මනෝ නිළියක් කළ මිස් ජෙනිස්...

සැප්තැම්බර් 17, 2020

නළුවෙක් කියන්නේ ඕනෑම චරිතයකට පණ පොවන්න පුළුවන් කෙනෙකුට. තමන්ව අමතක කරලා ක්ෂණයෙන් වෙනත් කෙනෙකු බවට පත්වෙන්න හොඳ නළුවකුට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් නළුවෙක්ට ලැබෙන්නේ පිරිමි චරිත වුණත් ඉතා කලාතුරකින් කාන්තා චරිතත් හිමිවෙනවා. ඒවාට උදාහරණය ඕනෑ තරම් පෙන්වා දෙන්න පුළුවන්. එවන් වූ අවස්ථා වල එය විශේෂ පුවතක් බවට ද පත් වෙනවා. අපේ තවත් ප්‍රවීණ රංගධරයෙක් කාන්තාවකට ඇන්දා. ඒ සිනමාපටයක් වෙනුවෙන්. අභාග්‍යයකට චිත්‍රපටය තිරගත වුණාට පසුව ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳීන්න ඔහුට අවකාශය ලැබුණේ නැහැ. ඒ මේ විශිෂ්ටයා මෙම වසර ආරම්භයත් එක්ක අප අතරින් සදහටම සමුගත් නිසා. ඔහු තමයි ආචාර්ය ජයලත් මනෝරත්න. ඔහු කාන්තා වෙස්ගත් චිත්‍රපටය තමයි මිස් ජෙනිස්. එය සුසිරන් ද සිල්වාගේ අධ්‍යක්ෂණයක්. ඔහු කැපීපෙනුන ටෙලිනාට්‍ය රැසක් තැනූ අධ්‍යක්ෂවරයෙක්. මනෝකාය, එකට ගැටුම, ඉසුරු යෝගය, නිර්සත්වයෝ, ඉන් කිහිපයක්. මිස් ජෙනිස් තමයි සුසිරන්ගේ කුලුඳුල් සිනමා සිතුවම.

ලියෝන් කියන්නේ මැදිවියෙහි පසුවන තැනැත්තෙක්. ඔහු නොකළ සොරකමකට මැදි වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ නොසිතූ විරූ අන්දමින් ලියෝන්ට මඩ ගහනවා. ඔහුට තම සැබෑ වෙසින් සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා.  ආයතනයක රැකියාවක් පවා නොදෙන තත්ත්වයට පත් වෙනවා. තම දරු පවුල රැක ගැනීමේ අරමුණින් ලියෝන් තීරණය කරනවා වෙස් මාරු කරගෙන රස්සාවක් කරන්න. ඔහු කාන්තා වෙස් ගන්නේ එතැන් සිටයි.

ලියෝන්, ජෙනිස් බවට පත් වෙනවා. මේ වෙස් මාරුව නිසා ලියෝන් මුහුණපාන සිදුවීම් පෙළ තමයි මිස් ජෙනිස් සිනමාපටයෙන් දිගහැරෙන්නේ.

මෙහි තිර රචනය සුසිරන්ගේ.

මේ කතාව ඇසුරෙන් ඔබ ටෙලිනාට්‍යයක් නේද කරන්න හිටියේ?

ඔව්. පස්සේ මට හිතුණා මේ කතාව වඩාත් ගැළපෙන්නේ චිත්‍රපටයකට කියලා.

ආචාර්ය ජයලත් මනෝරත්නද ජෙනිස් වෙනුවෙන් හිතේ මැවුණේ?

එහෙම විශේෂ නළුවෙක්ව හිතේ තියාගෙන නෙවෙයි ලිව්වේ. සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත තමයි මනෝ අයියාව යෝජනා කළේ.

චිත්‍රපටය රූපගත කරද්දි වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නේ?

මනෝ අයියාව වෙස් ගැන්වූවාට පසුව දවසම ඔහු එහෙම හිටියා. ඉතින් අපේ සෙට් එකෙන් පරිබාහිර මිනිස්සු හරියට රැවටුණා ඇත්තම කාන්තාවක් කියලා. මෙහි මනෝ අයියා ගහ ගන්නා දර්ශනයක් තියෙනවා. අවට හිටපු අය පුදුම වුණා ඒ දර්ශනය රූපගත කරද්දි. සමහර මිනිස්සු පිළිගත්තෙම නැහැ මේ කාන්තාවකට ඇඳලා ඉන්නේ පිරිමි කෙනෙක් කියලා.

මනෝ අයියා චිත්‍රපටය බැලුවද?

අපි මේක චිත්‍රපට මණ්ඩලවලට පෙන්නුවා. එතකොට මනෝ අයියාටත් ආරාධනා කළා. ඔහු අසනීපයෙන් හිටියේ. නෝනත් එක්ක ඇවිත් මිස් ජෙනිස් නරඹලා හරියට සතුටු වුණා.

චිත්‍රපටය කවද ප්‍රදර්ශනය වන්නේ?

මේ මාසේ විසිපහ එනවා. ඒ වගේම කියන්න ඕනේ මිස් ජෙනිස් තමයි ආචාර්ය ජයලත් මනෝරත්නයන් ප්‍රධාන චරිතයක් කළ අන්තිම සිනමාපටය.