පිපුණු කුසුම පරවූවා

“සත් සමුදුර”
නොවැම්බර් 26, 2020

සිනමාව යනු හුදු විනෝදාස්වාදය ම නො වේ. එය මානුෂික සබඳතාවයන්හි ඇතුළාන්තය විනිවිද පෙන්වන තවත් එක් කැඩපතක් යැයි හැඳීන්වීම වැරදි නොවේ. මතුපිටින් පෙනෙන මිනිසුන් ගේ ඇතුළාන්තය හාරා බැලීමේ දී, මතුපිටත්, ඇතුළාන්තයත් අතර මොන තරම් පරස්පර ද යනු අවබෝධ කරවන්නට ඇතැම් සිනමා කරුවෝ තම නිර්මාණ හරහා උත්සුක වූ හ. ලෝක සිනමාව, ෆැන්ටැසි සිනමාවට දුන් ඉඩ කඩ, යථාර්ථය මතු කර පෙන්වන චිත්‍රපට වලට ද දුන් හෙයින් ගුණාත්මක සිනමාව ද ,ෆැන්ටසි සිනමාව හා කරට කර තිබිණි.

 

'සත් සමුදුර' නිසා ලාංකික සිනමාව තුළ කිසි යම් සුවිශේෂයක් ඇති වූයේ හේතු කීපයක් හරහාය. යථාර්ථවාදි බවත්, මනුෂ්‍යයත්වය නියමාකාරයෙන් හුවා දැක්මත් එම ප්‍රබල හේතුන්වලට අයත් වූව ද, එයටත් වඩා, එහි උසස් සිනමාත්මක බව, ප්‍රබල කැමරාකරණය , විශිෂ්ටතම සංගීතය හා ගායනය,මෙන් ම අද්විතීය රඟ පෑම් චිත්‍රපටයේ ප්‍රබලත්වය ඉස්මතු කර පෙන්වී ය.

සිරී ගුණසිංහ යනු 'බයිස්කෝප්' කරුවකු ම නො වේ. බයිස්කෝප් ක්‍ෂේත්‍රෙය් ටැග් ගැහෙන්නට සිරී ගුණසිංහට වුවමනාවක් නොවූයේ, ඊට වඩා ඔහු ගෙන් රටට ඉටු කිරීමට ⁣තව බොහෝ දේවල් තිබූ නිසා ය. එහෙත් ඔහු කලාවට ප්‍රිය කළේ ය. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කළ ඔහු, වඩාත් ප්‍රි⁣ය කළේ සාහිත්‍ය කෘතින් ලිවීමට ය. 'මස් ලේ නැති ඇට', 'මන්දාරම' 'රතු කැකුල', 'අභිනික්මන', ඔහු ගේ කාව්‍ය ග්‍රන්ථයන් ය. 'හෙවනැල්ල' ඔහු ගේ ප්‍රථම නවකථාව ය. එය සම්මාන කීපයක් ම දිනා ගත් කෘතියකි. ඔහු සිනමාකරණයට පැමිණියේ, වෘත්තාන්ත වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමිනි. ඒ, පී.කේ.ඩී. සෙනවිරත්න තිරනාටකය ලියූ 'රන්වන් කරල්' චිත්‍රපටයෙනි. එහි ජෝ අබේවික්‍රම, පුණ්‍යා හීන්දෙණිය, ඩී.ආර්.නානායක්කාර, ශාන්ති ලේඛා රඟ පෑ හ.

'සත් සමුදුර' වැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ මුල් ගෞරවය හිමි විය යුත්තේ දොස්තර ලීනස් දිසානායකට ය. තම වෛද්‍ය වෘත්තියට අමතර ව, ඔහු බෙහෙවින් ප්‍රිය කළේ කලාවට ය. කලාවට ප්‍රිය කරමින් පැත්තකට වී සිටීමට ඔහුට වුවමනා නො වී ය. ඔහුට වුවමනා වූයේ කිසියම් හෝ වටිනාකමින්, සපිරුණු දිඟු කාලීන ව පවතින නිර්මාණයක් කිරීමට ය.

