සිනමා කර්මාන්තය අඩපණ වද්දී සෝමරත්න දිසානායක සිංහබාහු අරඹයි

සුප්පාදේවියට අලුත් නිළියක් ඕනෑ
නොවැම්බර් 19, 2020

ජැක්සන්, සජිත, අඛිල, යශෝධා චරිත මවති

නව නිෂ්පාදකයෙක් සිනමාවට...

කොරෝනා වසංගතයට බියේ සැඟවී නොසිට නව සිනමා නිර්මාණයක් රූගත කරන්නට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක ලැහැස්ති වෙමින් සිටිනවා. අපි ඔහුගෙන්ම විමසමු ඒ පිළිබඳ තතු...

 

මොකක්ද මේ කොරෝනා සමයේ කරන්න යනවාය කියන චිත්‍රපටය?

ඇත්තෙන්ම මේක මම ගිය අවුරුද්දේ කරන්න හිතාගෙන හිටිය කතාවක්. පර්යේෂණයකින් ලියපු පිටපතක්. සුනාමි චිත්‍රපටය ප්‍රමාද වුණු නිසා මේ වසරේ අප්‍රේල් දක්වා ප්‍රමාද කළා. ඒ්ත් කොරෝනා වසංගතය නිසා අගෝස්තුවලට කල්ගිහින් අන්තිමට මේ අවුරුද්දේ නොකෙරෙන ගාණටම ගියා. ඉතින් මම කල්පනා කළා මේ විදිහට දිගටම කල් දාන්නත් බැහැනේ... හැබැයි කොරෝනා වෛරසය ඉවර වුණ දවසක පටන් ගන්නවා කියලා ඉන්නත් බැහැ. ඒ නිසා කොරෝනා සමඟ ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි දැන් ඩෙංගු, පැපොල වගේ ඕනෑ තරම් වෛරස් රෝගවලින් පරිස්සම් වෙලා ජීවත් වෙනවානේ. ඒ වගේ කොරෝනා උවදුර ගැනත් දැනුම්වත් වෙලා පරෙස්සමින් කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙම නොවුණොත් රටක් විතරක් නෙවෙයි, ලෝකයම පවතින්නෙ නැහැ. ඒ නිසා මේ කරන වැඩේ හරි. කොරෝනාවේ භයානකකම හඳුනාගෙන සාමාන්‍ය කටයුතු කරගෙන යන්න ඕනෙ. සිනමාකරුවන් හැටියට අපිත් සිනමා කටයුතු ඒ ආකාරයෙන් කරගෙන යන්න ඕනෙ. ඇඳීරි නීතිය වගේ දරුණු තත්ත්වයක් ඇති නොවුණොත් චිත්‍රපටයේ කටයුතු ආරම්භ කරනවා. චිත්‍රපටයේ නම සිංහබාහු.

 

සිංහබාහු චිත්‍රපටයකට?

ඔව්. අපේ ජනප්‍රවාදයේ පවතින සිංහබාහු කතාවට මගේ අර්ථකථනය. ජනප්‍රවාදය කියන්නේ ඇත්තක් හෝ ඉතිහාසයේ සත්‍ය වශයෙන් සිදු වුණු දෙයක් නෙවෙයිනේ. කාගේ හරි ප්‍රබන්ධයක්නේ. ජනප්‍රවාදය වන්නේ කැලේ හිටිය සිංහයෙක් රාජ කුමාරියක් අරන් ගිහිල්ලා, ඒ දෙන්නට දාව ඇතිවුණු දරුවන්ගේ දරුවන්ගෙන් පවතින ජාතියක් ලෙසනේ සිංහල ජාතිය පවතින බව කියන්නේ. මේ කතාවේ මූලික වැරැදි තිබෙනවා නිවැරැදි කළ යුතු. කාගේ හෝ ප්‍රබන්ධයක් ඒ විදිහට කීවාට එහෙම නම් සිංහල ජාතිය පවතින්නේ තිරිසන් සතෙකුගෙන්. ඒක එක වැරැද්දක්. අනෙක ඒ දෙන්නාගේ දරුවන් දෙන්නා සිංහබාහු සහ සිංහ සීවලී විවාහ වෙලා ලැබෙන දරුවන්ගෙන් තමයි සිංහල පරපුර එන්නේ විජය රජුගේ සිට. ඒකත් අපහාසයක්. ඒ වගේ සහෝදරයකු සහ සහෝදරියක අතරේ සිදු වුණු විවාහයකින් පවතින ජාතියක් වීම කියන්නෙත් සදාචාර සම්පන්න කතාවක් නෙවෙයි. හැබැයි මේවා ඇත්ත නෙවෙයි ප්‍රබන්ධ. ඒ නිසා අපටත් අයිතියක් තිබෙනවා එයට වෙනම අර්ථකථනයක් දෙන්න. ඒ නිසා සිංහබාහු චිත්‍රපටයේ මම අදහස් කරන්නේ සිංහයා කියන්නේ සිවුපාවෙක් නෙවෙයි කැලේ හිටිය රජෙක්. ඒ රජු සුප්පාදේවි නම් රාජ කුමාරිකාව සමඟ කැලේ ජීවත් වෙනවා. ඔවුන්ට ලැබෙන දරුවා සිංහබාහු. සිංහ සීවලී කියන්නේ සිංහබාහුගේ සහෝදරිය නෙවෙයි. එහෙමයි මම අර්ථකථනය කරන්නේ. හැබැයි ඒ කතාවේ තිබෙන සංවේදීබව, මානව දයාව, පීතෘ සෙනෙහස මම ගන්නවා.

