සූස්ති සැර නොවුණේ මන්ද?

අගෝස්තු 27, 2020

 

ස්වකීය සමාජ,සංස්කෘතික හා දේශපාලන සවිඥනකත්වය සෙස්සන් හා බෙදා හදා ගැනීමටත්, ඒ ඔස්සේ වඩා පොදු කියැවීම් කරා යන්නටත් නිර්මාණාත්මක පාර්ශ්ව දරන තැත විද්‍යමාන වන්නේ වරෙක අතිශය අවදානම් චර්යාද සහිතව ය. මෙබඳු පිවිසුම් විෂයෙහි සිනමාව කැපී පෙනෙන්නේ එක අතකට යට කී අවදානම් චර්යා උත්සන්න වන ආකාරය පුළුල් තිරයේ දැවැන්ත රූප රාමු ඔස්සේ සංජානනය කරන හෙයිනි. මෙසේ එන අවදානම් චර්යා බොහෝ විට ප්‍රකාශයට පත් වන්නේ සෘජු හා නිශ්චිත ආකල්ප අතිශයෝක්තියකින් ගෙන හැර පාන්නට දරන මනාපයට සාපේක්ෂව ය. සැබැවින්ම මෙහි ඇති අන්තරාය සුළු කොට නොතැකීම වැදගත් වේ. කිසිවකු සිය ප්‍රථම නිර්මාණය විෂයෙහි මෙසේ අවදානම් චර්යා හසුරුවා ගත යුත්තේ මහත් සැලකිල්ලකිනි. එසේ නොකරන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ ද්විතීයික කාර්යයක් කරා යාමේ ඉඩක්ද විවර වනු ඇත.

මෙසමයේ මෙසේ සිනමා අධ්‍යක්ෂණයට සපැමිණ සිනමාවේ ප්‍රබල හා විශිෂ්ට ප්‍රකාශන ශක්‍යතාව භාවිතයෙන් ජීවිතය, සමාජය හා පුද්ගලයා හසු කර ගන්නට වැර දරන තරුණ හා නවක සිනමාකරුවන්ගේ සිනමාපට සමුච්චය අවලෝකනයෙදී යට කී ආකල්ප පෙරට එන්නේ නිරායාසයෙනි. කෙසේ නමුදු මේ බොහෝ දෙනෙකුගේ දෙවන සිනමා නිර්මාණය නොපැමිණෙන සෙයක් දක්නට ලැබීම එහි පශ්චාත් ප්‍රතිඵල පිළිබඳ සංකථනයකට බාධා පමුණුවයි.

සිනමාව අරභයා සම්මත හා විකල්ප අර්ථ දැක්වීම ඔවුන් විෂයෙහි දක්නට ලැබෙන්නේ නිර්බාධිතව ය. මේ අතර ලාංකේය සිනමාවට තරමක් හෝ වරෙක මුළුමනින් ම ආගන්තුක වූ නිර්මාණ විධි ක්‍රම භාවිතයට දරන ප්‍රයත්නද නිසැක වශයෙන් ම දක්නට ලැබේ . ඉන් කැපී පෙනෙන ප්‍රවිෂ්ටයක් වන්නේ නිසි එල්ලයක් සහිතව හෝ රහිතව කෙරෙන චාරිකා නිරූපිත සිනමාපට ය. ‘මෝටර් බයිසිකල්’, 28’ , ඇවිලෙන සුළුයි’ හොඳම උදාහරණ ත්‍රිත්වයකි. මෙහිලා ‘28’ අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න ජයකොඩි හැරුණු කොට අනෙක් සිනමාපට අධ්‍යක්ෂණය කළ සමීර නාඔටුන්න හා චින්තන ධර්මදාස වෙනම පාර්ශ්වයක් නියෝජනය කරති.

