පවුලේ සැමට... සඳ දඩයම

ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණයක්
ඔක්තෝබර් 29, 2020

රක්තා, සාරංගා, හරියනකොට ඔහොම තමයි, මැණික් මාලිගා වැනි සිනමාපට ඔබ මතකයේ රැඳී ඇති වගට කිසිදු සැකයක් නැත. අප සිනමාවේ ස්වර්ණමය යුගයේ තිරගතවූ ඒවා නිර්මාණය කළේ ගාමිණී හේවාවිතාරණ නැමැති අධ්‍යක්ෂවරයාය. ඔහුගේ නවතම සිනමාපටය සඳ දඩයම වේ. එම සිනමාපටයෙහි බොහෝ වැඩකටයුතු මේ වනවිට නිමව ඇති අතර නවක නළුනිළි කැලක්ද සිනමාපටය සමඟින් රිදී තිරයට හඳුන්වා දීමට සූදානමිනි.

දිගු කලකට පසු ඔබ සිනමාවට පිවිසෙන්නේ?

ඔව්. මගේ කතාව පාදක කරගනිමින් පුෂ්පකුමාර එල්ලාවල තිරරචනය කළ කතාවකින්.

සඳ දඩයම මොනවගේ කතාවක්ද?

නම අරන් බැලුවොත් මෙහෙමයි. සඳට උපමා කරන්නේ සමාන්‍යයෙන් කාන්තාවනේ. කන්තාවක් දඩයම් කරන්න ඉන්න පිරිසක් ගැනයි මේකෙන් කියවෙන්නේ. මේ තැනැත්තිය විවාහ කරගෙන තියෙන්නෙ මිටි පුද්ගලයෙක්. ඔහුගේ ඒ බිරිය ලස්සනයි. ඇය පසුපස එනවා පිරිමි හතරක්. නමුත් ඇය ඔවුනට යටත් නොවී තමගේ පවුල ආරක්ෂා කරගන්නවා.

සඳ දඩයම මොනවගේ ප්‍රේක්ෂක කණ්ඩායමකටද ඔබ හැදුවේ?

මේක පවුලේ කතාවක්. පවුලේ සැමට තමයි චිත්‍රපටය හැදුවේ.

සිනමාපට හැදුවට ලොකු කාලයක් ගතවේවි නේද ඒවා ප්‍රදර්ශනය වන්න?

ඒකනම් එහෙම තමා හැමදාම මෙහෙම තියෙන එකක් නැහැනේ. නිර්මාණ ටික කරගෙන තියාගෙන ඉඳලා වෙලාව ආව ගමන් ප්‍රදර්ශනය කරන්න තමයි බලාපොරොත්තු වන්නේ.

අනික මේවා පරණ වෙන කතා නෙවෙයි. කොයි කාලෙක එළියට ආවත් ප්‍රේක්ෂකයෝ නරඹාවි කියන විශ්වාසය තියෙනවා.

ඔබ ඇතුළු නිර්මාණකරුවන් රාශියකගේ සපැමිණීම සිදුවූ හැත්තෑව අසූව දශකය මතක් කළොත් කොහොමද?

කතා දෙකක් නැහැ. ඒ කාලේ තමයි වර්ණවත්ම යුගය. මටත් ශිල්පීන් රැසක් හසුරුවන්න ලැබුණා. ශිල්පීන් කියනවාට වඩා සිනමා තරු කිව්වොත් තමයි නිවැරිදි. අපටත් මොකක්දෝ වාසනාවක් තිබ්බා එහෙම කාලෙක සිනමාවට එන්න.

හැබැයි ඔබ කාලයක් සිනමාවෙන් ඉවත් වෙලා සිටියා නේද?

ඔවු. වසර කිහිපයක් එහෙම ඉවත් වෙලා හිටියා නමුත් දැන් මම හිතාගෙන ඉන්නවා දිගටම සිනමාවේ රැඳී සිටින්න ඒ වගේම දිගටම සිනමාව වෙනුවෙන් නිර්මාණ කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඊළඟ නිර්මාණය මොන වගේ එකක් වේවි ද?

ඒකත් පවුලේ කතාවක්.ඒ චිත්‍රපටියට මම සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ වෙන්නේ නවක නළු නිළියන් පිරිසක්. සඳ දඩයම වැඩ නිම වෙච්ච ගමන් ඒ චිත්‍රපටියේ වැඩ ආරම්භ කරනවා.ඒකෙ කතාවත් මගේ පුෂ්පකුමාර එල්ලාවල තමයි තිර රචනය කරන්නේ.

සඳ දඩයමේ නළු නිළි පිරිවර මතක් කළොත්?

නිල්මිණි තෙන්නකෝන්, විශාකා සිරිවර්ධන, ශිරාණි නුගේරා, සුමිත් මුදන්නායක, චමීර ලියනගේ,

කාවින්ද්‍යා දුල්ෂානි, එරන්ද ප්‍රසන්න, දුමිදු ද සිල්වා, රංජිත් දිසානායක චන්ද්‍රසිරි විදානගම, ධම්මිකා දමයන්ති මංගල මඩුගල්ල, ප්‍රියන්ත මන්සිළු, දේශප්‍රිය හෙට්ටිආරච්චි.

නිෂ්පාදන කණ්ඩායම?

නිෂ්පාදනය මංගල මඩුගල්ල, තිර රචනය පුෂ්පකුමාර එල්ලාවල, කැමරාකරණය චානක සේනාධීර, සටන් අධ්‍යක්ෂණය චන්ද්‍රසිරි විදානගම, පසුබිම් සංගීතය මහින්ද බණ්ඩාර, කලාඅධ්‍යක්ෂණය බන්දුල වීරසේකර, අංග රචනය ආසිරි චතුරංග, සහාය නිෂ්පාදනය ලලිත් ලොකු බණ්ඩාර සහ දේශප්‍රිය හෙට්ටිආරච්චි, ගීත රචනය බන්දුල ජයසිංහ, යාපා බණ්ඩාර සෙනවිරත්න, මංගලිකා දිසානායක.