එක වගේ දෙන්නෙකුගේ ආදර කතාව...

සරසවියෙන් සොයාගත් පෙම්වතිය සමඟ
ඔක්තෝබර් 22, 2020

ආදරෙයි ජානු

 

මේකත් එක්තරා අන්දමක ආදර කතාවක්. එහි එකවගේ තරුණියන් දෙදෙනෙකු ඉන්නවා. එක්කෙනෙක් ජානු. ඇය බටහිර පන්නයට හැදුණු වැඩුණු කෙනෙක්. නාමලී තමයි අනෙක් කෙනා. ඇය ගැමි තරුණියක්. මේ අයවලුන්ගේ සුන්දර ආදරය ගැන කියවෙන සිනමා කතාවට නම තියලා තියෙන්නේ ආදරෙයි ජානු කියලා.

එරංග, මේ ඔබේ කීවැනි සිනමාපටයද?

දහ වැන්න තමයි මේක.

ඔබේ සිනමාපට හතරක් ප්‍රදර්ශනය වන්නත් තිබෙනවා නේද?

ඔව්. ඇතුවත් බෑ නැතුවත් බෑ, නෝනා හරිම වසයි, නිලූ මං ආදරෙයි සහ මේක, ආදරෙයි ජානු. මට මේ වෙලාවේ අමතර කාරණයක් කියන්න තියෙනවා..

ඔව් කියන්න?

කෙනකුට හිතෙන්න පුළුවන් චිත්‍රපට තුනකුත් තියාගෙන තවත් චිත්‍රපටයක් මම කළේ මොකද කියලා. මම නිර්මාණකරුවෙකු හැටියට මට ශක්තිය තියෙනවා නිර්මාණ ඉදිරිපත් කරන්න. මේ වෙලාවේ එය මා නොකර හිටියොත් මට කරගන්නාවූ හානියක්. චිත්‍රපට ප්‍රදර්ශනය නොවී පෝළිමේ තිබීම මගෙ වරදක් නෙවේ. ඒක අදාළ පරිපාලකයන්ගේ වැරැද්දක් හැටියටයි මම දකින්නේ. අවස්ථාව ලැබෙන පරිදි මම චිත්‍රපට හදනවා. නිර්මාණ කරන්න හැකියාව තියෙද්දි ඇයි මම නොකර ඉන්නේ.

අප ආදරෙයි ජානු ගැන කතා කළොත්?

මේක ලව් ස්ටෝරි එකක්. ආදරයම විතරක් නෙවේ චිත්‍රපටය තුළින් සමාජීය ප්‍රශ්න දෙකතුනකුත් කතා කරනවා. මේ චිත්‍රපටය වගේම මම මේකට කලින් නිර්මාණය කරපු නිලූ මං ආදරෙයි චිත්‍රපටයත් ආදර කතාවක්. සිනමා හෝල්වලට වැඩිපුරම එන්නේ තරුණ තරුණියෝනේ. එයාලා වෙනුවෙන් තමයි මේ චිත්‍රපට දෙකම හැදුවේ.

ඔබ තැනූ බොහෝ චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑවේ නවකයෝ?

ඔව්. බහුතරයක් නිර්මාණකරුවො ජනප්‍රිය ශානරයේ නළුනිළියන් ගත්තට මම ගොඩක් වෙලාවට ආසයි අලුත් කට්ටියත් එක්ක වැඩ කරන්න. ඒ වගේ බොහෝ පිරිසක් මම සිනමාවට හඳුන්වා දීලා තියෙනවා. ආදරෙයි ජානු චිත්‍රපටයෙත් එහෙමයි. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ මධුශානි වික්‍රමසිංහ. මේක ඇගේ දෙවැනි චිත්‍රපටය. ඔයාලගෙ සරසවිය පත්තරේ ගිය ආර්ටිකල් එකක් දැකලයි මම ඇයට අවස්ථාව දුන්නේ.

නවකයින් එක්ක වැඩකටයුතු කිරීම ලෙහෙසිද?

අනිවාර්යයෙන්ම. මම මෙතෙක් වැඩකරපු සියළුම නව පරපුරේ නළුනිළියන් හරිම වගකීමෙන් වැඩ කළේ. ඇතැම් අය ඉලක්කගතවයි තමන්ගේ ගමන යන්නේ. එහෙම පිරිසක් අපිට ඉන්නවා.

ආදරෙයි ජානු නළුනිළි පිරිස මතක් කළොත්?

විශ්ව කොඩිකාර, සනෝජා බිබිලේ, ගීතා කාන්ති ජයකොඩි, මානෙල් වානගුරු, මධුශානි වික්‍රමසිංහ,ඉසුරු සම්පත්, සරත් චන්ද්‍රසිරි, දිනූශා කෙලාට්, සුරංගි කොඩිතුවක්කු, දිල්කි මිහිරාජි, සැනට් දික්කුඹුර, අසංක මෙන්ඩිස්.

නිෂ්පාදන පිරිවර?

තිර රචනය මගෙ. නිෂ්පාදනය නිශාන්ත ගල්හේන, කැමරා අධ්‍යක්ෂණය දයා සූරියආරච්චි, සංස්කරණය අනූෂ සංජීව ජයවර්ධන, 5.1 ශබ්ද මිශ්‍රණය අනුරුද්ධ බස්නායක, කලා අධ්‍යක්ෂණය ප්‍රසාද් වීරප්පෙරුම, අංග රචනය මංජු ගුණවර්ධන, වර්ණ සංයෝජනය රන්දික විජේමාන්න, නිෂ්පාදන කළමනාකරණය රෝලන්ඩ් ද සිල්වා, සටන් අධ්‍යක්ෂණය සුමිත් මුදන්නායක, ගීත රචනය ඩිනලි රොශාන්ති සේනාරත්න, සංගීත අධ්‍යක්ෂණය ෆර්හාන් ශාන්, ගායනය සුරේශ් ගමගේ, අයෝමි පෙරේරා, ෆර්හාන් ශාන්, සහාය අධ්‍යක්ෂණය මහේශ් ඉන්දික ගලප්පත්ති, නිශ්චල ඡායාරූප නුවන් බුද්ධික ලියනවඩු.

ප්‍රසාද් සමරතුංග