කුෂාන් වීරරත්නගේ ප්‍රථම සිනමාපටය වන ‘සූස්ති’ හඳුනා ගත හැක්කේද සමීර හා චින්තනගේ උක්ත සිනමාපට ද්විත්වය සමඟ සමීප ඥාති සම්බන්ධතාවක් පවත්වන සිනමාපටයක් වශයෙනි. කෙසේ නමුදු තුලනාත්මක විමර්ශනයකදී දත හැක්කේ සමීර හා චින්තන අභිභවා යාමට කුෂාන් තවදුරටත් සමත් ව නොමැති බවයි. නමුත් මෙකරුණ ‘සූස්ති’ අතහැර දැමීමට තරම් හේතුවක් කොට ගත යුතු නොවේ. මන්ද කුෂාන්, ‘සූස්ති’ හරහා එය තමන්ගේම සිනමාපටයක් වන වගද පවසන හෙයිනි.

දිවි නසා ගැනීමට තීන්දු කරන තරුණියක හා තරුණයකු මුණ ගැසෙන්නේ පූර්ව සැලසුමකට අනුව නොවේ. අනතුරුව ඔවුන් තීරණය කරන්නේ දින කිහිපයක් ඉබාගාතේ ගොස්, ජීවිතයට නව අත්දැකීම් එකතු කොට ගෙන දිවි නසා ගැනීමේ තීන්දුව ක්‍රියාත්මක කරන්නට ය. මිතුරකුගේ යතුරු පැදියක් ඉල්ලා ගෙන තරුණයා- මාලක, තරුණිය - සුසා සමඟ දින කිහිපයක් ම ඉබාගාතේ යන්නේ පළමු කොටම සිනමාකරු කුෂාන් සමඟිනි. ප්‍රේක්ෂකයනට මෙම චාරිකාව හා එක්වීමේ වරම් නොමැති යැයි සිතේ. මන්ද හැම විටම සිනමාකරුගේ ඒ ඒ අර්ථදැක්වීම් මාලක හා සුසා හරහා ප්‍රකාශයට පත් කරලීම චාරිකාවේ ප්‍රමුඛ අංගයක් සේ හුවා දක්වන නිසාවෙනි. ප්‍රේක්ෂකයනට තමන්ගේම වූ කියැවීමකට ඇත්තේ අල්ප වූ ඉඩකි. සමහරවිට ඉන් කළ හැකි අමුතු යමක්ද නොමැත . එනිසාම සිනමාකරු කුෂාන්ගේ අර්ථදැක්වීම් දිගින් දිගටම විඳ දරා ගන්නට ප්‍රේක්ෂකයන් සුදානම් විය යුතුය. නමුත් ප්‍රේක්ෂකයනට විඩාවක් ගෙන නොදෙන අයුරින් සිනමාපටය ඉදිරිපත් කරන්නට සිනමාකරු කුෂාන් දක්වන උනන්දුව කැපී පෙනේ. ඊට ඔහු ආකාර ද්විත්වයක් උපයෝගී කර ගන්නේ නොසැලකිල්ලෙන් නොවේ.

පළමු කොටම සිනමාපටයේ රිද්මයයි. එය ඒකාකාර ය. කොහොමත් මෙබඳු සිනමාපට ඒකාකාර රිද්මයකට ඇද වැටෙන්නේ එය එහි අනන්‍යතාව හඟවන්නක්ද වන හෙයිනි. කෙසේ නමුත් සිනමාපටයේ සමස්තාර්ථයට හානි ගෙන නොදෙන චලනයක් සාක්ෂාත් කර ගැනීම මෙහිලා සප්‍රයෝජනවත් ය. ‘සූස්ති’ හි අරමුණු දත හැක්කේ මේ රිද්මයට පසුව වීම මේ කරුණට වටිනාකමක් ගෙන දෙයි.

දෙවනුව රූප රචනයයි. මෙහිලා සිනමාකරු කුෂාන් තමන්ගේ ප්‍රතිභාව වැඩිපුර ප්‍රකට කරන්නටයි සමත් වන්නේ. පුළුල් පසුබිමක මාලක හා සුසාගේ කුඩා රූප නිරතුරුවම දක්නට පුළුවන. ඈත දිවෙන යතුරු පැදිය වටා ඇත්තේ එක්කෝ මහා නගරයයි. එසේම වියළි තැනිතලා ය. උස් කඳු හා බෑවුම් ය. වරින් වර මුහුදු වෙරළ ය. දියඇලි ආදිය ය. වරෙක කුෂාන් සමීප රූප කරාද පැමිණෙයි. ඇත්ත වශයෙන් ම ඒ මාලක හා සුසාගේ වුවමනාද සැලකිල්ලට ගන්නා අතරතුර ය.