 

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකය මේ සඳහා යම් බලපෑමක් කළාද?

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යය කර තිබෙන්නෙත් ජනප්‍රවාදය ආශ්‍රිතව. ඔහු එයට දී තිබෙන නාටකීය ස්වභාවය නිසා එය කමක් නැහැ. අනෙක ඒ නාට්‍යයෙත් සිංහයා කියන්නේ සතෙක්නේ... ඒත් මගේ කතාව වෙනස්. ඇතැම් විට මතභේදයට ලක්වෙයි. කමක් නෑ. හැබැයි ඉතිහාසය වෙනස් කිරීමක් නෙවෙයිනේ... කාගේ හෝ ප්‍රබන්ධයකට නව අර්ථකථනයක් දීමනේ කෙරෙන්නේ...ඒකට මට අයිතියක් තිබෙනවා කියා හිතනවා. අනෙක මේ දේවල් ගැන මම හෙව්වා, ගවේෂණය කළා, ඊට පස්සේ තමයි පිටපත ලීවේ. ඒ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒ නිසා දැන් මෙය ප්‍රමාද කරන්නත් බැහැ.

 

දර්ශන තල එහෙමත් සොයාගෙනද?

ලොකේෂන් කීපයක් තීරණය කරලා තිබෙනවා. මට වනාන්තර ඕනෙ නිසා, බලංගොඩ පැත්තේ, පොළොන්නරුව, අනුරාධපුර පැතිවල බැලූ ඒවායින් වඩා සුදුසු එක මේ සතියේ තීරණය කරනවා. ගඟක් ඕනෙ වෙලා තිබෙනවා. බොහෝ වෙලාවට මහවැලි හෝ කැලණි ගඟ ආශ්‍රිතව වෙයි.

 

'ගල්ලෙන බිඳලා' වගේ කියන්න හොඳ ස්ථානයකුත් ලැබුණාද?

සරච්චන්ද්‍රයන් කීවා වගේ 'ගල් ලෙන බිඳලා' කියන්න යන්නේ නෑ මම..(සිනාසී) හැබැයි ඊට වෙනස් ශෛලියකින් මේ කතාවේ දෙබස්වලට මම සාමාන්‍ය දෙබස්වලට වඩා වෙනස් උච්චාරණයක් හා කාව්‍යමය ස්වරූපයක් දෙනවා. එය ලංකාවේ චිත්‍රපටවල මීට පෙර නොකළ අත්හදාබැලීමක්. ගායනාම නොවුණට කවි වගේ ගතියක්, මාත්‍රා ගැළපෙන වාක්‍ය මඟින් තාලෙට කතා කිරීම් ආදිය තිබෙනවා. ගායනා වෙනමත් තිබෙනවා. එය සාහිත්‍යමය වශයෙනුත් වටිනාකමක් ඇති දෙයක් කියල හිතෙනවා. වනාන්තරයේ මේ අය ඉන්න ගල් ලෙනක් මම වෙනම හිතලා තියෙන්නේ. මෙය බුදුන්ගේ සමය ලෙසයි ඉතිහාස කතාව කියන්නේ. මම ගන්නෙත් දඹදිව මගධ හා වංග දේශ අතර පරිසරයමයි. අපට දර්ශනතල කීපයකට යන්න වෙයි. ජනවාරි අග පෙබරවාරි මාර්තු වගේ කාලය තුළ රූපගත කිරීම් කරන්න සැලසුම් කරලයි තිබෙන්නෙ.

