මෙට්‍රෝ, මේකලා, නයෝමි ඇතුළු සිනමාශාලා රැසක් වසා දමලා

දෙමළ චිත්‍රපට නැතුව තවත් සිනමාශාලා රැසක් අර්බුදයක
සැප්තැම්බර් 10, 2020

- අනුරාධ බී. රැකව

මෙරට ප්‍රමුඛ පෙළේ සිනමා ශාලා වන මෙට්‍රෝ නුගේගොඩ, මේකලා සහ නයෝමි ගම්පහ ඇතුළු සිනමා ශාලා රැසක් මේ වන විට සම්පූර්ණයෙන් වසා දමා ඇති බව චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව සරසවියට දන්වා සිටියි. ඒ කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසුවය. ඕඩියන් ගල්කිස්ස, චන්ද්‍රා අවිස්සාවේල්ල, ජයසේකර සූරියවැව, සත්සර අම්බලන්තොට, සමනල මැල්සිරිපුර, කල්‍යාණ හෙට්ටිපොළ, නිව් ධනසිරි වරකාපොල ආදී සිනමා ශාලා ද මේ වන විට සම්පූර්ණයෙන් වසා දමා තිබේ. කොළඹ නගර සීමාව තුළ පිහිටි එම්පර් ආකේඩ්,  සිනෙසිටි සිනමාහල්, ඊරෝස්, කැපිටොල්, කිංස්ලි, ලිබර්ටි ලයිට්, සැක්සන්, කොන්කෝර්ඩ් වැනි සිනමා ශාලා තාවකාලිකව වසා  දමා තිබෙන බව අනුරාධ වැඩිදුරටත් සඳහන් කොට සිටියි. එමෙන්ම හසලක හසලක, මිනර්වා කලුතර, රෝයල් මීගමුව, නෙල්සන් ත්‍රිකුණාමලය, වසන්ති වවුනියාව, ගාමිණී ඇහැලියගොඩ, හෂාන් අක්කරෙයිපත්තුව ආදී සිනමා ශාලා ද තාවකාලිකව අගුළුලා ඇත.

 දෙමළ සිනමාපට ගෙන්වා ප්‍රදර්ශනය කළ සිනමා ශාලාවන්ට ද වර්තමානයේ උදා වී ඇත්තේ අයහපත් කල දවසකි. රාජා යාපනය, ජී. කේ. කල්මුණේ, දිනුෂා නාවලපිටිය., සෙල්වන් ප්‍රිමියර් සහ අන්නෙයි සෙල්ටන් චෙන්කලාඩි, සුගන්ධි මඩකලපුව, සරු සරු පේදුරුතුඩුව, චිබෙට් කල්මුණේ, නාහම් චුන්කානම්, ලක්මාලි රාගල වැනි දමිළ සිනමාපට ප්‍රදර්ශනය කළ සිනමා ශාලා දමිළ චිත්‍රපට ආනයනය නොකිරීම හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති වග අනුරාධ තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියි.