රූප රචනා නිර්මාණකරු තිරයට ගෙන එන ආදර කතාව

ආදරණීය ප්‍රාර්ථනා
දෙසැම්බර් 3, 2020

වාසව බදුගේ නිර්මාණශීලී ගීතමය රූප රචනා අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රකටයි. සඳනාරි, සංසාරිණී, ශාරධා, චන්ද්‍රපානි, ආදී ජනප්‍රිය රූප රචනා නිර්මාණය කළේ ඔහු. මේ වන විට වාසව සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් කලඑළියට එන්නට සූදානමින් සිටිනවා. ආදරණීය ප්‍රාර්ථනා තමයි ඔහු නිර්මාණය කළ පළමුවැනි චිත්‍රපටය. මෙහි විශේෂත්වය වන්නේ ශනුද්‍රි ප්‍රියසාද් රංගන ශිල්පිණිය හැර චිත්‍රපටයට සම්බන්ධ වූ අනෙක් සියලු දෙනා පළමු වරට දායකත්වය ලබාදුන් චිත්‍රපටය මෙය වීම. ආදරණීය ප්‍රාර්ථනා හැදුණු අන්දම පිළිබඳ කතා කිරීමට එහි අධ්‍යක්ෂ වාසව සරසවිය හා මෙසේ සම්බන්ධ විය.

වාසව, ආදරණීය ප්‍රාර්ථනා කියලා කියන්නේ මොන වගේ චිත්‍රපටයද?

චිත්‍රපටයේ නමින්ම කියැවෙන පරිදි මෙය ආදරණීය කතාවක් ඇතුළත් චිත්‍රපටයක්. මේ සඳහා ගීත හයක් ඇතුළත් වෙනවා. ඒ අනුව ආදර ප්‍රාර්ථනා කියන්නේ සංගීතයේ පිරුණු ආදරණීය කතාවක් රැගත් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

ගීත වැඩි සංඛ්‍යාවක් චිත්‍රපටයට යොදාගන්න හිතුවේ ඇයි?

මම මුලින්ම ගීතමය රූප රචනානේ කළේ. පසුකාලීනව ඒ රූප රචනා සඳහා කතාවක් ඇතුළත් කරලා විනාඩි 10 ක වගේ ක්ලිප් හැදුවා. ඒක නිකන් හරියට ගීතමය කෙටි චිත්‍රපටයක් වගේ. ඒවා අති විශාල ප්‍රේක්ෂකයෝ සංඛ්‍යාවක් අන්තර්ජාලය හරහා නරඹලා තිබුණා. මිනිස්සු ඒවා රස විඳීන්නේ ඒ සඳහා ඔවුනට කැමැත්තක් ඇති නිසානේ. අපි විශ්වාස කළ මේ වගේ සිනමාපටයකට ගීත වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වුණොත්, එය අපි ප්‍රේක්ෂකයා වෙනුවෙන් කරන සාධාරණයක් කියලා.

මොන වගේ ප්‍රේක්ෂක කණ්ඩායමක් ඉලක්ක කරගෙන ද ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටය හැදුනේ?

විශේෂයෙන්ම තරුණ පිරිස තමයි මම ඉලක්ක කළේ.

ඔබ රූප රචනා රැසක් නිර්මාණය කළ අධ්‍යක්ෂවරයෙක්. සිනමාවට එන්න කලක් තිස්සේ පෙරුම් පුරන්නට ඇති?

අනිවාර්යයෙන්ම. මම කාලයක් ඕස්ට්‍රේලියාවේ හිටියේ. එහිදී තමයි ගීතමය රූප රචනා නිර්මාණය කරන්න පටන් ගත්තෙ. මම භාතිය සන්තුෂ් ඇතුළු විශාල පිරිසකට ගීතමය රූප රචනා නිර්මාණය කරලා තියෙනවා. 2010 විතර ඉඳන් තමයි චිත්‍රපටයක් කරන්න ප්ලෑන් කරගෙන හිටියේ. නමුත් වයසත් එක්ක ඒ සිහිනය ටිකක් කල් ගියා ආයෙත්. 2018 වසරේ විතර තමයි තිර පිටපත හදාගෙන මේ සිනමාපටය නිර්මාණය කරන්න ලැහැස්ති වුණේ.

තරුණ නිර්මාණකරුවෙක් විදිහට චිත්‍රපටයක් නිර්මාණය කරද්දී එන අභියෝග මොනවා ද?

