එල්. එම්. පුතු චතුර ගෙනෙන හතර වරන්

සැප්තැම්බර් 24, 2020

 

සිනමාලෝලි ඔබට එල්. එම්. පෙරේරා කියන නළුවා අමතක වෙන්න විදිහක් නැහැ. ඔහු රංගනයෙන් පමණක් නොව ගායනයෙන්ද ප්‍රේක්ෂකයන් පිනවූවා. එපමණක්ද නොව එල්. එම්. චිත්‍රපට අධ්‍යක්ෂණවරයෙකු ලෙසද සිනමා නිර්මාණ හතරක් බිහි කළා. හතර තම වාසනාවන්ත අංකය විදිහට සැලකූ එල්. එම්. එම සිනමාපටයන්ට නම තැබුවේ හතර වචනය භාවිත කරමින්. එකී සිනමාපට වනුයේ හතර වටේ, හතර කේන්දරේ, හතර පෙරළිය සහ හතර මහ නිධානයි. මෙවන්වූ හපන්කම් පෑ එල්. එම්.ගේ වැඩිමල් පුතු තමයි චතුර පෙරේරා. ඔහු ද පියා මෙන් සිනමාවට ළෙංගතු අයෙක්. නළුවෙක් ලෙස වඩාත් ජනප්‍රිය චතුර සිනමා අධ්‍යක්ෂණයටද පිවිසිලා. පියා මෙන්ම හතර වචනය භාවිත කරමින් හතර වරන් ලෙසයි ඔහු තම කුලුඳුල් සිනමාපටයට නම තබා ඇත්තේ. ලබන මස මුල සිට එය සිනමාශාලාවන්හී තිරගත වීමට නියමිතයි. හතර වරන් හාස්‍යෝත්පාදක සිනමාපටයක්.

 

චතුර, හතර වරන් ඇරැඹූ අන්දම මතක් කළොත්?

චිත්‍රපටයක් කරන්න මම ප්ලෑන් කර කර හිටියා. හැබැයි මේක නෙවෙයි. පුබුදු චතුරංග දාලා සීරියස් වැඩක් කරන්න හිටියේ. නමුත් මට ෂූටිං වලට පුබුදුගෙන් දින ගන්න බැරි වුණා. ඔහු එච්චරටම බිසී. ඉතින් මම ගෙදර ඇවිත් කල්පනා කර කර ඉන්නකොට තමයි මේ හතර වරන් කියන චිත්‍රපට කතාව ඔළුවට ආවේ. සීමිත දින කිහිපයක් ඉල්ලගෙන මම පුබුදුව කොහොමහරි ගත්තා මේ චිත්‍රපටයටත්.

මෙහි ප්‍රධාන චරිතය ඔබම රඟපානවා?

මම චිත්‍රපට නළුවෙක් විදිහට චිත්‍රපට දෙසීයකට ආසන්න සංඛ්‍යාවක රඟපාලා තියෙනවා. රඟපෑම වෙනුවෙන් නිරන්තරයෙන් ආරාධනාත් ලැබෙනවා. එහෙම ඔවුන් මාව වැඩවලට ගන්නේ මට ඩිමාන්ඩ් එකක් තියෙන නිසානේ. චතුර පෙරේරා කියන්නේ විකුණන්න පුළුවන් නළුවෙක් කියලා ඔවුන් දන්නවා. මගේ ඒ වටිනාකම මගේ චිත්‍රපටයකට ගන්න ඕන නිසා තමයි මම හතර වරන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ.

හතර වරන් කොයි ප්‍රේක්ෂකයන් වෙනුවෙන්ද?

මගේ පියා එල්. එම්. පෙරේරා චිත්‍රපට හැදුවේ සියලු ප්‍රේක්ෂකයෝ වෙනුවෙන්. ඔහු එක් ප්‍රේක්ෂක කණ්ඩායමක් සඳහා පමණක් චිත්‍රපට හැදුවේ නැහැ. මමත් එහෙමයි. පියා තරම් නැති වුණත් මම බලන් ඉන්න පුළුවන් චිත්‍රපටයක් හැදුවා. ඒක සියලුම ප්‍රේක්ෂකයන්ට විවෘතයි.

හතර වරන් හුදෙක්ම විනෝදාස්වාදය සඳහා පමණක්ද?

නැහැ. මේකේ හාස්‍ය වගේම උපහාසයත් තියෙනවා. ඒ වගේම මම යම් ආදර්ශයක් ඇතුවයි චිත්‍රපටය නිමා කරන්නේ. මේකෙ ඉන්න තරුණිය මිනිස්සු රවට රවට මුදල් ගරනවා. ඒත් අන්තිමේ ඇය නීතියේ රැහැනට කොටු වෙනවා. මොන වැරැද්ද කළත් අන්තිමේ හෘද සාක්ෂියට එකඟව දඬුවම් විඳීන්න සිද්ධ වෙනවාමයි.

හතර වරන් රූපගත කරද්දි ඔබ මතකයේ වඩාත් රැඳුන සිදුවීම මොකක්ද?

චිත්‍රපටයේ එක්තරා දර්ශනයක් තියෙනවා මම මියයන. ඒක වෙනුවෙන් බැනර් එකක් පවා ගැහැව්වා. මගේ පවුලේ අය තදින්ම විරුද්ධ වුණා ඔය සීන් එක ගන්නවට. මම පැහැදිලි කරලා දුන්නා මේක චිත්‍රපට දර්ශනයක් පමණයි කියලා. එදා පාංශු කුලෙත් දුන්නා. ගෙදර අය අඬ අඬ එතැනින් පිටත් වුණා බලාගෙන ඉන්න බැරිම තැන. ඔය සිද්ධිය කවදාවත් අමතක වෙන එකක් නැහැ මට.

චිත්‍රපටයේ නළු නිළියන් මතක් කළොත්?

පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, බන්දුල විජේවීර, ටෙඩී විද්‍යාලංකාර, තක්ෂිලා සෙව්වන්දි, රජිත හිරාන්, නන්දන හෙට්ටිආරච්චි, ඩී.බී. ගංගොඩතැන්න, සමදරා ආරියවංශ, දිල්කි මිහිරාජි, ප්‍රීති විජේසිංහ, අනිල් ජයසිංහ, රවීන්ද්‍ර ප්‍රදීප්, අසංග පෙරේරා සහ මම.

නිෂ්පාදන පිරිවර?

කතාව දෙබස් තිරරචනය මගේ. සම අධ්‍යක්ෂණය සුරේෂ් කුමාරසිංහ. කැමරාකරණය සජිත වීරප්පෙරුමගේ. අංග රචනය උභය දිසානයක. කලා අධ්‍යක්ෂණය රෝහිත කුමාර. නිෂ්පාදන කළමනාකරු අජිත් ප්‍රනාන්දු. සහාය අධ්‍යක්ෂණය සමීර මදුෂාන් සහ කුමාරි දිසානායකගේ. නැටුම් අධ්‍යක්ෂණය ලාල් දේවරත්න. සංගීත අධ්‍යක්ෂණය ජෝර්ජ් සේනානායක. සංස්කරණය තනුස්ක කහඳවල. නිෂ්පාදනය හිරු ෆැෂන් වෙනුවෙන් සුමන දීප්ති ගුණරත්න.

කවදද ප්‍රේක්ෂකයන්ට හතර වරන් දක්නට ලැබෙන්නේ?

ඔක්තෝබර් මුල සතියේ වගේ. එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාශාලාවල තමයි හතර වරන් ප්‍රදර්ශනය වෙන්නේ.