කොරෝනාට වැසූ සිනමාවට පෙර පරීක්ෂාවක් . . .

අගෝස්තු 20, 2020

රේචල් හන්ටර් මෑතකදී සිය සැමියා ගෙන් දික්කසාද වී නිව් ඔර්ලියන්හි වෙසෙන්නේ පහළොස් හැවිරිදි සිය පුතු සමඟිනි. එක් දිනක් ඇය සිය මෝටර් රථයෙන් පුතු පාසලට කැඳවා ගෙන අතරතුර සිදුවන සුළු වරදක් හේතුවෙන් රියදුරකු සමඟ ආරවුලක පැටලේ. ද්වේශ සහගත ලෙස හැසිරෙන මෙම නාඳුනන රියදුරා රේචල් පසුපස හඹා එන්නේ ඔහු ගෙන් ඇය සමාව ගත යුතු බවට බල කරමිනි.

කුඩාවට ඇරඹෙන මෙම සිදුවීම ඉක්මනින් ප්‍රචණ්ඩකාරී මෙන්ම සංකීර්ණ ක්‍රියාදාමයක් බවට පත්වන අතර නාඳුනන රියදුරා මව සහ පුතු පසුපස දිගින් දිගටම පැමිණෙන්නේ මඟ සිටින අන් පුද්ගලයන්හටද සිය ප්‍රචණ්ඩකාරිත්වය පෙන්වමිනි. මේ අතර රේචල් සිය මිතුරකු වන නීතිඥ ඇන්ඩිගේ සහය පතයි. නාඳුනන රියදුරා කෙතරම් දරුණුදැයි කිවහොත් පහර දී ඇන්ඩි ඝාතනය කරයි. එපමණක් නොව පොලිස් නිලධාරියකු ද මෙම පුද්ගලයා අතින් ඝාතනය වේ. සිය සතුරාට සෘජුව මුහුණදීම මිස අන් විකල්පයක් රේචල්හට නොපෙනේ.කාර්ල් එල්ස්වර්ත් විසින් රචනා කොට ඩෙර්ක් බොර්ටේ විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක සිනමා නිර්මාණයක් වන Unhinged  චිත්‍රපටය රිදී තිරයේ දිග හැරෙන්නේ මෙලෙසිනි. එය මේ වසරේ සැප්තැම්බර් 04 වැනිදා තිරගත කිරීමට නියමිතව තිබුණි.

පසුව එම දිනය අගෝස්තු 28 වැනිදාට යෙදුණු අතර කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ලොවපුරා සිනමාහල් වසා තිබියදීම පසුගිය ජූලි 16 වැනිදා මෙම චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කරන ලද්දේ ජර්මනියේදීය . ජූලි 31 වැනිදා බ්‍රිතාන්‍ය, යුරෝපය, ඔස්ට්‍රේලියාව, ලතින් අමෙරිකාව ඇතුළු රටවල ද තිරගත කිරීම ආරම්භ විය. සිනමා ක්ෂේත්‍රය තුළ මෙම තිරගත කිරීම විශේෂ අවස්ථාවක් බවට පත් විය. බොහෝ දෙනා සඳහන් කර සිටින්නේ මෙම චිත්‍රපටය සිනමාහල් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් පෙර පරීක්ෂාවට ලක් කිරීමක් ලෙසිනි. Unhinged චිත්‍රපටය හෙට (අගෝස්තු 21) අමෙරිකා එක්සත් ජනපදයේ තිරගත කිරීමට නියමිතව ඇත.

රසෙල් ක්‍රෝ, කේරන් පිස්ටෝරියස්, ගේබ්‍රියල් බැට්මෑන්, ජිමී සිම්සන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබූවකි. එය රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ 54%ක ලකුණු ප්‍රමාණයක් ලබා ඇත. රසල් ක්‍රෝ දුෂ්ටයකු ලෙස කරන අතිදක්ෂ චරිත නිරූපණය මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන් බලවත් ලෙස පෙළඹවීමට ලක් කළද දිගු ගමනක් යාමට අවශ්‍ය තරම් බුද්ධිමත් බවක් හෝ ගැඹුරක් චිත්‍රපටය තුළ දක්නට නොමැති බව එහි ප්‍රමුඛ විචාරය පවසයි.