සිනමාව ජනතාව අතරට යන ප්‍රබල මාධ්‍යයක් බව ඔහුට වැටහිණි. එය ප්‍රායෝගික වූයේ ඔහු එදිරිවීර සරච්චන්ද්‍ර ගේ 'පබාවති' නාට්‍යය නැරඹීමට ගොස් එහී ප්‍රධාන නළු භූමිකාව රඟපෑ සිරිල් වික්‍රමගේ හමුවූ පසු ය. චිත්‍රපටයක් කිරීමේ අදහස දොස්තර ලීනස් දිසානායක සිරිල් ගේ හිසට දැමීමේ දී, සිරිල් කීවේ ගුණසේන ගලප්පත්ති ගේ 'මූදු පුත්තු' නාට්‍යය චිත්‍රපටයට නගමු කියා ය. නමුත් එය සිදු වුයේ නැත. 'මූදු පුත්තු' වැනි මුහුදු කරයේ කථාවක් කළ යුතු යැයි දොස්තර ලීනස් දිසානායක ගේ හිතට ආයේ ඉන් පසු ව ය. ඔහු ගේ නිවෙස හා පෞද්ගලික රෝහල තිබුණේ ද මීගමුවේ ය. මීගමුව එ කල ප්‍රසිද්ධ ව තිබුණේ මත්ස්‍යන් ඇල්ලීමට ය. මුහුදුකර සංස්කෘතිය මීගමුවට ම ආවේණික වූවාක් වැනි ය. ඇතැම් විට දොස්තර ලීනස් දිසානායකට මුහුදුකර පසු බිමක් යටතේ නිර්මාණයක් කිරීමට එ කී හේතුව ද බලපාන්නට ඇත.

'සත් සමුදුර' සිනමාපටයට අන්තර්ගත වූයේ ඉතා මත් සුළු සිදුවී මකි. නමුත් ඒ සිදු වීම හරහා ව්‍යාප්ත වූ හැලහැප්පීම නම් සුළු නො වී ය. මුහුදුකරයේ මත්ස්‍ය කර්මාන්තයේ නියැළුණු කුඩා අහිංසක පවුලක් වටා දෝලනය වූ මෙම සිදු වීම් පෙළ තුළ ඇති ගැඹුරත්වය නම් බොහෝ ප්‍රේක්ෂකයෝ වටහා ගත්තේ අවුරුදු ගණනාවක් ගෙවුණු පසු ව ය.

කැරලිනා හා ඇය ගේ පුතුන් දෙ දෙනා වටා ගෙතුණු මෙම සිදුවීම් අල්පය, ප්‍රේක්ෂකයන් හට දනවන්නට, ප්‍රබල තිර නාටකයක් තිබිය යුතු ය. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ සිරී ගුණසිංහ, එ කල ඔහු ගේ ගෝලයෙකු වූ වසන්ත ඔබේසේකර සමඟ එක් ව ලියූ ඒ ප්‍රබල තිරනාටකය තුළ එ කී අල්ප වූ සිදු වීම ප්‍රේක්ෂකයන් හට පමණක් නො ව, සිනමා සම්මාන උළෙලවල විනිශ්චයකරුවන් හට පවා දැනෙන්ට විය.

කැරලිනා ගේ පුතුන් දෙ දෙනා අතරින් වැඩිමහල් පුත්‍රයාට විවාහයක් කර දීම මත ය කථාව පෙළ ගැස්වී තිබුණේ. ඒ අතර ම චිත්‍රපටයේ මුල් පරිච්ඡේදය තුළ මව හා දරුවන් දෙ දෙනා අතර තිබෙන ආත්මීය බැඳීමේ ගැඹුර, සෙනෙහස් ව පෙන්වන්නට විය. මෙය ප්‍රේක්ෂකයන් හට දනවන්නේ ඔවුනොවුන් ගේ ඉතා මත් සුළු සිදු වීම් හා ඔවුනතර හුවමාරු වන කුඩා දෙබස් කාණ්ඩවලිනි. ගුණදාස බත් කා ඉතුරුවන බත් කාක්කන්ට දමන විට ඔහු ගේ මව ' ඈ බං, බත් ඉතුරුත් කරා ද, කාක්කන්ටත් කන්න දෙන්න' කියා විමසන විට, ගුණදාස සිනාසෙමින් කීවේ ' උන් නාකි කාක්කො වගයක්, උන්ට පුළුවනෑ හම්බ කරන් කන්න' කියා ය. එ තැන දී ප්‍රේක්ෂකයන් දුටුවේ මේ මව තම උස් මහත් වූ දරුවන් හට ඇති දාරක ප්‍රේමය මෙන් ම ගුණදාස ගත කරන නිදහස්, විනෝදකාමි සැහැල්ලු ජීවිතය ය.

ගුණදාස ගේ චරිතය කේන්ද්‍රීය කරගෙන 'සත් සමුදුර' නිර්මාණය වූව ද, අනෙක් චරිතද එයට සාපේක්ෂ විය. ගුණදාස ගේ කථාවට බාහිර ව, සිරිසේන ගේ කථාවද, ඊ⁣ට බාහිර ව කැරලිනා ගේ, නැත්නම් සෝමා ගේ, එසේත් නොමැති නම් විමලා ගේ කථාවද එයට එකතු වී තිබුණි. මේ සියල්ලන්ට ම වෙන වෙන ම කෝණ තිබුණ ද, අවසානයේ මේ හැම චරිතයක් ම ගුණදාස හා බද්ධ වී තිබිණි. එ සේ බද්ධ වූව ද, ගුණදාස නැති වූවා යැයි කියා එකී චරිත නැති වී යන්නේ නැත. ඔවුන් ගුණදාසව අමතක කර, ඔවුනොවුන් ගේ ජීවිත සුඛිත, මුදිත කිරීමට වෙහෙසන්නේ, හරියට රැල්ල වැල්ලට පැමිණ, යළි සයුරටම යනවාක් මෙනි.

ඒවා සිරී ගුණසිංහ වත්, ලීනස් දිසානායක වත් අපට පෙන්වන්නේ නැත. නමුත් ඔවුන් එක්ව නිර්මාණ කළේ මානුෂික සබදතා උච්ච ම අයුරින් තිව්‍ර කරන සිදු වීම් සමූහයකි. එ විට සැලෝලයිඩ් පටයේ අවසානයටත් එහා ප්‍රේක්ෂකයන් සිතන එක වළක්වන්නට බැරි ය. සිරී ගුණසිංහ තම විස්මිත දක්ෂතාවය 'සත් සමුදුර' තුළින් පෙන්වූයේ එ සේ ය.

 

“සිනිඳු සුදු මුතු තලාවේ

පිපෙන පෙණ පිඩු සිනාසේ

සැලෙන රළ මත ගිලී ඉපිලි

ගලන සිතුවිලි මුළාවේ”

 

'සත් සමුදුර' චිත්‍රපටයේ ආත්මය සෝමදාස ඇල්විටිගල ගේ සංගීතයත්, ඩබ්ලියූ.ඩී.අමරදේව ගේ ගායනයත් යැයි කිව හොත් එය වඩාත් නිවැරදි ය. මුහුදේ රළ , ධීවරයන් ගේ හොඳ කාලයටත්, නරක කාලයටත් වෙන් වෙන් ව ගසන හඬ, සෝමදාස ඇල්විටිගල ගේ සංගීතයෙන් දැනවීම නම් ඇත්තෙන් ම ආශ්චර්යයකි. මේ මුහුදේ ශාන්ත හඬ ද, නැත්නම් ඇල්විටිගල සංධිවෙනියේ චෙලෝ හඬ ද, එ ලෙස ම මේ මුහුදේ රළු හඬ ද, නො එසේ නම් එය ඇල්විටිගල ගේ සංගීත ඔපේරාවේ සීයයක වයලින් හඬ දැයි, තෝරා බේරා ගැන්මට නොහැකි විය. එය එ තරම් ම විශ්මිත ය.

සිරිසේන, තම මලනුවන් වූ ගුණදාස ට වඩා වෙනස් ය. විටෙක තම මවට වැඩියෙන් ම සෙනෙහෙ දැක්වූයේ සිරිසේන යැයි සිතුණේ, ඔහු තමාට විවාහයක් කර ගැන්ම පවා පසු පසට දැමූ හේතුව මත ය. නොදන්නා ගෑණු අරගෙන තම මවට වෙනස් කම් කරා වී යැයි සිරිසේන බිය විය. ගුණදාස, විනෝදයට බර වූවෙකි. මුහුදු නොයන වෙලාවට මැන්ඩලීනය වයමින් නාඩගම් ගීත ගයමින් නිතර ම යහළුවන් සමඟ විනෝද වන ඔහුට, වැල්ලේ‍ම පෙම්වතියක් සිටි අතර, ඔහු තම සොහොයුරු සිරිසේන විවාහ වන තෙක් බලා සිටියේ, එකී පෙම්වතිය වූ විමලාව සහයට ගන්නට ය. එයට කිසිදු පැත්තකින් බාධාවක් තිබුණේ ද නැත.