මේ හැඩය ඔස්සේ කුෂාන් පවසන්නේ සමීර හා චින්තනද, ප්‍රසන්නද පසුගිය සමයේ පැවසූ දෙයක් ම නොවේ. කුෂාන් ඔවුන’තරට එන මිතුරු ප්‍රතිවිරෝධතාද සහිත අයකු වන වග හොඳීන් ම තේරුම් ගත හැක්කේ මෙතැනදී ය. ‘සූස්ති’ ට හිමි නිසි තැන නිශ්චය කර ගත හැක්කේද මෙතැනදී ය.

කුෂාන් මේ සමයේ යම් පුද්ගල හා සමාජ විවරණයකට සමත් නාගරික තාරුණ්‍යයේ ඇතැම් පරාරෝපිත ඉසව් විනිශ්චයට ‘සූස්ති’ උපයෝගී කොට ගන්නා සෙයකි. මෙබඳු තරුණයන් හා තරුණියන් තමාගෙන්ම හා සමාජයෙන් ඉවත් වනු පිණිස දරන ප්‍රයත්න බොහෝ ය. මන්ද මේ දිවිසැරිය තමන්ගේ පැවැත්ම හා අරමුණු සමඟ නො පෑහෙන වග ඔවුනට රහසක් නොවන හෙයිනි. කුෂාන් තරමක් දුරට පවසන්නේ සුසාගේ පසුබිම පමණක් වීම ප්‍රශ්නයක් කොට නොගත යුතු ය. මන්ද ඒ ඔස්සේ මාලකගේ පසුබිම පිළිබඳ අදහසක්ද ගෙන ආ හැකි හෙයිනි.

තරුණ පරපුර හැම යුගයකදීම පෙර පරම්පරාව සමඟ නො එකඟතා ඇති කර ගන්නා බව නො රහසකි. පරාරෝපනයේ තිඹිරිගෙය තැනෙන්නේ එතැන වන්නටද ඉඩ තිබේ. එක්කෝ ඒ නිවස ය. නො එසේනම් අන් ආකාරයක වැඩිහිටි මැදිහත්වීම් ය. ඒ මදිවාට අනාගත ජීවිතය පවත්වා ගත හැක්කේද ආකූල ව්‍යාකුල වූ පරිසරයක ය. තාරුණ්‍යයේ පරාරෝපිත බව ආගන්තුක නොවන්නේ මෙය පාරම්පරිකව දත හැක්කක්ද වන නිසාවෙනි. මෙහි වර්තමාන නියෝජිතයන් වන්නේ මාලක හා සුසා ය.

මෙනිසාම ඔවුනගේ දිවි නසා ගැනීමේ තීරණය හා වුවමනාව සංකේතාත්මක යැයි සිතේ. සිනමාපටය නිමාවට පත්වන්නේ මෙය අවධාරණය කරමිනි. එකිනෙකා මුලින් ම හමුවූ අගනුවර උස් ගොඩනැගිල්ල කරා නැවත නොඑන මාලක හා සුසා සීතල කඳුකරයේ උස් තැනකින් පැන දිවි තොරකර ගන්නට ලක ලැහැස්ති වෙති. විවරණය මාලකගෙනි. කුෂාන් අපට සමීප කරන්නේ සුසා ය. මාලකගේ විවරණය නතර වී ඇති හැඩකි. ඔහු නැත. සුසා වික්ෂිප්තව ය. මාලක බෑවුමට පැන්නාද? අපැහැදිලි ය. සුසා සිය දිවි තොර කර ගන්නා බවද අවිනිශ්චිත ය. ඉනික්බිතිව එන්නේ දුම්රියට පැන දිවි තොර කර ගන්නට සූදානම් වන සුසා බඳුම තරුණියකි. ඇයට අමතන්නේ මාලක ය. ඔහුට ආවේණික ජීවිතය පිළිබඳ විවරණය සහිතව ය. එහෙත් තිරය මතට ඔහු නොපැමිණේ.