 

නළුවරණයත් කළාද?

ප්‍රධාන චරිත කීපයක් හිතාගෙන ඉන්නේ. සිංහයාගේ චරිතය මම හඳුන්වන්නේ වනාන්තරයේ රජු 'සිංහ' කියලා. ඒකට තෝරගත්තේ ජැක්සන් ඇන්තනි. මට හිතෙනවා ඔහු එය ඉතාම හොඳීන් කරයි කියලා. සිංහබාහු ලෙස ගන්නේ මමම සූරිය අරණින් හඳුන්වා දුන් 'කොල්ලා' සජිත අනුත්තර. ඒ වගේම අඛිල ධනුද්ධර කියන ජැක්සන් පවුලේ තිදෙනාම චරිත සඳහා තෝරාගෙන තිබෙනවා. යශෝධා විමලධර්ම සුප්පා දේවියගේ වැඩිහිටි කාලයට යොදාගන්න බලාපොරොත්තු වෙනවා. මම තාම හොයනවා යශෝධාගේ හැඩරුව තිබෙන වයස 16ක පමණ නිළියක් සුප්පාදේවියගේ තරුණ කාලයට. ඒ සඳහා මම දන්න අයටත් කතා කරනවා. හැකියාව තිබෙන තරුණ අය ඉන්නවා නම් මට කතා කරන්න කියලත් මේ වෙලාවේ කියන්න කැමතියි. සිංහ සීවලිත් තාම තීරණය කරලා නැහැ. ඔවුන් තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් තියනවා. කැමැති අයට ඉදිරිපත් වන්න පුළුවන්.

 

මේ චිත්‍රපටයට තරුණ නිෂ්පාදකවරයෙක් ඉදිරිපත් වුණා කියලයි ආරංචිය?

ඔව්. මෙතෙක් මගේ සියලුම චිත්‍රපට කරලා තිබෙන්නේ අපේ සමාගමකින්. රේණුකා බාලසූරිය නිෂ්පාදන ලෙස. ඒත් මේ චිත්‍රපටය අපි පවුලෙන් එළියට ගිහින් අලුත් නිෂ්පාදකවරයකු සමඟ කරන්න තීරණය කළා. ඒකට ප්‍රධාන හේතුව අපේ සිනමා කර්මාන්තයට අලුතින් නිෂ්පාදකයන් පැමිණීමේ අඩුවක් තිබෙන කාලයක් මෙය. මුදල් ආයෝජනය කරන්න යම් අවිශ්වාසයක්, කුතුහලයක් තිබෙන කාලයක් මෙය. ඒත් මට විශ්වාසයක් තිබෙනවා මේ චිත්‍රපටය මගේම වාර්තා බිඳගෙන අලුත් වාර්තා තැබිය හැකි එකක් වෙයි කියලා. එයින් මට මූල්‍යමය වශයෙන් වාසියකුත් වෙන්න තිබුණා අපේම නිෂ්පාදනයක් වුණා නම්. ඒත් මට ලැබෙන වාසියට වඩා සිනමාව පිළිබඳ උනන්දුවක් තිබෙන කෙනෙක් හඳුන්වා දීමට ලැබීම ගැන සතුටුයි. ඔහු සහන් අකලංක.

 

මේ වගේ මොහොතක එවැනි අභියෝගයක් ගන්න ඔහු කැමැති වුණාද?

