවතින වකවානුවක තරුණ අධ්‍යක්ෂවරයෙකු වෙනත් ආරකින් නව අත්හදා බැලීමක් කර ඇත. එය නමින් “සූස්ති” වේ. උදාර පල්ලියගුරුගේ නිෂ්පාදනයක් සහ කලණ ගුණසේකරගේ පිටපතක් වන “සූස්ති” අධ්‍යක්ෂණය කරනු ලැබුවේ කුෂාන් වීරරත්න විසිනි. තම කුලුඳුල් සිනමා නිර්මාණය වන “සූස්ති” ගැන කුෂාන් අපි කතාබහ කළේ මෙසේය. 

ඔබේ "සූස්ති"යට ලැබෙන ප්‍රතිචාර මේ කතාවට හොඳ ආරම්භයක්. 

හිතුවාට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ඇත්තටම ඒ තරම් ලොකු ප්‍රතිචාර ගොඩක් චිත්‍රපටයට බලාපොරොත්තු වුණේ නැහැ. මේ චිත්‍රපටය හැදුවේ පොඩි අත්හදා බැලීමක් කරන්න. සූස්ති චිත්‍රපටයේ ඇතුළාන්තය සහ හැඩය තාරුණ්‍යයට ලඝු වෙච්ච ගතියක් තියෙනවා. නමුත් සාමාන්‍ය ප්‍රේක්ෂකයාගෙන්, සිනමා කර්මාන්තයේ ප්‍රවීණයන්ගෙන් සහ සමකාලීන කලාකරුවන්ගෙන් හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙමින් පවතිනවා. 

 "සූස්ති" චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා කුෂාන්ට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මමයි අපේ රංගන ශිල්පියා කලණ ගුණසේකරයි රස්තියාදු ගහමින් ඉද්දි තමයි කලණ මට කියන්නේ "මචං උදාර කතා කළා. ෆිල්ම් එකක් කරන්න. අපි ගිහින් පොඩ්ඩක් කතා කරමු" කියලා. ඉන්පසුව මමයි කලණයි උදාර පල්ලියගුරු හමුවෙන්න යනවා. ඇත්තටම ඒ යනවිටත් චිත්‍රපටියක් කරන්න හෝ ඒ සම්බන්ධයෙන් අදහසක් තිබුණේ නැහැ. උදාර යම් වස්තු විෂයක් කියලා ඒ ආශ්‍රයෙන් කතාවක් කරමු කිව්වා. කලණට එහි පිටපත ලියන්න උදාර ආරාධනා කළා. පසුව කලණ තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න මාව යෝජනා කළේ. එදා හමුවීමෙන් පසුව මමයි කලණයි චිත්‍රපටයේ පිටපත ලියන්න පටන් ගන්නවා. 

සූස්ති චිත්‍රපටයට පෙර ඔබ කරපු වැඩ ගැනත් කතා කරමු?

මගේ ආරම්භය තියෙන්නේ වේදිකාවේ. වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් හැටියට තමයි මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. වේදිකාවෙන් පසුව "සිනමා පිස්සුව" හැදෙනවා. සිනමාව ගැන හොයනවා. අධ්‍යයනය කරනවා. පසුව මම සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට වැඩ කරනවා. ඒත් එක්කම රංගනය කියන එක මගෙන් මඟහැරිලා යනවා. අධ්‍යක්ෂණයට තමයි මගේ පූර්ණ අවදානය යොමු වෙන්නේ. සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස චිත්‍රපට කීපයක සහ ටෙලිනාට්‍ය කීපයක මම වැඩ කරලා තියෙනවා. 

"සූස්ති" චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් දෙපලක්. කලණ ගුණසේකරගෙන් සහ සමනලී ෆොන්සේකාගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කළොත්?