මෙනිසා ‘සූස්ති’, යනු දෘශ්‍යමාන ඛේදාන්තයක් සේ ගත හැකි සිනමාපටයක් නොවන බව පැහැදිලි ය. එය පරාරෝපිත තාරුණ්‍යයේ වර්තමානය ප්‍රකාශයට පත් කරන්නකි. අර අවසානය නම් සිනමාවට සුලබ වූවක් ය යන්නත් මෙහිලා පැවසිය යුතුය. එකම දේ තවදුරටත් සිදු වෙමින් පවතින වගයි ඉන් ගම්‍ය වන්නේ. ප්‍රවීණ සිනමාකරුවන්ද මේ සුලබ කාරණය සුලබ ආකාරයෙන් ම ඉදිරිපත් කරන්නට සූදානම් වන සමයක කුෂාන් එසේ කිරීම එක අතකට අරුමයක්ද නොවේ.

මාලක හා සුසාගේ දීර්ඝ චාරිකාව පුරාම එන වාචික ප්‍රකාශ රාශියකි. මේ හැමෙකක් ම ජීවිතය හා සමාජය පිළිබඳ ස්වකීය පාර්ශ්වයේ සිට කෙරෙන නිර්වචන බවට ඔවුහු පත් කරති. කෙසේ නමුදු මේවා මුළුමනින්ම සිනමාකරු කුෂාන්ගේ අර්ථ දැක්වීම් ය යන්න නිවැරදි ය. මෙහිලා එන නිර්වචන ක්ෂේත්‍ර ගණනාවක් ම ආවරණයට සුදානම් වන අයුරු පෙනේ. විටෙක පවතින දේශපාලන වටාපිටාව ය.තවත් විටෙක ආගමික සංස්ථා ය. ගෙවුණු යුද සමය හා මෑත කාලීන ත්‍රස්ත ප්‍රහාරය . ක්‍රීඩාව ය. ලිංගිකත්වය හා ප්‍රේමය හැසිරෙන අන්දම ය. දෙමාපිය සිතුම් පැතුම් හා බලපෑම් ආදිය ය. සිනමාකරු කුෂාන් මෙසමයේ දරන මේ සියලු අදහස් මාලක හා සුසා මත පටවන්නේ ඒ බර දරා ගන්නට ඔවුන් සමත් වන්නේද යන ප්‍රශ්නය නො සලකමිනි. ප්‍රේක්ෂකයනට ඇස් ඉදිරිපිට දැකිය හැක්කේ මාලක හා සුසාවිනා සිනමාකරු කුෂාන් නොවේ. සිනමාකරු කුෂාන් දත හැක්කේ මාලක හා සුසා ඔස්සේ ය. මෙනිසා මාලක හා සුසා සිනමාකරුගේ මතවාදී බර දරා ගෙන පැමිණ ඒවා ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නේ ඊට ප්‍රේක්ෂකයා සූදානම් නොවන පසුබිමක ය. ඇතැම් නවක සිනමාකරුවකු මෙතැනට පැමිණෙන්නේ දෙවන හෝ තෙවන සිනමා අධ්‍යක්ෂණයක් කරා යාමේ හැකියාව අවිනිශ්චිත වීමද හේතුවක් කොට ගෙනයි. සියල්ලම තමාගේය යන්නද , ප්‍රේක්ෂකයා කිසිවක් නොදන්නා වගද යන ස්ථාවරය සිනමාකරුවාට ගෙන දෙන්නේ එසේ මෙසේ හානියක් නොවේ. රූප රචනයේ හා රිද්මයේ පිහිටාරක්ෂාව නො ලැබුවේ නම් කුෂාන්ට සිදුවන්නේද තරමක් දුරට හෝ උක්ත තත්ත්වයෙන් පීඩා විඳීන්නට ය.

කෙසේ වතුදු සිනමාපටයේ රිද්මයට බාධාවක් වන ජවනිකා දෙක තුනක්ද දැක ගත හැකිවේ. ඒ සුසාගේ පියා හා මව පෙනී සිටින ජවනිකායි. ඒවා ඉදිරිපත් කොට ඇති නොපැසුණු බව හා මාලක හා සුසාගේ චාරිකාව අතර සැලකිය යුතු පරතරයක් පවතී. එසේම සුසාගේ දෙමාපියන් මෙතැනට කැඳවන්නේ මන්දැයි යන්නද ප්‍රශ්නයකි.

