දෙසොහොයුරන්ගේ රූකඩ පැංචි

සැප්තැම්බර් 10, 2020

රූකඩ පැංචි සිනමාශාලාවන්ට පැමිණෙන්නට සූදානමින් සිටියි. හරියටම මෙම මස සිව්වන සතියේ පමණය. ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලාවන් රූකඩ පැංචි වෙනුවෙන් වෙන්කොට තිබේ. එහි අධ්‍යක්ෂවරු දෙදෙනෙකි. තවත් අන්දමින් කිව්වොත් ඔවුන් සහෝදරයෝය. නමින් වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශය. මේ දෙදෙනා ප්‍රවීණ ගීපද රචක කුලරත්න ආරියවංශගේ පුතණුවන්ලාය. ඔවුහු මින් ප්‍රථම සිනමාපටයක් නිර්මාණය කළහ. එය ප්‍රේමය නම් වේ. රූකඩ පැංචි දෙසොහොයුරන්ගේ දෙවැනි සිනමාපටයයි. වින්දන ආරියවංශ රූකඩ පැංචි පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.

රූකඩ පැංචි කතාව ගොඩනැගෙන්නෙ කොහොමද?

අපි පුංචි කාලෙ රසවිඳපු සුරංගනා කතා ඕන තරම් තියනවා. ඒවා හරිම චමත්කාරජනකයි. ඒවායේ තිබෙන චරිතත් අපිට හොඳට මතකයිනේ. මේ කතාවත් පොඩි කාලේ ඉඳලා හිතේ මැවුණු රූපමය එකතුවක්. කතාව ආරම්භ වන්නේ කාර්නිවල් එකකින්. මේක දහ අටවැනි ශතවර්ෂයේ කාර්නිවල් එකක්. යුරෝපියානු සිස්ටම් එකට තමයි සෙට් එක ගොඩනැඟුවේ. ඒකාලේ යුරෝපය තුළ බහුලව කාර්නිවල් තිබුණා. මේ සෙට් එක ඇතුළේ චරිත තිබෙනවා. මායා කරුවන්, සුරංගනාවන්, ජෝකර්ලා, අභිරූපණ ශිල්පීන්, කුරුමිට්ටන්, බහුබූතයෝ, බොරු කකුල්කරුවෝ වගේ හඳුන්වාදෙන්න පුළුවන්. මේ කට්ටියට ලීඩර් කෙනෙක් ඉන්නවා. ඔහුගේ නම ලුවී.

ජැක්සන් ඇන්තනී?

ඔව්. මේ පිටපත ලියද්දිම මනසට මැවුණේ ජැක්සන් ඇන්තනී කියන අතිදක්ෂ රංගධරයාව. වෙනසක් වෙන්නෙම නැතුව ඔහුවම මේ නිර්මාණයට යොදාගන්න අපිට වාසනාව ලැබුණා.

දිගු කාලයක් හිතේ තිබුණු කතාව දෙවැනි තැනට වැටී 'ප්‍රේමය නම්' ඉස්සර වුණේ කොහොමද?

රූකඩ පැංචි කියන්නේ අති දැවැන්ත නිර්මාණයක්. අපි එයට අතගහන්න ප්‍රථම සිනමාව කෙරෙහි අත්දැකීම් ගන්න හිතුවා. ඒ වෙනුවෙන් තමයි අයියයි මමයි 'ප්‍රේමය නම්' චිත්‍රපටය තනන්නේ. අපි එමගින් සුවිශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගත්තා. ඒ ඔස්සේ තවත් සාර්ථකව අපිට දෙවැනි නිර්මාණය කරන්න පුළුවන් වුණා. අනික රූකඩ පැංචි සඳහා විෂුවල් සහ කලර්ස් ගැන වෙනමම හිතන්න වුණා. අපිට ඕන කළේ සිනමාශාලාවට එන ප්‍රේක්ෂකයන්ට තමන් කාර්නිවල් එකක ඉන්නවා වගේ හැඟීමක් ඇති කරන්න.

ඔබ මෙහි කාර්නිවල් පසුතලය තනන්නේ මුහුදු වෙරළක?

මම හිතන්නේ යුරෝපියානු සිනමාපටයකවත් වෙරළක මෙවන්වූ සෙට් එකක් නිර්මාණය කරලා නැතුව ඇති. නමුත් අපි ඒ අභියෝගය ජය ගත්තා. සමහර අවස්ථාවල නිෂ්පාදන කණ්ඩායමේ අය මුහුදු රැල්ලට තෙමෙනවා. සෙට් එකටත් රැල්ල වදිනවා. ඒත් ඒවා ප්‍රශ්න කරගත්තේ නැහැ.

නිළි රැජන මාලිනි ෆොන්සේකාගේ තෙවැනි පරම්පරාවේ දියණියක ඔබ රූකඩ පැංචි හරහා සිනමාවට හඳුන්වා දෙනවා?

ඇය කුෂේන්‍යා ෆොන්සේකා. මාලිනී මහත්මියගේ සහෝදර ආනන්ද ෆොන්සේකාගේ පුතාගේ දුව තමයි කුෂේන්‍යා. සමනලී ඇයට නැන්දා. කුෂේන්‍යා මෙහි රඟපාන්නේ ලෙහෙසි පහසු චරිතයක් නෙවේ. ඇය තොල් නොසොල්වා කතා කරනවා. රූකඩයක් සහ ඇය කතා කරන අවස්ථාවකදී තමයි එහෙම කරන්නේ. රූකඩයට හඬ කවන්නේ ඇය. රූකඩය කතා කරද්දි ප්‍රේක්ෂකයන්ට පේන්නේ කුෂේන්‍යා කට වහගෙන ඉන්නවා. ඒත් හඬ ඇගේ.

'රූකඩ පැංචි ' නළුනිළියන් ගැන සඳහන් කළොත්?

ජැක්සන් ඇන්තනී, දිල්හානි ඒකනායක ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, බන්දුල විජේවීර, දයාදේව එදිරිසිංහ, නිරෝෂන් විජේසිංහ, අපි හඳුන්වා දෙනවා කුෂේන්‍යා සමඟ ලක්ශිකා දේශාන්. මාලිනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, බන්දුල නානායක්කාරවසම්, ගරු රංගනයට එක් වෙනවා.