භවයෙන් භවය ඉරණම ලුහුබඳිනා කම්ම

සැප්තැම්බර් 3, 2020

“කම්ම” නමින් සිනමාපටයක් නිර්මාණය කරමින් තවත් නවක අධ්‍යක්ෂවරයෙකු සිනමාවට පිවිස සිටියි. ඔහු නමින් දිනුක චතුරංග වේ. බෞද්ධ කතා තේමාවක් රැගත් මෙම සිනමාපටයේ තිර රචනයද දිනුකගේය.

ඔහු නිශ්චල ඡායාරූපකරණයේ යෙදුණ අයෙකි. ඒ ආභාසය ඔස්සේ දිනුකට සිනමාපටයක් තනන්නට සිත්විය. ඊට බෞද්ධ කතාවක් සුදුසු යැයි තීරණය කළේද ඔහුය. කතාව ගොඩනැඟෙන්නේ කුසල් නැමැති තරුණයකු වටාය.

ඔහු දිගින් දිගටම නොසිතූ විරූ කරදර වලට මුහුණපායි. මේ අපල උපද්‍රව නිමක් නැත. අවසන කුසල් ස්වාමින්වහන්සේ නමක් හමුවෙයි. උන්වහන්සේ පවසන පරිදි කුසල් පෙර භවයක ප්‍රාණඝාත අකුසලයක් සිදුකොට තිබේ. එම පව එළඹෙන භවයකද පළ දීමට නියමිත බැව් ද පැවසේ.

මේ හේතුවෙන් කුසල්ට අත්වන ඉරණම හා සබැඳී කතාවක් කම්ම තුළින් ගෙන එයි. මෙම සිනමාපටයේ රංගනයෙන් දායක වන සියලුම නළුනිළියන් නවකයෝය. එයද විශේෂත්වයකි. එමෙන්ම ක්‍රියාදාම පැත්තටද විශේෂ අවධානයක් යොමු කොට තිබේ.

මේ “කම්ම” අධක්ෂණය කළ දිනුක චතුරංග සමඟ කළ කතාබහකි.

කම්ම කරද්දි අධ්‍යක්ෂවරයකු ලෙසට ඔබ මුහුණ පෑ අභියෝග කවරේද?

චිත්‍රපටයම මට ලොකු අභියෝගයක් වුණා. මම ෆිල්ම් එක ඩිරෙක්ට් කළේ  චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමා එක කරද්දි. එකයි මේකයි බැලන්ස් කරගෙන කළා. කම්ම ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් පාර්ට් එකත් කළේ මම.

ඔහොම වැඩ කරගෙන යද්දි සල්ලි ප්‍රශ්න ආවා. ෂූටිං නැවතුණා. මම කළේ පොඩි ජොබ් එකක් හොයාගෙන සල්ලි එකතු කරගන්න එක. ඊට පස්සෙ තමයි ආයේ පටන් ගත්තේ.

ලොකේශන්වල වැඩ ඉවර වුණාම එඩිටින්ං ගැටළු ආවා. මම මගේ ෆෝන් එක විකුණලා එඩිටිං මැෂින් එකක් හැදුවා. ඒකෙන් තමා ෆිල්ම් එකේ වැඩ නිම කළේ. මේක ටීම් වර්ක් එකක්. නළුනිළියෝ රඟපාලා තමන්ගේ පාර්ට් එක කරලා ගෙදර ගියේ නැහැ. ෆිල්ම් එක ඉවර වෙනකම් මට සපෝර්ට් කළා.

චිත්‍රපටයේ දර්ශනතල ලෙස යොදාගත්තෙ කොහෙද?

කොළඹ, මිහින්තලේ, අනුරාධපුර ආදී ප්‍රදේශ තමයි.

මෙහි ප්‍රධාන චරිතය වන කුසල් ඇත්ත චරිතයක්ද?

නැහැ. සම්පූර්ණයෙන් මනඞකල්පිත චරිතයක්. මගෙ මනසේ තමයි කුසල් මැවුණේ.

චිත්‍රපටය බෞද්ධ කතා තේමාවක් තියෙන නිසා වෙසක් හෝ පොසොන් කාලේ තිරගත වුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

ඔව්. එහෙම හිතෙනවා. නමුත් දැන් තිබෙන තත්ත්වයත් එක්ක කොයි කාලෙ වුණත් ප්‍රශ්නයක් නැහැ. සිනමාවට තවම අලුත් ප්‍රේක්ෂකයෝ ඇවිත් නැහැ කියලයි මට හිතෙන්නේ.

ඔබගේ චිත්‍රපටය නරඹන්නට අලුත් සිනමාලෝලීන් ඒවිද?.

ඒ විශ්වාසය තියෙනවා. කම්ම කියන්නේ සාම්ප්‍රදායික බෞද්ධ තේමාවක් තිබෙන ෆිල්ම් එකක් නෙවේ. ඇක්ෂන් පැත්තකුත් තියෙනවා. අධ්‍යක්ෂවරයා වශයෙන් මට කියන්න තියෙන්නේ කම්ම හරියට දැනෙන්න කියන බණක් වගේ.

 

කම්ම සිනමාපටයේ නළුනිළියන්

ගයාන් රත්නායක, සහන් පුනර්ජීව, හසිත් ප්‍රභාත්, දිමුතු දේශප්‍රිය, සරත් කුමාර, ශලනි මධුශිකා, ඉරූශි බෙවින්දි, ශාලිත රත්නායක, නිසංසලා සඳරුවන්, එම්.එස්. ප්‍රේමවතී, චන්ද්‍රසේන දුනුවීර, සුභාශිනී චන්ද්‍රකාන්ති, චමල් රුවන් කුමාර

නිෂ්පාදන පිරිවර

කතාව දෙබස් තිර රචනය- දිනුක චතුරංග

නිෂ්පාදන කලමනාකරණය, අංගරචනය සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - ගයාන් රත්නායක.

ආලෝකකරණය - තිසර කාවින්ද බාලසූරිය

ශබ්ද පරිපාලනය - හසිත ප්‍රභාත්