මනි රත්නම්ගේ දැවැන්ත සිනමා නිර්මාණයට ඓශ්වර්යා ලංකාවට එයි

දින සියයක රූ ගැන්වීමක්
සැප්තැම්බර් 3, 2020

ඓයිශ්වර්යා රායි ප්‍රධාන චරිතය රඟන සම්මානනීය ඉන්දියානු සිනමාකරු මනි රත්නම් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන එරට සිනමා ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරන චිත්‍රපටයක රූගත කිරීම් ලබන ඔක්තෝබරයේදී ආරම්භ කිරීමට ගිවිසුම් පසුගියදා අත්සන් කෙරිණ.

ඒ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන මැඩ්‍්‍රාස් ටෝකීස් හා ශී‍්‍ර ලංකාවේ රේඛීය නිෂ්පාදක ප්‍රසන්න විතානගේ සමඟය. චිත්‍රපටය සඳහා අවශ්‍ය දැවැන්ත පසුතල රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේදී ඉදි කිරීමට සැලසුම් කෙරෙන්නේ සම්මානනීය කලා අධ්‍යක්ෂ එරල් කෙලී යටතේය. ඊට අමතරව දඹුල්ල ඇතුළු තවත් මෙරට සොඳුරුතම ස්ථාන රැසකදී මෙම සිනමාපටය රූගත වීමට  සූදානම් වෙයි.

පොන්නියෙන් සෙල්වන් නම් මෙම සිනමා කෘතියට පාදක  වනුයේ සුප්‍රකට ඉන්දියානු ලේඛකයකු වන කල්කි ක්‍රිෂ්ණමූර්ත් විසින් මෙරට චෝල අධිරාජ්‍ය සමය පාදක කර ගනිමින් ලියන ලද නවකතාවකි. මෙම චිත්‍රපටය ලයිකා නිෂ්පාදන සමාගම වෙනුවෙන් අල්ලිරාජා සුබාස්කරන් සහ මැඩ්ඩ්‍රාස් ටෝකීස් වෙනුවෙන් මනිරත්නම් හා සුභාෂිණී මනිරත්නම් නිෂ්පාදනය කරයි, ඓයිෂ්වර්යා මෙන්ම වික්‍රම්, කාර්ති, ජයම් රවි, ත්‍රීශා, වික්‍රම් ප්‍රභූ,    ඓයිෂ්වර්යා ලක්ෂ්මී සහ සෝභිතා බුලිපාලා, ප්‍රභූ ගනේෂන්, නිලංග රවි, ජයරූම්, ඒ අතර වේ. පොන්නියෙන් සෙල්වම් චිත්‍රපටයේ මුල් රූගත කිරීමේදී පස්වෙනි මිහිඳු රජු ලෙස රඟපෑවේ ශ්‍යාම් ප්‍රනාන්දුය. සිනමාපටයේ  තිර රචනය මනි රත්නම්ගෙනි.

මෙහි සංගීතය ඒ.ආර්.රහුමාන්ගෙනි. සංස්කරණය සරසවිය සම්මාන දිනූ ශි‍්‍රකර් ප්‍රසාද්ය. පැය හයකට ආසන්න සමීප ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය කොටස් දෙකකින් තිරගතවීමට නියමිතය.

ඉන්දීය නළු නිළියන් සමඟ මෙරටින් පන්සියයකට අධික නළු නිළියන් රංගනයෙන් දායකවීමට නියමිතය. පද්ම ශ්‍රී ඇතුළු සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ මනි රත්නම් නායකම්, මවුනරාගම්, රෝජා, බොම්බේ, දිල්සේ, තලපති, ගුරු, රාවනන්,  කාදල්, අංජලී, වෙක්ක විවන්ත වානම් අතුළු සුප්‍රකට සිනමාපට රැසක් නිර්මාණය කළේය. ඔහු ඉන්දීය විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවේ සිටින්නේ ඉහළම තැනකය. එබැවින් එවන් වූ නිර්මාණකරුවෙකු සිය දැවැන්ත සිනමාපටයක් මෙරට රූපගත කිරීම අප සිනමා කර්මාන්තයට ද මහඟු ආයෝජනයක් වනු ඇත.

2001 වසරේ සරසවිය සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා වූයේ මනි රත්නම්ය.