රටවල් තුනක රූගත කළ සිංහල චිත්‍රපටය

පාස්පෝට්
නොවැම්බර් 5, 2020

"අපෝ මේ රටේ ඉඳලා වැඩක් නෑ, මනුස්සයෙක්ට හරි යන්නනම් රට යන්නම ඕනේ" කියලා හිතන තරුණ තරුණියෝ ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. හැබැයි එහෙම හිතාගෙන විදෙස් ගත වෙලා ජිවිතේ වරද්ද ගන්ත තරුණ තරුණියොත් අනන්තවත් අපි දැකලා තියෙනවා. සමහරු බලාපොරොත්තු විකුණන ජාවාරම්කරුවන්ට හසු වෙලා රට යන්න කියලා හිතාගෙන, තමන්ගේ මුළු සේසතම ඔවුනට පුදපු අය. එවැනි පුවත් අපිට අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙනවා. එවැනි වූ තේමාවක් පාදක කර ගනිමින් ඊට ඌණ පූර්ණ සපයමින් තවත් සිනමා කතාවක් නිර්මාණය වෙලා. පාස්පෝට් කියලයි ඒකට නම තියලා තියෙන්නෙ. ක්‍රිස් ඇන්තනී තමයි ඒ සිනමාපටයේ නිර්මාණකරු.

ක්‍රිස්,මේ ඔබගේ එකී වැනි සිනමා අධ්‍යක්ෂණය ද?

මේක මගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය. බාඳුරා කියලා මම තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒකත් තවම රිලීස් වුණේ නැහැ.

පාස්පෝට් සිනමාපටයේ තේමාව ඔබේ වචනයෙන්ම පැහැදිලි කළොත්?

මම මේ චිත්‍රපටයෙන් කියන්න උත්සාහ කරන්නෙ නැහැ විදෙස් ගතවීම හොඳයි හෝ නරකයි කියලා. තමන් නිශ්චිත අරමුණක ඉන්නවා නම් ලෝකෙ කොහෙ හිටියත් දියුණුව කරා ළඟා වෙන්න පුළුවන්. රට යනවා වුණත් එහෙමයි. එක් අරමුණකින් සහ නිසි ක්‍රමවේදයන්ට අනුව විදෙස්ගත වෙලා දියුණු වෙච්ච පුද්ගලයන් ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. පාස්පෝට් සිනමාපටය ගැන කතා කළොත්, මේකේ ඉන්නවා තරුණයෝ දෙන්නෙක්. එක්කෙනෙක් අමරෙ. අනෙක් කෙනා සමන්. ඔවුනට ඕනේ යුරෝපීය රටකට පැන ගන්න. තමන්ගෙ දියුණුව තියෙන්නෙ විදෙස් රටක කියලයි දෙන්නම හිතන්නේ. මුලදි මුලදි හොර ඒජන්සිකාරයන්ට දෙන්නා අහු වෙනවා. කොහොමහරි එක්තරා පුද්ගලයෙක් අමරෙ හා සමන්තා විදෙස් ගත කරන්න එකඟ වෙනවා.

මේ දෙන්නට ගුවන්තොටුපොළේදී මැණික් ජාවාරම්කාරයෙකුත් මුණ ගැහෙනවා. නීති විරෝධී වැඩ කරනටත් දෙන්නට සිද්ධ වෙනවා. ඉන් පසුව ඔවුන් විඳීන්නේ ජීවිතයේ මෙතෙක් නොවිඳී අත්දැකීම් රාශියක්. කොහොම හරි දෙන්නා රට පනිනවා. අන්තිමේ ඔවුන්ට ලංකාව මතක් වෙනවා. මේ වගේ රටක් ලෝකේ වෙන කොහේවත් නැහැ කියලත් හිතෙනවා. මං මේ චිත්‍රපටය හරහා කියන්ඩ උත්සාහ කරන්නෙත් අන්න ඒ පණිවුඩය. ලෝකෙ කොහෙවත් ලංකාව තරම් සුන්දර රටක් නැහැ.

ලංකාවට අමතරව, මොන වගේ රටවල්වලද පාස්පෝට් සිනමා පටයේ රූගත කිරීම් සිදු කෙරුණේ?

ඉන්දියාවේ රාජස්ථාන්වල ෂූට් කළා. ඉතාලිය සහ ඔස්ට්‍රියාව වගේ රටවලත් අපි රූගත කිරීම් කළා.

වෙනත් රටවල රූගතකිරීම් අතරතුර මොනවගේ අත්දැකීම් ටිකක්ද නිර්මාණකරුවෙකු හැටියට ඔබ ලැබුවේ?