මට නම් තිබුණු ලොකුම චැලේන්ජ් එක වුණේ හොඳ තිර පිටපතක් හොයා ගැනීම. ඇත්තටම අපේ චිත්‍රපට තිර නාටක හරිම අඩුයි. මම විදෙස් චිත්‍රපට, විශේෂයෙන්ම බොලිවුඩ් නිර්මාණ නරඹන කෙනෙක් විදිහට මට දැනෙනවා අපේ ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කරන්න ඕනේ මොන වගේ තැනක සිටද කියලා. බොහොම රොමෑන්ටික් මූවී වලට වැඩි පිරිසක් රුචිකත්වය දක්වනවා. හැබැයි කතාව පරිපූර්ණව තියෙන්න ඕනේ. හින්දි චිත්‍රපටයක් වුණත් අරන් බලන්න. ඒගොල්ලො ගොඩක් වෙලාවට කතාව මූලිකත්වය කරගෙන තමයි චිත්‍රපටය නිර්මාණය කරන්නේ.

චිත්‍රපටයේ දර්ශන තල කොහෙද තිබුණේ?

මේක ලංකාවේ බොහෝ ප්‍රදේශවල රූපගත කිරීම් කළා. ඕස්ට්‍රේලියාවේ දර්ශන කීපයක් රූපගත කිරීම් කරන්න නියමිතව තිබුණත් කොරෝනා වසංගතය නිසා එය අපිට කරගන්න බැරි වුණා.

චිත්‍රපටය සඳහා තරුණ පිරිසක් යොදා ගත්තේ ඇයි?

ඕක මගෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. අපේ ශනුද්‍රි ප්‍රියසාද් විතරයි කලින් චිත්‍රපටිවලට දායකත්වය දක්වපු කෙනෙක් හැටියට හිටියේ. අනෙක් කිසිම කෙනෙක් මීට කලින් චිත්‍රපට වලට නිර්මාණ දායකත්වය ලබා දීලා නැහැ. මගෙත් පළවෙනි චිත්‍රපටයනේ. මට හිතුණා තවත් මං වගේම මීට කලින් චිත්‍රපටය වල වැඩ කරල නැති පිරිසක් මේ සඳහා යොදාගන්න. ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයත් එක්ක තවත් පිරිසක් චිත්‍රපට ක්ෂේත්‍රයට එකතු වුණානේ කියලා සතුටක් අපිට තියෙනවා.

ලංකාව තුළ චිත්‍රපටයක් නිර්මාණය කරන්න ලේසියි, නමුත් තිරගත කරද්දී අර්බුද රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම අපිට ඒක ලොකුවට හිතුවේ නැහැ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ යසස් මැදගෙදර අශාන් කන්නන්ගර සහ මම. තුන්දෙනාට ඕනේ වුණේ හොඳ නිර්මාණයක් කරන්න. පළමුව ආත්ම තෘප්තිය වෙනුවෙන් තමයි ආදරණීය ප්‍රාර්ථනා හැදුණේ. කොහොමත් මේ තියෙන තත්ත්වෙත් එක්ක අලුත් අලුත් සිනමාපට තිරගත වෙන්න ටික කාලයක් යයි. මම හිතනවා මේ චිත්‍රපටයේ කතාව එක්ක තිරගත කරන්න අපිට ලොකු අපහසුවක් දැනෙන එකක් නැති වෙයි කියලා.

චිත්‍රපටයේ නළු නිළි පිරිස ගැන මතක් කරමු ?

ප්‍රධාන චරිත තුන කරන්නේ ශනුද්‍රි ප්‍රියසාද්, රාහුල් රිෂික සහ නෙත්මි රොශෙල්. මිහිරංගි හෙට්ටිආරච්චි, නිමේෂ් වීරංග තමයි සෙසු චරිත රඟපාන්නේ

මෙහි කාර්මික පිරිස ගැනත් මතක් කරමු ?

තිර රචනය මලිදු ගජධීර සහ රංගනාත් වීරසිංහ. කැමරාකරණය මගෙ. සංගීත අධ්‍යක්ෂණය යසස් මැදග‌දෙර. සහය අධ්‍යක්ෂණය ධනුෂ්ක එන්. පෙරේරා. කලා අධ්‍යක්ෂණය යෂී සිල්වා. නිෂ්පාදන කළමණාකරු නිරෝශන් වෙලගෙදර. නිෂ්පාදන සැලසුම් හරින්දි මැදගෙදර. රේඛීය නිෂ්පාදනය ප්‍රමෝද්‍ය කන්නන්ගර. අංග රචනය හර්ෂ මාධව. ඇදුම් නිර්මාණය සම්මානි ප‍තිරණගම. සංස්කරණය සඳරුවන් පෙරේරා. ගීත ගායනය භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, යසස් මැදග‌දෙර, ශානිකා මධුමාලි, සුපුන් පෙරේරා, රිද්ම වීරවර්ධන සහ යශෝධා මැදගෙදර. ගී පද රචනය ෂෙහාන් ගලහිටියාව. නිෂ්චල ඡායාරූප විරාජ් ෆර්නෑන්ඩෝ