මේ චිත්‍රපටය මාර team work  එකක් කිව්වොත් නිවැරදියි. මේ චිත්‍රපටයේ මොනයම් හෝ සාර්ථකත්වයක් තියෙනවා නම් ඒකට චිත්‍රපටයේ මුළු කණ්ඩායමම ලබාදුන් දායකත්වය ඒකට හේතුවක් වෙනවා. මෙයට රංගනයෙන් දායක වුණු කලණ සහ සමනලීගෙන් ලැබුණු සහයෝගයත් විශේෂයි. කැමරාකරණය කළ චින්තර සෝමකීර්තිට පවා එම කාර්ය පහසු වෙන්නේ රඟපාන්න පුළුවන්, රංගනය හදාරපු රංගන ශිල්පීන් දෙදෙනෙක් කැමරාව ඉස්සරහා ඉන්න නිසා. අපිට රූගත කිරීම්වලට ඉතාම පොඩි කාලයක් තිබුණේ. ඒ නිසා ඒ දෙදෙනාගේ රඟපෑමට ඇති අතිදක්ෂකම මේ වැඩේ සාර්ථකකරගන්න හේතුවක් කියලා මම හිතනවා. 

Road කියන ජෝනරය ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් නේද?

මම පෞද්ගලිකව අමෙරිකානු සිනමාවට කැමති කෙනෙක්. Road කියන්නේ අමෙරිකානු සිනමාවෙන් එන ආභාෂයක්. ලංකාවේ මීට කලින්  road movies  හැදිලා නැහැ. හැදිලා තියෙන එකම චිත්‍රපටය "ඇවිලෙනසුලුයි". වෙනත් චිත්‍රපටවල අඩු වැඩි වශයෙන් යම් යම් දර්ශනවල road concept  එක තියෙනවා. නමුත් ඒවා road movie කියන ගනයට අයත් නැහැ. අධචඤ කියන ජෝනරයේ චිත්‍රපට හදනකොට හරියට lineup කරගන්න පුළුවන් නම් රූගත කරගන්න පහසුයි කියලා සිනමා විචාරකයො කියනවා. "සූස්ති" චිත්‍රපට කළේ road movie එකක් හදනවා කියන පරමාර්ථයෙන් නෙමෙයි. අපි ළඟ තිබුණේ කතාව. කතාව ඇතුළේ තමයි මේ දෙන්නගේ චාරිකාව තියෙන්නේ. 

මේ චාරිකාව යන අතරතුර අසමත් රාජ්‍ය ගැන සහ out of focus ජීවිත ගැන කතිකාවතක් ගොඩනැඟෙනවා. ප්‍රේක්ෂක රසවින්දනයට බාධා නොවන ආකාරයට එය හසුරුවා ගත්තේ කොහොමද?

ඉතාම කෙටි කාලයකින් අපි මේ චිත්‍රපටයේ රූගත කිරීම් කළා. ඒ සීමිත කාලය තුළ රූගත කිරීම් වගේම පසු සංස්කරණ කටයුතු ගැනත් ඔළුවේ යම් අදහසක් තියාගෙන මට වැඩ කරන්න සිද්ධ වුණා. සාමාන්‍ය සිනමාවේ භාවිතා කරන හැඩයන් ටිකක් වෙනස් කරලා පොඩි අත්හදා බැලීමක් තමයි "සූස්ති" චිත්‍රපටය තුළින් අපි කළේ. සිනමාව කියන්නේ පෞද්ගලික රසවින්දනයට අදාළ කාරණාවක්නේ. කෙනෙක්ට ප්‍රිය වෙන දේ කෙනෙක්ට අප්‍රිය වෙන්න පුළුවන්. ඒ නිසා අපේ අත්හදා බැලීම ප්‍රේක්ෂක රසවින්දනයට බාධා නොවුණා නම් එය සාර්ථක ඇති කියලා මම හිතනවා. 

"සූස්ති" තුළින් ඔබ කරපු අත්හදා බැලීම සාර්ථකයි කියලා හිතනවාද?

