අමිල වෙනුවෙන්ම හැදෙන චිත්‍රපටයක්

කබඩි නිෂ්පාදක නිශාන්ත ජයවර්ධන
නොවැම්බර් 19, 2020

සාමාන්‍යයෙන් එක සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කළාට පස්සෙ නැවතත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට බහුතරයක් නිෂ්පාදකවරු පෙලඹෙන්නේ නැහැ. ඒ රූගත කිරීම් අතරතුර දී මෙන්ම ඊටත් වඩා, චිත්‍රපටයක් තිරගත කිරීමේ දී මුහුණ පාන්නට සිදුවන අර්බුදකාරී තත්ත්වයන් නිසා. සමහර නිෂ්පාදකවරු චිත්‍රපට කියන මාතෘකාව ගැන කතා කරන්නෙත් අකමැත්තෙන්. මෙවන් වූ වාතාවරණයක් මැද එක දිගට චිත්‍රපට පහක් නිෂ්පාදනය කරන්නට නිශාන්ත ජයවර්ධන ක්‍රියා කළා. ඔහුගේ නවතම චිත්‍රපටය තමයි කබඩි. එය හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයක්. මේ වන විට කබඩි චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු නිමවෙලා තිබෙන බව නිෂ්පාදක නිශාන්ත ජයවර්ධන සරසවියට ප්‍රකාශ කළා.

නිශාන්ත, කබඩි වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ඔබ පෙලඹුණේ ඇයි?

අමිල කරුණානායක කියන්නේ නව පරපුරේ හොඳ, දක්ෂ නළුවෙක්. ඔහුට රංගන අවස්ථා ලැබුණත් ප්‍රධාන චරිතයක් කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඉතිං අපි ඔහොම කතා කර කර ඉන්න වෙලාවක මට හිතුණා අමිලව ප්‍රධාන චරිතයකට සම්බන්ධ කර ගනිමින් චිත්‍රපටයක් කරන්න. ඇත්තටම මම කබඩි චිත්‍රපටය නිෂ්පාදනය කළේ අමිලට ප්‍රධාන චරිතයක් ලබා දීලා ඔහුව කලඑළියට ගන්න. කබඩි කියන්නේ අමිල වෙනුවෙන්ම තනපු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.

සමහර නිෂ්පාදකවරු එක චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමෙන් පසුව මේ ක්ෂේත්‍රය අතහැර යනවා?

ඒක ඇත්ත. සිනමාවට එනවා කියන්නේ කියන්නේ අර්බුද රැසක් බලෙන් ඔළුව උඩට ගන්නවා වගේ වැඩක්. ඒත් මේ ක්ෂේත්‍රයට තියෙන උණ සහ කැක්කුම නිසා තමයි මම දිගින් දිගටම චිත්‍රපට නිෂ්පාදනය කළේ. ලාභයට වඩා පාඩු තමයි සිද්ධ වුණේ. කෙසේ වෙතත් මම නිෂ්පාදනය කරපු චිත්‍රපට සියල්ලම නියමිත කාල වකවානු වකවානුවල දී රිලීස් වුණා මේ ක්ෂේත්‍රයේ සමහර ප්‍රශ්න තියෙනවා අපිම විසඳ ගත යුතු. වෙන කාටවත් ඒවා පවරලා වැඩක් නෑ. කාටවත් දොස් කියලා වැඩකුත් නැහැ.

ඔබ නිෂ්පාදනය කළ චිත්‍රපට පෙළ මතක් කළොත්?

මුලින්ම උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයට තමයි මම මූල්‍ය දායකත්වය සැපයුවේ. ඒකෙ මම සම නිෂ්පාදකවරයා. ඊට පසුව මගේ යාළු මාලු, ගෝරි සහ සේද මාවතේ කියන චිත්‍රපට නිෂ්පාදනය කළා.

වෙනත් රටක තැනුණු චිත්‍රපටයක් ද සිංහලෙන් කබඩි කියලා හැදෙන්නේ?

සියයට සියයක් ම වෙන චිත්‍රපටයක් නෙවෙයි. හැබැයි වෙන චිත්‍රපටයක කතාවක පොඩි අනුසාරයක් තියෙනවා. ඒක මම නැහැ කියන්නේ නැහැ. කබඩි ක්‍රීඩකයකු වටා තමයි කතාව ගොඩනැගිලා තියෙන්නේ.

චිත්‍රපටය සඳහා නළු නිළියො තේරුවේ කවුද?

මමම තමයි ආර්ටිස්ලා තේරුවේ පොඩි චරිතයටත් ජනප්‍රියම නළුවෙක් හෝ නිළියක්වම ගත්තා. ඒ වෙනුවෙන් වෙනම පිරිවැයක් වැය වුණා. ඒ වුණාට චිත්‍රපටයක් සාර්ථක වන්නේ පොඩි චරිතයට පවා ජනප්‍රිය, දක්ෂ නළු නිළියෝ ගත්තම කියලයි මම විශ්වාස කරන්නේ. චිත්‍රපටයේ කතාව අනුව කබඩි තරග තුනක් තියෙන්න ඕනේ. අති විශාල අතිරේක නළු නිළියෝ ප්‍රමාණයක් අපි යොදා ගෙන කබඩි තරග තුනක් අප ෂූට් කළා.