‘සූස්ති’ ට ජවයක් සපයන කැමරා ශිල්පී චින්තක සෝමකීර්ති හා සංස්කරණ ශිල්පී චිමන්ත මහානාම නව්‍ය මුහුණුවරක ඇති ආකර්ෂණීය බව පිළිබඳ දරන ධනාත්මක ආකල්ප බැහැර නොකළ යුතුය. වරින් වර කැමරාව සියුම්ව චලනය කරන චින්තක, මාලක හා සුසාගේ පරාරෝපිත බව ඉගි කරන්නේ ප්‍රේක්ෂක හැගීම් ක්‍රමිකව ස්පර්ශ කරමිනි. වර්ණවත් බව තුළ රැඳුණු අදුරු ප්‍රදේශද හසුකර ගන්නට ඔහු නොවලහා උනන්දු වෙයි. දිවා සමය හා රාත්‍රී සමයද, වියළි - කටුක උතුර හා කඳු බෑවුම් සහිත උඩරටද ගෙන හැර පෑමේදී නොවෙනස් වන පිළිවෙතක රැදී සිටීමට ඔහු වෑයම් කරයි. සංස්කාරක චිමන්ත පිහිටන්නේ විවේකී ස්ථාවරයක ය. සිනමාපටය කෙසේ හෝ නිමා කිරීමේ චේතනාවක් ඔහු තුළ නොමැත.

‘සූස්ති’ ට ජවය සපයන තවත් තිදෙනෙකි. සංගීත අධ්‍යක්ෂ ආශා රාජපක්ෂ සහ ප්‍රධාන චරිත නිරූපණයට එන කලණ ගුණසේකර හා සමනලී ෆොන්සේකා ය. නාගරිකව හැදී වැදුණු උගත් තරුණ යුවළකගේ පරාරෝපිත බව ඔප් නංවන සුලු සංගීත ඛණ්ඩ කිහිපයක් ම ආශා සිනමාපටයට එක් කරන්නේ අවස්ථාවෝචිත බව කෙරෙහිද සැලකිලිමත් වෙමිනි. කලණ හා සමනලී , මාලක හා සුසාට සමීප චරිත මීට පෙරාතුවද නිරූපණය කළ වග සිහිපත් වේ. ඒවායේ දීද ඔවුහු විවෘත හා නිදහස් රංගන කාර්යයක් ප්‍රකාශයට පත් කළහ. මෙවරද එසේම ය. මේ එහි දිගුවක් නොවන බවද කිව යුත්තකි.

කුෂාන්, පරාරෝපිත වර්තමාන නාගරික තාරුණ්‍යය විෂය කර ගැනීමට වඩා නිර්භය ලෙස ඊට අදාළ අවස්ථා ප්‍රකාශ කරන්නට දක්වන කැමැත්ත නම් සිනමාපටය පුරාම දැක ගත හැකි ය. ‘සූස්ති’ යනු ජන ව්‍යවහාරයේ එන මත්ද්‍රව්‍ය භාවිතයක් හඳුන්වා දෙන පදයකි. මාලක හා සුසා සිනමාපටය පුරාවටම මත්ද්‍රව්‍ය භාවිතයට නො පැකිලෙයි. වරෙක නීත්‍යානුකුල මත්ද්‍රව්‍ය ය. තවත් වරෙක අනීතික මත්ද්‍රව්‍ය ආදිය ය. මොවුන’තර කායික සම්බන්ධතා තිබිණු වග ඔහු ඕනෑවට වඩා නො පවසයි. අවස්ථා ද්විත්වයකදී පමණි ඔවුනොවුන් සිප වැළඳ ගන්නේ. මේ පෙම්වතුන් නොවන බවද හැඟෙන වාර බොහෝ ය. සිනමාකරු කුෂාන් මෙතැනදී දක්වන නො පසුබට බව තවදුරටත් සංස්කරණය විය යුතුය. මන්ද යම් අත්වැරදීමකින් සිනමාපටය වෙළෙඳ ප්‍රචාරක දැන්වීමක් විය හැකි හෙයිනි.