ඒ ප්‍රශ්නය මම නැවත ප්‍රේක්ෂකාගාරයට යොමු කරනවා. මොකද ඔවුන්ගේ ප්‍රතිචාරය මත තමයි සාර්ථක හෝ අසාර්ථකත්වය තීරණය වෙන්නේ. අපි ඒපබ කරන්නේ අපිට දැනෙන දේ. තමන්ටලැබෙන අවකාශයත් සමඟයි සිනමාව කරන තරුණ පරම්පරාවට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේ අවකාශය ඉතා අඩු වෙන්න පුළුවන්. තරුණයන් බලන්න ඕනේ ඒ ඉඩ ඇතුළේ තමන්ගේ වැඩේ හරියට කරන්න. මම හිතන්නේ මට ලැබුණු ප්‍රතිචාරත් එක්ක අපි කරන්න උත්සාහ කරපු වැඩේ යම්තාක් දුරකට සාර්ථකයි කියලා.

කුෂානුත් චිත්‍රපටයක් හැදුවේ සම්මානයක් බලාපොරොත්තුවෙන්ද?

කොහෙත්ම නැහැ. සම්මාන ගන්න නම් නෙමෙයි මම චිත්‍රපටය හැදුවේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ චිත්‍රපට පෙන්න ගන්න බැරි එක. සම්මානයක් ගන්න එකට වඩා මේ චිත්‍රපටය පෙන්න ගන්න පුළුවන් වීමම මට වටිනවා. 

ලංකාවේ සිනමාව නැවත ගොඩනැඟීමට තරුණ අධ්‍යක්ෂවරුන්ගේ කාර්යභාර්ය කෙසේ විය යුතුද?

ඒ ප්‍රශ්නයට සරල උත්තරයක් දෙන්න අමාරුයි. මමත් විකල්ප සිනමාව කරපු කෙනෙක්. නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා විකල්ප සිනමාවෙන් සිනමා කර්මාන්තය ගොඩනඟන්න බැහැ කියලා. හෝල් එකකට ඇවිත් මිනිස්සුන්ට චිත්‍රපටි බලන පුරුද්ද නැවත ඇති කරන්න පුළුවන් වාණිජ සිනමාවට. වාණිජ සිනමාවේ ගුණාත්මක භාවය ඇතුව වැඩ කරන මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගොඩක් ඉන්නවා. අධ්‍යක්ෂවරු ගුණාත්මකභාවයෙන් යුතු වාණිජ චිත්‍රපට හදන්න ඕනේ. එවිට මිනිස්සුන්ට චිත්‍රපටයක් ආවාම ගිහින් බලන්න ඕනේ කියන හැඟීම ඇති වෙයි. ඒ ආදායමෙන් සිනමාශාලා සුඛෝපභෝගී වෙයි. මේ සියල්ල වෙන්න වාණිජ සිනමා කර්මාන්තය යළි හිස එසවෙන්න ඕනේ. 

ආරාධනාවක් ආවොත් කුෂාන් වාණිජ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කැමතිද?

අනිවාර්යයෙන් ඔව්. මගේ කැමැත්ත තියෙන්නෙත් මගේ සීමාව තුළ හොඳ වාණිජ චිත්‍රපටි කරන්න තමයි. මම ඊළඟට සූදානම් වෙමින් ඉන්නෙත් වාණිජ චිත්‍රපටයක් කරන්න තමයි.

ඒ ගැන විස්තර කිව්වොත්?

ඒ චිත්‍රපටයෙත් පිටපත ලියලා අවසන්. ඒ පිටපත ලිව්වෙත් කලණ ගුණසේකර. මේ වනවිට නිෂ්පාදකවරයෙක් සමඟ කතා කරනවා චිත්‍රපටය ගැන. චිත්‍රපටයේ නම "Happy Wedding මචං" චිත්‍රපටයට නළු නිළියන් සෑහෙන්න දුරට තෝරාගෙන අවසන්.