එක තරඟයක් විතරක් දවස් තුනක් ෂූටිං. 300 ක් විතර එක්ස්ට්‍රා ආටිස්ලා ඉන්නවා. අන්තිමේ නිෂ්පාදකකම පැත්තකින් තියල වතුර අදින්නත් මට සිද්ධ වුණා. එහි අතරතුර දී බැනුම් එහෙම්ත් ඇහුවා 

අතිරේක නළු නිළියන්ගෙන්. සමහරු දනනෑනෙ මම නිෂ්පාදක තියලා. සාමාන්‍යයෙන් නිශ්පාදකවරයා වතුර අදින්නෙ නැහැනේ. හැබැයි පසුව ඔවුන් මගෙන් සමාව ගත්තා. ඔය වගේ සිදුවීමුත් වුණා.

ඊට අමතරව චිත්‍රපටය රූගත කරද්දී සිදුවුණු අමතක නොවන සිදුවීමක් දෙකක් නැද්ද?

මේ චිත්‍රපටයේ සටන් ජවනිකා බහුලව තිබුණා. පොලිස් දර්ශනත් එහෙමයි. ඒ වෙනුවෙන් වෑන් එකක් පුරවලා පොලිස් ඇඳුම් සහ කඩු කිණිසි ආදිය අපි එහෙ මෙහෙ ගෙනිච්චා. ඔය වෑන් එක රිවස්ටන් වලදී පොලිසියෙන් නැවැත්තුවා. ඔවුන් වාහනය පරීක්ෂා කරද්දී තිබුණු කඩු කිනිසි පොලිස් ඇඳුම් දැකලා අපිව අත්අඩංගුවට ගත්තා. ඔවුන් හිතුවේ අපි මොකක් හරි සාපරාධී වැඩකට යනවා කියලා. කිව්වට විශ්වාස කළේම නෑ චිත්‍රපටයක රූගත කිරීම් කරන්නයි මේවා යොදා ගන්නේ කියලා. ඒ පැත්තේ පොලිසියේ උදවිය අපිව හඳුනන්නේත් නැහැනේ. බැරිම තැන කොළඹ එන්න මගේ හිතවත් පොලිස් නිලධාරියෙකුට කතා කරලා තමයි එතනින් ගැලවිලා ආවෙ.

චිත්‍රපටය කවද වගේද තිරගත කරන්න කරන්න ඔබ බලාපොරොත්තු වන්නේ?

අපි ප්ලෑන් කරගෙන ඉන්නවා ලබන වසරේ දී මේ චිත්‍රපටය පෙන්නන්න. අපේ සිනමා ක්ෂේත්‍රය නම් නම් දැන් ගන්නම දෙයක් නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිනමා ශාලා බහුතරයක් වැහුණානේ. කොරෝනා නිසා ඉතුරු වෙලා තිබුණු සිනමාශාලාවලින් කිහිපයක් වැහුණා. පාස්කු ප්‍රහාරයෙන් පසුව කාල වකවානුවේ කිසිම නිෂ්පාදකවරයෙකු චිත්‍රපටයක් දාන්නෙ නැතුව ඉද්දී මම තමයි ඉස්සරහට ඇවිල්ලා ගෝරි චිත්‍රපටය තිරගත කළේ. මේකත් ඒ වගේම තමයි, අභියෝග එනවා ඒ වුණාට නියමිත වෙලාව බලලා චිත්‍රපටය රිලීස් කරනවා. මං හිතනවා සිනමාකරුවන් විදිහට අපි සියලු දෙනා එකමුතු වෙලා ක්ෂේ

ත්‍රයේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනි කියලා. එක තැනක, මම එක තැනක, තව නිෂ්පාදකවරයෙක් තව තැනක, අධ්‍යක්ෂකවරු තව සංගමයක.... එහෙම වෙලා මේ වැඩේ කරන්න බෑ. ඔය ඉන්න සියලු දෙනා එකමුතු වුණොත් තමයි අපේ මේ සිනමාව ගොඩ ගන්න වෙන්නේ.

කබඩි සිනමාපටයේ රඟපාන නළු නිළියන් ගැන මතක් කළොත්?

අමිල කරුණානායක සහ සෙනාලි ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. අනෙක් චරිත ශ්‍රියන්ත මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, දමිතා අබේරත්න, නිල්මිණි කොට්ටෙගොඩ, පියුමි බොතේජු, ,අනුජ් රණසිංහ, විනූ සිරිවර්ධන, ආනන්ද වික්‍රමගේ, රජිත හිරාන්, චතුර පෙරේරා, කුමාරි මුණසිංහ රඟපානවා. තව ඉතින් සිය ගාණක් ඉන්නවා. නම් වශයෙන් ඒ අය ගැන කියන්න ගියොත් මෙතැන ඉඩ නැතිවෙනවා

නිෂ්පාදන පිරිවරත් මතක් කරමු?

අධ්‍යක්ෂණය හා තිර රචනය හර්ෂ උඩකන්ද. කතාව ගුණසේකර්ගෙ. කැමරාකරණය ජනිත් ගුණසේකර, සංස්කරණය තිවංක අමරසිරි, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, සංගීතය උදාර සමරවීර, ගීත ගායනය අමල් පෙරේරා , උරේෂා රවිහාරි , අයෝමි පෙරේරා , නුවන්ධිකා සේනාරත්න. සහය අධ්‍යක්ෂණය උපාලි උදේසිරි, නිෂ්පාදන කළමනාකරණය හිමල්ක මදුෂාන්. 5.1 ශබ්ද මිශ්‍රණය ශෂින් ගිම්හාන්, සටන් අධ්‍යක්ෂණය සමන්ත මායාදුන්න, නැටුම් අධ්‍යක්ෂණය ප්‍රියාන් අනුර ශ්‍රී, අංග රචනය ධනුෂ්ක හුලංගමුව සහ චලනි විජේරත්න. කලා අධ්‍යක්ෂනය සමීර ප්‍රසාද්.