කථාව වෙනස් වූයේ සිරිසේන කැරලිනා ගේ ම සොහොයුරෙකු ගේ දියණිය වූ සෝමාව විවාහ කරගෙන සිරිසේනලා ගේ නිවසට පැමිණි පසුවය. තම මව ගේ නැදෑයන් නිසා තම මවට කිසිදු වෙනස්කමක් සිදු නොවෙනු ඇතැයි, සිරිසේන ඇතුළු සැවොම සිතුව ද, සිද්ධ වුණේ එහී අනෙක් පැත්ත ය. සෝමා උපත ලැබූවේ ගොවිකම වෘත්තියක් කරගත් පවුලක ය. හැදුණේ වැඩුණේ ද, එකී ග්‍රාමීය ගොවි පරිසරයක ය. එක් වර ම මුහුදුකරයට පැමිණ එම ජීවිතයට අනුගත වන්නට සෝමාට අපහසු විය. ටික කලකින් සිරිසේන ගේ මව හා සොහොයුරු ගුණදාසව ද, සෝමාට රුස්සන්නේ නැති විය. එහෙයින් ඇය සිරිසේන මුහුදු ගිය පසු නිවෙස තුළ නිහඬ පිළිවෙතක් අනුගමනය කළා ය. නැන්දම්මා, ලේළිය ⁣නොරිස්සීම එ ලෙස සෙමෙන් සෙමෙන් පටන් ගෙන, පසුව සෝමා, කැරලිනා හා ගුණපාල සමඟ කථා නොකර ම මග හැරියා ය. එයින් සිදු වූයේ සෝමා , සිරිසේනව තම ආධිපත්‍යයට හරවාගෙන, ඔවුන් වෙන ම නිවෙසකට පදිංචියට යෑම ය.

ඇත්තෙන් ම මේවා විශාල ගැටලු නො වුණ ද, ඔවුනොවුන් ගේ පවුල් කුටුම්භය තුල මේවා විශාල ප්‍රශ්න විය. ඒ ඔවුනොවුන් මානූෂීක මෙන්ම සංවේදී බැමිවලින් බැඳී සිටි නිසා ය. සෝමාට මේවා නුහුරු වූවා ද, නැති නම් ඇයට එයට අනුගත වීමට නො හැකි වූවා ද, එ සේත් නැති නම් ඇය තම ආධිපත්‍ය මේ සතුටින් සිටි කුඩා පවුල මත පතුරවා, තමා විවාහ වූ සිරිසේනව තමාට පමණක් සතු කරගැන්මේ ආත්මාර්ථකාමිත්වයෙන් පෙළෙන්නට වූවා ද කියා ප්‍රේක්ෂකයන්ට සිතන්නට සිරී ගුණසිංහ ඉඩ හැරියේ ය.

සිරිසේන, සෝමා සමඟ වෙනත් නිවෙසකට පදිංචි වීමට ගියේ ගුණදාස ඒ වන විටත් සෝමා සමඟ වාග් ප්‍රහාරවලට පැටලෙන නිසා ය.

කැරලිනා අසනීප වූණේ සිරිසේනලා වෙනත් නිවෙසකට පදිංචි වීමට ගිය පසු ය. මව සුව වෙන තෙක් ම, මව ළඟට වී සම්පූර්ණ සාත්තුව කළේ ගුණදාස ම ය. මව ගේ, අසනීපය නිසා ගුණදාසට මුහුදු යෑමට නො හැකි විය. සොහොයුරා ගේ වෙන් වීමත්, මවගේ අසනීපයත් අතර දෝලනය වූ ගුණදාසට, විමලා වෙනුවෙන් වේලාවක් වෙන් කිරීමට නොහැකි විය. ඒ වන විට, ගුණදාස, ආර්ථීක අතින් ද දුර්වල වී තිබිණි. මේ සියල්ලට පිළිතුරු සෙවීමට ගුණදාස කාලය මිඩංගු කරන විට, විමලා ගේ මව හා සොහොයුරු, විමලාට මනමාලයෙක් සොයා දී, විවාහය ද කර දී තිබිණි.

“පිපුණු කුසුම පරවූවා

බඹර කිකිණි ගොළු වුණා

මුතු කැට සුද සැඟවුණා

හසරැලි වියළී ගියා”

 