ඇත්තටම අප නිෂ්පාදකයන් සිනමාවට ගෙන්වා ගන්න ඕනේ ඔවුන් වැය කරන මුදලට සාධාරණ ආදායමක්, ලාභයක් අරන් දෙන්න. අපට දිගටම වුණේ පිරිසුදු හිතින් සිනමාවට එක්වන ව්‍යාපාරිකයන් දෙවැනි චිත්‍රපටයක් හදනවා තියා චිත්‍රපට බලන්නේවත් නැති ගාණට අතහරින ආකාරයට නිර්මාණකරුවන්ගේ දුර්වල හැසිරීම. ඒත් මම හිතනවා සහන් අකලංකට එවැන්නක් නොවෙයි කියලා. අනෙක ඔහු හිතන්නෙත් මම වගේමයි. ඔහු ව්‍යාපාරිකයකු නිසා දන්නවා ගෙවල්වලට වෙලා දොර ජනෙල් වහගෙන හිටියොත් මේ ලෝකය පවතින්නේ නැහැ කියලා. එහෙම ඉන්න පුළුවන් සතියක් දෙකක් නම්. අවුරුදු ගණන් ඉන්න බෑනේ. ඒ නිසා කලාකරුවන් විතරක් නෙවෙයි, වෙනත් සියලු ක්ෂේත්‍ර වැඩ කරන්නයි ඕනේ. රජයෙන් ලබාදෙන සෞඛ්‍ය ආරක්ෂක උපදෙස්, නීති රීතිවලට ගරු කරලා ඒවා පිළිපැදලා තමන්ගේ වගේම අනුන්ගේ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරගෙන යන්න ඕනෙ කියන මතයේ ඔහු ඉන්නවා. ඒ වගේම මගේ හොඳ රසිකයෙක්, හොඳ වින්දන ශක්තියක් තිබෙන සිනමා ලෝලියෙක්.

 

මේ චිත්‍රපටයට දළ වශයෙන් කොපමණ පිරිවැයක් දරන්න සිතා සිටිනවාද?

(සිනාසී) මම මුලින් සිතාගෙන සිටි, සිහින මැවූ ආකාරයට නම් දැවැන්ත පිරිවැයක් දරන්න වෙනවා. මොකද ඓතිහාසික පසුබිමක් නිසා ඒ දර්ශනතල හදන්න ඕනේ, වනාන්තරය ගල්ගුහා අපට අවශ්‍ය විදිහට සකසන්න, කලා අධ්‍යක්ෂණ කටයුතු ආදියට විශාල පිරිවැයක් දරන්න වන නිසා. අපි වැඩිම වියදමක් දැරුවේ සුනාමි චිත්‍රපටයට. ඒ හා සමාන මුදලක් මුලින් හිතුවේ. එහි පිරිවැය මිලියන එකසිය හතළිහක්. එවැනි වියදමක් දරලා ලංකාවේ අමාරුයි පවතින තත්ත්වය අනුව ආදායම් ලබන්න. ඒ නිසා අපි එකතු වෙලා කතාබහ කළාම, චිත්‍රපටයටත් අසාධාරණයක් නොවන පරිදි වියදම අඩු කරගෙන කරන්න හිතාගෙන ඉන්නවා. තාම හරියට කියන්න බැහැ. සාමාන්‍යයෙන් මගේ චිත්‍රපටවල පිරිවැය මිලියන හැට හැත්තෑව ඉක්මවනවා. ඒ වගේම මට විශ්වාසයි මේ චිත්‍රපටය ඒ වගේ දෙගුණ තෙගුණ වශයෙන් ආදායම් ලබයි කියලා.

 

මේ නිර්මාණයෙත් සුනාමි චිත්‍රපටයේ වගේ දෘශ්‍ය ප්‍රයෝග තිබෙනවාද?

මට ගංවතුරක් අවශ්‍යයි. හැබැයි මම එය දෘශ්‍ය ප්‍රයෝගවලින් කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා නියං කාලය සහ සැබෑ ගංවතුර කාලය ගන්න හිතාගෙන ඉන්නවා. මොකද මේ චිත්‍රපටයේ එක් දර්ශනයක් තිබෙනවා නියං කාලයේ ගඟෙන් එගොඩවන දරුවන් දෙදෙනා ගංවතුර නිසා අතරමං වෙනවා. ඒ නිසා නියමිත කාලයේ ගං වතුර ආවෙ නැත්නම් ගංවතුරක් එනතුරු හෝ මම ඒ දර්ශනය පමණක් හරි ඉතිරි කරගෙන ඉන්නවා. අවසානයේ හෝ චිත්‍රපටයට එකතු කරගන්න.

 

ඒ කියන්නේ දෘශ්‍ය ප්‍රයෝග ගැන විශ්වාසයක් නැද්ද?

