රිදී තිරයේ සටහන් වන සිහින සමීකරණ

නොවැම්බර් 26, 2020

සමීකරණය රිදී තිරයට ගෙන එන්නටයි ඔහු සූදානම් වන්නේ. මේ නවක අධ්‍යක්ෂවරයාගේ නම සසික හේරත්. සිහින සමීකරණ ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය. එය ආකර්ෂණීය ආදර කතාවකි. මේ ඒ පිළිබඳ සසික හේරත් නැමැති අධ්‍යක්ෂවරයා දැක් වූ අදහස් කීපයකි.

ඔබ ගැන කෙටි හැදින්වීමක් කළොත්?

මම ක්ෂේත්‍රයට එන්නේ දෙවන සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට. එහෙම සම්බන්ධ වූ පළවෙනි නාට්‍ය තමයි සඳරුවන් ජයවික්‍රම මහත්මයාගේ සුළඟ. ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසට මම මුලින්ම දායක වන්නේ අනුරුද්ධ ජයසිංහ නමැති අධ්‍යක්ෂවරයාගේ මායාරූ මාලා නාටකයේ. ඉන් පසුව නිර්මාණ විස්සකට අධික සංඛ්‍යාවක ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා විදිහට මම වැඩ කළා. විශේෂයෙන් අනුරුද්ධ ජයසිංහගේ නිර්මාණවල. අවුරුදු පහළොවක් එහෙම මම වැඩ කටයුතු කරමින් අත්දැකීම් ලබා ගත්තා.

 

ඔබේ පළවෙනි අධ්‍යක්ෂණය සිනමාපටයක් වුණේ ඇයි?

මම කොහොමත් ආසාවෙන් හිටියේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒක තමයි මගේ අරමුණ වුණේ. සමහරු අහනවා, ටෙලි නාට්‍යයවල අවුරුදු ගාණක් වැඩ කරලා ඇයි ටෙලි නාට්‍යයක් නොකර චිත්‍රපටයක් කළේ කියලා. ටෙලි නාට්‍යයක් නම් ඕනෑම කාලෙක කරන්න පුළුවන්. නමුත් චිත්‍රපටයක් එහෙම නෑ, ඒකට වෙනම සූදානම් විය යුතුයි. මම කියන්නේ නැහැ ටෙලි නාට්‍යවලට එහෙම සුදානම් විය යුතු නැහැ කියලා. නමුත් සිනමාපටයක් කියන්නේ වෙනමම නිර්මාණයක්. වෙන්නම අත්දැකීම් සමුදායක්.

 

සිහින සමීකරණ කොයි වගේ කතාවක්ද?

මේක මායිම් ගම්මානයක් තුළ ප්‍රකාශ වන කතාවක්. මේ ගමේ ඉන්නවා සාමාන්‍ය පෙළ ලියූ පිරිමි ළමයෙක්. ඔහු ගණිතයට ඉතාම දක්ෂයි. නමුත් ඒ ගමේ ඉස්කෝලේ උසස් පෙළ නැහැ. ඉතින් ඔහුගේ අධ්‍යාපනය අතරමඟ නවතිනවා. ඔය අතරේ ගමට එනවා එක්තරා තරුණියක්. ඇය ඉදිරිපත් වෙනවා මේ ළමයට ගණිතය උගන්වන්න. හැබැයි වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. නොයෙක් ප්‍රශ්න එනවා. මේක තමා සිනමාපටයේ ප්‍රධාන කතා කතා සාරාංශය.

මේ කතාව සිනමාවට නගන්න ඔබ කැමැති වුණේ මොන වගේ කාරණා මත ද?

ඇත්තටම මේ වගේ කතාවක් කරමු කියලා මට යෝජනා කළේ සිනමාපටයේ එක් නිෂ්පාදකවරයෙකු වන ආචාර්ය චරිත් ජයතිලක. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්. ඉගෙන ගන්න වයසේ ළමයි පිළිබඳ අත්දැකීම් රැසක් ඔහු විඳලා තියෙනවා. හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයි නොයෙක් ප්‍රශ්න නිසා තමන්ගේ අධ්‍යාපනය අතරමඟ නවත්වාත් ඔහු දැකලා තියෙනවා. මේ සියල්ලම කැටි කරලා තමයි ඔහු මේ සිනමාපටය ඒ වගේ කතාවක් ඔස්සේ නිර්මාණය කරමු කියලා කිව්වේ.

 

ඔබලාගේ අරමුණු අනුව සමාජයට ආදර්ශයක් දෙන්නයි සිහින සමීකරණ චිත්‍රපටය හදලා තියෙන්නේ?