ඉන්දියාව, ඔස්ට්‍රියාව, ඉතාලිය වගේ රටවල රූපගත කිරීම් කරන්න අවසර ලබාගන්න හරිම අමාරුයි. ඉන්දියාවේ රාජස්ථාන් තියෙන්නේ පාකිස්තාන බෝඩරේ ළඟ. අපිට අඩු ම තරමින් ඩ්‍රෝන කැමරාවක්වත් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. ඒ හරියේ හමුදාවේ එහෙම යූනියන් රාශියක් තියෙනවා. ඒ සංගම් නිතරම ඇහැ ගහගෙන ඉන්නවා අපි කරන්නේ මොනවද කියලා. අපි දිහාත් බලාගෙන හිටියේ සැකයෙන් වගේ. අපි ඉතාලියේ පීසා කුලුන ගාවත් ෂූට් කළා. එතනත් රූපගත කිරීම් කරන්න අවසර ගන්න හරිම අමාරුයි. අපේ සබඳතා භාවිත කරමින් අවසර ලබා ගත්තා. අපි හැමෝම වෙහෙස මහන්සි වුණා ඒ වගේ තැන්වල ෂූට් කරද්දි. එක පාරක් මට මතකයි රාජස්ථාන්වල කාන්තාරය අපි ෂූට් කළා අධික රස්නෙ මැද. ඒ දර්ශනයේදි අමරෙට රඟපාන ජගත් චමිල සෙරෙප්පු දෙකක්වත් දාගෙන නෙවෙයි හිටියේ. ගිනි ගහන කාන්තාරේ කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි පමණක් ඇඳගෙන චිත්‍රපටයට ඕන විදිහට ඔහු රඟපෑවා. මුහුද මැද රූගත කිරීම් කරද්දි බෝට්ටුවල පැද්දිල්ලට හැමෝටම වමනෙ ගියා. පුදුමාකාර විදිහට වෙහෙසක් ගත්තා පාස්පෝට් චිත්‍රපටය රූගත කිරීම් කරද්දි. ඒ වගේම මේ චිත්‍රපටියේ එක එක ජනවර්ගවල පුද්ගලයන් රඟපානවා. ත්‍රස්ත

වාදී කණ්ඩායමක් හැටියට අපි කළු ජාතිකයන් කිහිපදෙනෙකුවද මේ සඳහා යොදා ගත්තා. ඔවුන්ව හැසිරවීම ද මා ජීවිතයේ ලබපු තවත් සොඳුරු අත්දැකීමක්. මොකද ඒ එක්කෙනෙකුටවත් සිංහල කතා කරන්න බැහැ.

නිර්මාණකරුවෙකු විදිහට ඔබට ලොකු පාඩුවක් නේද ඔබ තැනූ චිත්‍රපට දෙකම තවම ප්‍රදර්ශනය නොවීම?

ඒක නම් එහෙම තමයි. බාඳුරා චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නට දින දීලත් තිබුණේ. නමුත් මේ වසංගත තත්ත්වයත් එක්ක කල් ගියා. නිර්මාණකරුවෝ විදිහට අපි හදපු චිත්‍රපට එළියට ආවා නම් තමයි අපිත් එළියට එන්නේ.

පාස්පෝට් සිනමාපටයේ නළු නිළියන් පිරිවර මතක් කළොත්?

මහේන්ද්‍ර පෙරේරා, ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, දර්ශන් ධරමරාජ්, නයනතාරා වික්‍රමාරච්චි, මල්කාන්ති ජයසිංහ, රොෂාන් පිලපිටිය, ප්‍රියන්ත සෙනවිරත්න, අතුල ජයසිංහ.

පාස්පෝට් සිනමාපටය සාර්ථක කරගන්න තිරය පිටුපස සිට වෙහෙසවූ කණ්ඩායමත් මතක් කරමු?

කැමරාකරණය විශ්වජිත් කරුණාරත්න, සහය අධ්‍යක්ෂණය නිරෝෂන්, සංස්කරණය ශාන් අල්විස්, අරුණ ඩයස් කලා අධ්‍යක්ෂවරයා. ඩෙන්සිල් සේනාධීර සංගීතවත් කළා චිත්‍රපටය, ඇඳුම් පැලඳුම් සැකසුවේ සවන් පතිරණ, අංග රචනය රුචිර සංජීව, ලලිතා රාජපක්ෂ සහ ප්‍රසාද් ඇන්තනී නිෂ්පාදන කළමනාකාරවරුන්, කතාව දෙබස් තිර රචනය මගේ. පසු නිෂ්පාදන කටයුතු ඩිල් ෆිල්ම්ස්, පාස්පෝට් චිත්‍රපටයේ නිෂ්පාදනය වෛද්‍ය චන්දික විරාජිත් තාබුගල.

පී.විනෝදරන්