වීඑෆ්එක්ස් ගැන අවිශ්වාසයක් නෙවෙයි. ඒත් සමහර දේවල් ස්වාභාවික මට්ටමටම ගන්න ගියාම එයට ලොකු වියදමක් දරන්න වෙනවා. සුනාමි චිත්‍රපටයේත් ලොකුම වියදම තමයි සුනාමිය ඇතිවන ආකාරය. එයට සාධාරණයක් කෙරුණ නිසා මට ඒ ගැන කනගාටුවක් නැහැ. මේ චිත්‍රපටයෙත් ස්වභාවිකව ගන්න බැරිම වුණොත් දෘශ්‍ය ප්‍රයෝගවලට යනවා. එවිට අපට පිරිමසාගෙන කරන්න බැරි වෙයි. අර වියදම් කපාහැරීමේ උපක්‍රම ලෙස තමයි ගංවතුරකම ගන්න හිතුවේ.

 

පවුලේ නිෂ්පාදන ආයතනයෙන් නොවුණට රේණු අක්කා (රේණුකා බාලසූරිය) නිෂ්පාදන කටයුතුවලින් ඉවත් වන්නේ නෑ නේද?

අපෝ නෑ. නෑ. එහෙම කරලා අපි කන්නේ බොන්නෙ කොහොමද? (සිනාසෙයි) රේණු අනිවාර්යයෙන් ටීම් එකේ ඉන්නවා. (බරපතළ අයුරින්) නිෂ්පාදන සැලසුම් කියන තනතුර තමයි චිත්‍රපටයක බොහොම වැදගත්. කණ්ඩායමේ නවාතැන්, කෑම බීම, වාහන, ගෙවීම්, රූගත කිරීමේ දින නිර්ණය කිරීම් (ෂෙඩ්‍යුලිං) මුදල් පරිහරණය බොහොම පරිස්සමෙන් කළ යුතුයි. විශේෂයෙන්ම අනුන්ගේ සල්ලි වියදම් කරද්දි වඩාත් ප්‍රවේශම් විය යුතුයි. විනිවිදභාවයකින් යුතුව නිසි ගිණුම් තියාගෙන, නාස්ති නොකර කළ යුතුයි. මොකද නිෂ්පාදකයෙක් ලැබුණු තරමට සල්ලි දෙන තරමට වියදම් කරන එක නෙවෙයි යුතුකම. අඩු වැයකින් හොඳ නිර්මාණයක් කිරීම. අපේ ක්ෂේත්‍රයේ සිදුවුණු වැරැද්දත් එහෙම නොකිරීමෙන් නිෂ්පාදකයන් සූරා කෑම. එසේ නොකිරීමේ පූර්වාදර්ශයත් අප මේ චිත්‍රපටයෙන් ලබා දෙනවා. එයට රේණුට හොඳ පළපුරුද්දක් තිබෙනවා.

 

කොරෝනාව සමස්ත සිනමාවට බලපෑව ආකාරය ගැන මොකද හිතෙන්නේ?

කොරෝනා වසංගතය නිසා සිනමාව විනාශ වෙනවා කියන කතන්දරය බොරු. සිනමාව දිගටම පවතිනවා. සමහර විට ප්‍රදර්ශනය කරන තාක්ෂණය වෙනස් වෙන්න පුළුවන්. සිනමා ශාලා සංස්කෘතිය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. පරණ තාලෙ සිනමා ශාලාවල චිත්‍රපට පෙන්වන්න ලැබෙන එකක් නෑ ඉදිරියට. මොකද ඊට වඩා පහසු ක්‍රමයට චිත්‍රපට ගෙදර ඉඳන් බලන්න මිනිස්සුන්ට හැකියාව තිබෙනවා දැන්. ඒ නිසා මම කියන්නේ චිත්‍රපට හදන අධ්‍යක්ෂවරුන්ට, තිර රචකයන්ට, නිෂ්පාදනය කරන අයට, බය නැතිව චිත්‍රපට හදන්න. ලෝකේ රසිකයන් අඩු වන්නේ නැහැ. හැබැයි සිනමා ශාලා හිමියන්ට තර්ජනයක් තිබෙනවා. එයින් ගැළවෙන්න නම් ඔවුන් සිනමා ශාලා නවීකරණය කරන්න ඕනේ. නව තාක්ෂණය අත්පත් කරගන්න ඕනෙ. ගෙදර ඉඳන් බලනවාට වඩා වැඩි රසවින්දනයක් ප්‍රේක්ෂකයාට ලබා දෙන ක්‍රමය සොයා ගන්න ඕනෙ. ලෝකයේ එය සිදු වෙමින් පවතිනවා. ලංකාවෙත් ශාලා කීපයක් තිබෙනවා. සිනමා රසවින්දනය සඳහා අන්තර්ජාලය ආදියෙන් ලැබෙන ඉඩකඩ වැඩියි. ඒත් සිනමාවේ යෙදෙන්නන් කලබල විය යුතු නෑ. ගෙදර ඉන්න මේ ලැබී තිබෙන විවේක කාලය ප්‍රයෝජනයට ගෙන තිර නාටක ලියන්න සැලසුම් කරන්න චිත්‍රපට හදන්න. මොන විදිහකින් හරි ලෝකෙ චිත්‍රපට බලන ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි වෙයි.

