සිංහලේ අන්තිම රජු ගැන හෙළි නොවූ කතාවක්

අගෝස්තු 27, 2020

ශ්‍රී වික්‍රම යනු මොහාන් නියාස්ගේ නවතම සිනමාපටයයි. එහි සියලු වැඩකටයුතු මේ වනවිට නිමවී තිබේ. ශ්‍රී වික්‍රම නියාස්ගේ දොළොස්වැනි සිනමා නිර්මාණය වන අතර ළඟදීම එය තිරයට සපැමිණීමට නියමිතය.

නියාස්, ශ්‍රී වික්‍රම සිනමාපටය ඔබට සුවිශේෂීයි?

ඔව්. මම චිත්‍රපට දොළහක් විතර කළානේ. මේ දහතුන. ඒ අතරින් මෙය සුවිසෙස් වන්නේ මේක ඓතිහාසික කතාවක් රැගත් චිත්‍රපටයක් නිසා. ඒ වගේම මම කරපු ඉතා ඉහළ පිරිවැයක් සහිත චිත්‍රපටය. අපි මේකට ගොඩක් සෙට්ස් ප්‍රති නිර්මාණය කළා. උදාහරණයක් විදිහට රජ මාළිගාව එහෙම් පිටින්ම හැදුවා. ලොකු කාස්ට් එකක් එහෙමත් ඉන්නවා. මගේ දැවැන්තම නිර්මාණය කිව්වොත් වැරදි නැහැ.

ශ්‍රී වික්‍රම කතාව ඔබ තෝරගත්තේ ඇයි?

මගේ ගම නුවර. දළදා මාළිගාව, නුවර වැව, ආදී ප්‍රදේශ නිතර ඇස ගැටුණා පොඩි කාලෙ ඉඳලා. මම ඉන්නේ උඩු නුවර සහ යටි නුවර මායිමේ. ඒ නිසා මේ රජ කතාවේ සිද්ධි මගෙ හිතට දැනෙනවා දැනෙනවා වගේ. මේ රජ චරිතය තුළ සැඟවුණු දේශපාලන කතාවක් තියෙනවා. ඒකයි මම මේ විවරණය කළේ. මේක වර්තමානයටත් හොඳ පාඩමක්.

ඉතිහාස කතා රැල්ලට ඔබත් එක් වුණා?

ඉතිහාස රැල්ලක් තියනවා කියලා හිතන්න බැහැ. කොයි කාලෙත් මොන නිර්මාණකරුවත් හිතුණොත් ඉතිහාස කතා ප්‍රතිනිර්මාණය කරනවා. ඔය තිබුණා නැතා නෙවෙයි මිනිස්සු නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නේ ඒවා හරි ප්‍රමිතියක් නැතුව හැදුණාම. මොන නිර්මාණවුණත් එහෙමයි.

ශ්‍රී වික්‍රම සඳහා ඔබ තෝරා ගන්නේ අකිල ධනුද්ධරව?

අපි ශ්‍රී වික්‍රම කියල හිතගෙන ඉන්නෙ පින්තූරවලින් දැකලා තියන කෙනානේ. අවුරුදු තිස්පහක් හතළිහක් වගේ තමයි පෙනුම. එහෙම නෙවෙයි. ශ්‍රී වික්‍රම කියන්නේ අවුරුදු දහහතේ ඉඳලා පාලනය පටන් ගත්තු කෙනෙක්. වයස තිස් හතර වෙද්දි ඒවා ඔක්කොම නිමාකරනවා. ඉතින් මේ වගේ චරිතයකට ගැලපෙනම කෙනා මම ගත්තේ.

චිත්‍රපටයේ නළුනිළියන් පිළිබඳ සඳහන් කළොත්?

බුද්ධදාස විතානාරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, චූලක්ශි රණතුංග, ශ්‍යාම් ප්‍රනාන්දු, රොශාන් පිළපිටිය, පාලිත සිල්වා, චංචලා වර්ණසූරිය, ශාලිකා එදිරිසිංහ, නඩරාජා සිවම්, ක්‍රිස් හැරිස්, කිංස්ලි ලෝස්, අරුණ රූපසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, ගැවින් ඇන්තනී, රිචර්ඩ් මොන්ඩි, මිචෙල් ස්ච්‍රාම්න්, ගජන් ගනේශන්, ජගත් ගලප්පත්ති, තරූ බෝගොඩ, සරත් නාමල්ගම, වතික රවිනාත්, අනුර ධර්මසිරිවර්ධන, සුගත් ජානක

නිෂ්පාදන පිරිවර -

තිර කතාව අජිත් ධර්මසූරිය, කැමරා අධ්‍යක්ෂණය සජිත වීරප්පෙරුම, අංග රචනය ප්‍රියංක රත්නායක, මියුසින් ෆර්හාන් ශාන්, සංස්කරණය අනුර බණ්ඩාර, ශබ්ද මිශ්‍රණය සුසන්ත ධර්මප්‍රිය, නිෂ්පාදනය වෙන්ඩෝල් වෙනුවෙන් වෛද්‍ය ගිහාන් ගොඩකන්ද.