ප්‍රේම වියෝගය හදවතේ දරාගෙන සිටි ගුණදාසට, කලින් කලට එන වාරකන් කාලයට ද මුහුණ දෙන්නට සිදු විය. අවසන, තම මවට කැඳ උගුරක් හෝ දීමට ඔහුට මුදල් නො තිබිණි. ඒ වන විට ඔහු හැම කඩයකට ම ණය වී සිටි හෙයින් කිසිදු කඩයක් ඔහුට ණයට දීමට ඉදිරිපත් වූයේ නැත. මුදල් සොයාගන්නට නම් මුහුදු යා යුතු ය. එහෙත් මේ දරුණු වාරකන් කාලයේ කිසිදු මසුන් මරන්නෙකු මුහුදු නොයන්නේ තම ජීවිත අවදානමකට ලක් කර ගත නො හැකි නිසා ය. එහෙත් ගුණදාසට වෙන විකල්පයක් තිබුණේ නැත. මවට බෙහෙත් හේත් කිරීමට, මුදල් සොයාගත යුතු ය. මුදල් සෙවීමට ඔහු වාරකන් කාලය ගැන නොසිතා මුහුදු යා යුතු ය. ඔහු ගේ සිතේ කැලඹීම දෙ ගුණ වූයේ, ඔහු නැති අතරේ තම සොහොයුරා සිරිසේන හා සෝමා පැමිණ තම මවට මුදල් දීම පිළිබඳ ව ය. එකී වේගයෙන් ඔහු මුහුදු ගියේ මව තමාට හැකි අයුරින් ඔහුගේ ගමන වළක්වන්නට උත්සහා කරන අතර ය.

ගුණදාස නැවත ඒවී යැයි, කුප්පි ලාම්පුවත් අත ඇති ව කැරලිනා මුහුදු වැල්ලේ ගල් පරයක් මතට වී බලා සිටිය ද, ඇගේ ඒ බලාපොරොත්තුව නම් කිසි දිනයක ඉටු නො විණි. ඔහු සත් සමුදුර තරණය කර, වෙනත් ලොවකට ගිය බවක් කැරලිනා දැනගෙන සිටියේ නැත.

⁣සිරිල් වික්‍රමගේ (ගුණදාස), එඩ්මන් විජේසිංහ (සිරිසේන), දෙනවක හාමිනේ( කැරලිනා) ස්වර්ණා මල්ලවආරච්චි (සෝමා), ලීනා ප්‍රනාන්දු (විමලා), හේමමාලි ගුණසිංහ (සොපි නෝනා),සෝමසිරි දෙහිපිටිය (පීටර්) රත්නාවලී කැකුණවෙල, (විමලාගේ මව) ප්‍රධාන චරිතවලට පණ දුන් අතර, බර්ටි කිරිදෙන, ක්‍රිස්ටි පීරිස්, ස්ටැන්ලි රෝසා, සුමිත්ත රාජසිංහ සෙසු චරිත රඟ පෑ හ.

 

1968 'සරසවිය' සම්මාන උළෙලේ හොඳ ම සංස්කරණය, ඩී.බී.නිහාල්සිංහ, හොඳ ම ගායකයා ඩබ්ලියු. ඩී. අමරදේව, හොඳ ම ගීත රචක ,මහගමසේකර, හොඳ ම සංගීත අධ්‍යක්ෂක සෝමදාස ඇල්විටිගල , හොඳ ම අධ්‍යක්ෂක සිරී ගුණසිංහ, හා හොඳ ම චිත්‍රපටය ,දොස්තර ලීනස් දිසානායක සම්මාන ගත් අතර, හොඳ ම නළු චරිතය, හා හොඳ ම නිළි චරිතය ලෙස සම්මාන යුගලක් හදුන්වා දී එය සිරිසේන ලෙස රඟපෑ එඩ්මන් විජේසිංහ සහ කැරලිනා ලෙස රඟපෑ දෙනවක හාමිනේට ප්‍රදානය කෙරිණ.

දොස්තර ලීනස් දිසානායක 'දිසානායක චිත්‍රපට සමාගම ' පිහිටවා ඒ යටතේ නිෂ්පාදනය කළ පළමුවෙනි චිත්‍රපටය 'සත් සමුදුර ය'. දිසානායක චිත්‍රපට සමාගමේ ඊ ළඟ චිත්‍රපට වූයේ 'වෙස් ගත්තෝ', ' සිහින ලොවක්' සහ ' වල්මත් වූවෝ' ය.

ලංකා සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම චිත්‍රපටයක් වු 'සත් සමුදුර' තිරගත කිරීම ආරම්භ වූයේ 1967 පෙබරවාරි 22 වනදා සිට ය.

“ගැඹුරු සත් සමුදුර පතුල බිද

ඇඹරි ඇඹරි වියරු දළ රළ

තුමුල මහ මෙර දෙදරවයි

බුර බුරා නැඟි කුරිරු ජල කඳ

දෙරණ සම්පත ගිල ගනී

දෙරණ සම්පත ගිල ගනී. ”