 

කොරෝනා සමයේ සිනමාව සමාජයට කොයි වගේ බලපෑමක් කරනවාද?

සිනමාව පමණක් නෙවෙයි සමස්ත කලා ක්ෂේත්‍රයම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වගේ ක්ෂණිකව මුදල් උපයන වියදම සහ ආදායම තීරණය කළ හැකි ක්ෂේත්‍රයක් නෙවෙයි. හැබැයි එයින් ගණනය කළ නොහැකි, මිල කළ නොහැකි සේවයක් රටට ලෝකයට වනවා. මිනිසුන්ගේ අධ්‍යාත්මය, චින්තනය, හැදියාව, සමාජ වටපිටාව, බුද්ධිය, මනුස්සකම, රසවින්දනය ලැබෙන්නේ, රටක සංස්කෘතිය හඳුනාගන්නේ, ලෝකය දකින්නේ සකල විධ කලාව නිසයි. ඒත් අපේ දේශපාලනඥයන්ට සහ බලධාරීන්ට ඒ බව පේන්නේ නැහැ. ඔවුන් බලන්නේ ගණන් ඉලක්කම්වලින්. එහෙම බැහැ. මෙතෙක් පැවතුණු සෑම රජයක්ම, අපේ ජීවිත කාලය තුළම කලාකරුවන්ට විය යුතු දේ ලැබිය යුතු පහසුකම් මොනවාද යන්න සොයා බලලා නෑ.

අප සිනමාව වෙන් කර ගත්තොත් එයට සියලුම කලා මාධ්‍යයන්, නවීන විද්‍යාව සහ තාක්ෂණය භාවිත වන කර්මාන්තයක්. මේ කොරෝනා සමයේ එවැනි ක්ෂේත්‍රයක නියැළෙන සිනමාකරුවන්ගේ ප්‍රශ්න මොනවාද? ඔවුන්ට මොනවාද වන්නේ කියලා කවුරුත් හොයලා බලන්නේ නෑනේ. ඔවුන් ගැන හිතන්නේ 'ආ උඹලා වියදම් කරලා හැදුවා නම් උඹලාම පෙන්නා ගනිල්ලා, සිනමා ශාලා හැදුවා නම් ඒවා වහගෙන පාඩු විඳපල්ලා' කියන තැන ඉඳන්. අඩු ගානේ කර්මාන්තකරුවන්ට ණය සහන දුන්නා. මම කියන්නේ කලාකරුවන්ට දුන් ලක්ෂ පහ ගැන නෙවෙයි. ඒක සිනමාකරුවන් තම නිර්මාණයකට කරන වියදම හා සසඳනකොට සොච්චමක්නේ. මම වගේ දස ලක්ෂ එකසිය හතළිහක් වගේ වියදම් කරලා චිත්‍රපට හදන කෙනකුට ඒවා ලැබෙන්නේ කොට්ටෙ යට තියාගෙන ඉන්න සල්ලිවලින් නෙවෙයිනේ. අපේ දේපොළ ඉඩකඩම් උගස් කරලා, ඉල්ලගන්න පුළුවන් හිතවත් අයගෙන්, බැංකුවලින් ණයට අරගෙන ඒවා ආපසු ගෙවන විදිහට තමයි අපි මේවා දිගටම කරන්නේ. රටේ තත්ත්වය හොඳීන් තිබුණා නම් අපට කිසිම ප්‍රශ්නයක් නැතිව ඒවා විසඳගන්න පුළුවන්. බලාපොරොත්තු නොවූ මෙවැනි ව්‍යසනයකදී අප මුහුණ දෙන ප්‍රශ්න ගැන අඩු ගානේ පත්තරවලින් ඔයාලා අහන තරම්වත් අපෙන් රජය අහලා බලන්නේ නෑනේ.

