පළමුවරට මාලිනී-සෙනාලි එක්ව රඟන “මනුසත් විමන”

අගෝස්තු 20, 2020

නවකතා ලේඛිකා මොණිකා පුෂ්පකුමාරිගේ "මනුසත් විමන" නවකතාව පාදක කොටගෙන ලලිත් රෝහිත එදිරිසිංහ පිටපත් රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්ද පියල් සිල්වෙස්ටර් නිෂ්පාදනයෙන්ද දායක වන "මනුසත් විමන" ටෙලි නිර්මාණයේ මුහුරත් උලෙළ පසුගියදා (12) ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුණි. 

එම අවස්ථාව සඳහා "මනුසත් විමන" ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වන නිළි රැජින මාලනී ෆොන්සේකා, දමිතා අබේරත්න, නිරෝෂන් විජේසිංහ, සෙනාලි ෆොන්සේකා, චානුක ප්‍රබුද්ධ ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පිනියෝ සහභාගී වූහ. එහිදී ටෙලිනිර්මාණය සඳහා සහභාගී වන රංගන ශිල්පීන් එම ටෙලි නාට්‍යයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමද සිදුවිය. 

මාලිනී ෆොන්සේකා සහ සෙනාලි ෆොන්සේකා පළමුවරට එක්ව ටෙලි නිර්මාණයකට රංගනයෙන් දායක වන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. 

මාලිනී ෆොන්සේකා, දමිතා අබේරත්න, නිරෝෂන් විජේසිංහ, මංජුලා කුමාරි, පියල් සිල්වෙස්ටර්, සෙනාලි ෆොන්සේකා, චානුක ප්‍රබුද්ධ, චන්දික නානායක්කාර, ගයනි ගිසන්තිකා, අජිත් වීරසිංහ, අර්ඩ්ලි වෙදමුණි, නිලංජනී පෙරේරා, ඩී.බී. ගංගොඩතැන්න, දිනේෂ් විජේසිංහ යන රංගන ශිල්පීන් ශිල්පිනියන්ද මනීෂා නෙතාරා, ලංකානාත් රන්දීප, ගවීෂා දිව්‍යාංජලී යන ළමා රංගන ශිල්පීහු "මනුසත් විමන" ටෙලි නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙති. 

මනුසත් විමන ටෙලි නිර්මාණය සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් අමිල සඳුන් ප්‍රේමරත්නද කැමරාකරණයෙන් මයුර කාරියවසම්ද, අංග රචනයෙන් වාසනා බන්ඩාරද දායක වෙති.