 

මෙහෙමයි. මගේ මතයට අනුව සිනමාපටයකින් යම් ආදර්ශයක් සමාජයට දෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ආදර්ශයක් දීමෙහිලාම අරමුණ ඇතුව චිත්‍රපටයක් හැදීම කියලා කියන්නේ නිශ්ඵල වැඩක්. එතකොට හරියට ඒ නිර්මාණය ඩොකියුමන්ට්රියක් වගේ වෙනවා. එහෙම නෙමෙයි සිනමා පටයක් සිනමාපටයක් විදිහට නිර්මාණය කරන්න ඕනේ. ඒක තුළ ආදර්ශ තියෙන්න පුළුවන්. එතකොට අවශ්‍යදේ ප්‍රේක්ෂකයෝ ලබා ගනියි.

 

නවක සිනමාකරුවකු විදිහට ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

ප්‍රධාන අභියෝගයට තවම මුහුණ දුන්නේ නැහැ. ළඟදීම එයටත් මුහුණ දෙන්න වෙයි කියලා මම විශ්වාස කරනවා. චිත්‍රපටයක් හදන්න පුළුවන්, නිෂ්පාදකවරුන් හොයා ගන්න පුළුවන්, හැබැයි තිරගත කිරීම තමයි ලොකුම අභියෝගය. අපේ රටේ එක එක සිනමා රැලි හැදිලා තියෙනවා. ඒ ඒ රැල්ලට හැදුණු චිත්‍රපටය රිලීස් කරන්න තමයි හැමෝම උනන්දු වෙන්නේ. නමුත් වෙනස් ආකාරයක සිනමා පටයක කතාවක් අපේ ඔළුවට ආවොත් අපිට දෙවතාවක් හිතන්න වෙනවා මේ වගේ චිත්‍රපටයක් හදලා රිලීස් කරන්න පුළුවන් වෙයිද කියලා. එයත් එක්කම තව අභියෝගයක් තියෙනවා.අප රට තුළ තියෙන සිරිත් විරිත් සහ සම්ප්‍රදායන්ට කොටු වෙලා තමයි සිනමා පටයක් නිර්මාණය කරන්න වෙන්නේ. ඒ රාමුවෙන් මදක් හෝ පිටතට ගිය ගමන් හරි අවුල්. නිර්මාණකරුවෝ විදිහට අපි හරිම පරිස්සම් වෙන්න ඕන නිර්මාණය කරද්දි. ලෝක සිනමාව තුළ ඔය ගැටලුව නැහැ. නිර්මාණශිල්පියෝ රිසිසේ තමන්ගේ සිනමා ප්‍රකාශන ඉදිරිපත් කරනවා. අපිට එහෙම බැහැනේ.

කවද විතරද සිහින සමීකරණ රිලීස් කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මේ යන විදිහට ලබන වසරේවත් බැරි වේවි. හැබැයි හොඳම කාලයක් බලලා තමයි චිත්‍රපටය රිලීස් කරන්නේ.

සිහින සමීකරණ සිනමාපටයේ නළු නිළියෝ කවු

ද?

අශාන් ඩයස්, සජිත ඇන්තනී, කසුනි කාවින්දි, රන්දික ගුණතිලක, රෙබෙකා දිල්රුක්ෂි, වසන්ත විට්ටච්චි, මොරින් චාරුනී, නයනා හෙට්ටිආරච්චි, සුජීව ජාගොඩ, පූජන දන්දෙණිය.

ඊළඟට මම අහන්නේ සිනමාපටයෙන් නිෂ්පාදක කණ්ඩායමට දායක වූ පිරිස ගැන?

නිෂ්පාදනය ආචාර්ය චරිත් ජයතිලක, දම්මික ගීකියනගේ. කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහගේ. සිනමාපටයේ පිටපත දර්ශන විද්යා අරවින්ද රචනා කළා. අංග රචනය ප්‍රියන්ත එස් වන්නිනාය, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, සහාය අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක, නිෂ්පාදන කළමනාකරණය හරීන්ද්‍ර පෙරේරා සහ දුමින්ද පෙරේරා, සංස්කරණය අජිත් රාමනායක, සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි, ශබ්ද මිශ්‍රණය සසික රුවන් මාරසිංහ, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, ගී පද රචනය උපුල් ශාන්ත සන්නස්ගල, විධායක නිෂ්පාදනය සුජීව ජාගොඩ, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග අශාන් අමරසිංහ යනාදී පිරිසක් දායක වුණා. කුට්ටි සංජය තමයි නිශ්චල ඡායාරූප ශිල්පියා.