මම කියන්නේ අපට පිනට සල්ලි එපා. හරි අපේ වුවමනාවට නම් චිත්‍රපට හැදුවේ අපිම ගොඩ එන්නම්. ඒත් අනෙක් කර්මාන්තකරුවන්ට දෙන විදිහට අඩු පොළියට සහනදායි ක්‍රමයට ණය දෙන්න. එතකොට අපි ගිනිපොළියට ගත් ණය ගෙවලා හරි හුස්මක් ගන්න පුළුවන්නේ. මා ගැන විතරක් නෙවෙයි මම මේ කතා කරන්නේ. සමස්ත සිනමාකරුවන් ගැන. ඒ හැම කෙනෙක්ම මේ තත්ත්වයට මුහුණ දීලා තිබෙන්නේ. ඒ නිසා අඩුම ගානේ හැමෝටම බැරි නම් තෝරාගත් පිරිසකට ඒ සහනය මුලින් දෙන්න. පෞද්ගලිකව මාව සැලකුවොත් ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරැඹූ චිත්‍රපටය සූරිය අරණ, වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය සිරිපැරකුම්, වැඩිම එක්දින වාර්තාව, සතියේ වාර්තාව, අන්තර්ජාතික සම්මාන රටට ගෙන ඒමේ වාර්තාව ගත්තත් මගේ සෑම චිත්‍රපටයකටම අන්තර්ජාතික සම්මානයක් ලැබී තිබෙනවා. ඒ වගේම මම තමයි ලංකාවට මුලින්ම ඩොල්බි ඩිජිටල් ශබ්ද තාක්ෂණය සූරිය අරණෙන් හඳුන්වා දෙන්නේ, ඩොල්බි ඇටමොස් ශබ්ද තාක්ෂණය සුනාමි චිත්‍රපටයෙන් හඳුන්වා දෙන්නේ. එහෙම කළ මටත් මෙහෙම නම් සලකන්නේ. අනෙක් නිෂ්පාදක, අධ්‍යක්ෂවරු ගැන කුමන කතාද?

 

මොකක්ද ඔබේ යෝජනාව?

රට දිගටම මෙහෙම නම් අපට සලකන්නේ, චිත්‍රපට කරලා වැඩක් නැහැ වෙනත් මොනවා හරි කරනවා කියලා වෙන ව්‍යාපාරයකට යන්න බැරිකමක් නැහැ අපට. එහෙම යන අයත් ඉන්නවා හොඳ නිර්මාණශිලී තරුණයන්. ඒ නිසා රජය තෝරාගත් පිරිසකට හෝ උදව්වක් කරනවා නම් ඒ පිරිසවත් රැඳී සිටිනවානේ ක්ෂේත්‍රයේ. ඇත්තම කතාව සුනාමියෙන් මම හිතපු ආදායම මට ලබන්න බැරි වුණා. සාමාන්‍යයෙන් මගේ පිළිවෙත එක චිත්‍රපටයකට සකලවිධ සේසතම උගසට තියලා ලැබෙන ආදායමෙන් ඒවා බේරලා ආයේ ඒ දේම තව නිර්මාණයකට කරන එක. සුනාමි චිත්‍රපටයෙන් මගේ ඒ දම්වැල කැඩුණා. ඒකයි වෙනත් නිෂ්පාදකයකු වෙත යන්න වුණේ.

ඉතින් මේ තරම් අවදානමක් මේ මොහොතේ පවා ගන්න අප ගැන අගය කිරීමක් විය යුතුව තිබෙනවා. මුදල් තිබුණා නම් සිංහබාහු මේ වෙද්දි හදලා. ඉතින් රජය තීරණය කළ යුතුයි බේරාගතයුතු සිනමාකරුවන් මේ රටේ ඉන්නවාද? ඔවුන් බේරාගන්න ඕනේ නම් දන්සල් නෙවෙයි, අඩු පොළී ණයක් ආපසු ගෙවන පදනමෙන් දෙන්න. දේශපාලනඥයන්ට අප මතක් වන්නේ මැතිවරණ කාලෙදි විතරයි. එතනින් එහාට කලාකරුවන් කියන්නේ ගණන් ගත යුතු අය නෙවෙයි. ඒකයි මෙතැන තිබෙන ප්‍රශ්නය.