දෙලොවක අතරමං වූ සුභානිගේ කතාව..

තරු අතර
දෙසැම්බර් 10, 2020

බුද්ධි වික්‍රමආරච්චිගේ කුලුඳුල් අධ්‍යක්ෂණය

මේ තවත් එක් ආදර කථාවකි. තරු අතර එහි නමය. ආදරයට බර ඒ සිනමා සිතුවම ඔබ වෙත ගෙන එනු ලබන්නේ බුද්ධි වික්‍රමආරච්චි නමැති නිර්මාණකරුවා විසිනි. එය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. බුද්ධි මේ වන විට ඕස්ට්‍රේලියාවේ දිවි ගෙවයි.

බුද්ධි, චිත්‍රපටයේ වැඩ කටයුතු කොහොමද?

සියලු වැඩ කටයුතු මේ වන විට නිම කරලා තියෙන්නේ තිරගත කරන්නට සූදානමින් කියලා කියන්න පුළුවන්.

 

තරු අතර මොනවගේ කතාවක්ද කියලා සඳහන් කළොත්?

මේක ලව් ස්ටෝරි එකක්. ප්‍රධාන චරිතය ඉන්න ගෑනු ළමයගේ නම සුභානි. ඇය නර්ථනයට ළැදි චරිතයක්. නමුත් යම් යම් අවස්ථාවලදී ඇයගේ සිතැඟි අනුව කටයුතු කරන්නට ඇයට බැරි වෙනවා. ඇයගේ පෙම්වතා උදිත්. ඔහු ආස නැහැ සුභානි නැටුම් පැත්තට යොමුවෙනවට. ඔය අතරේ නර්ථන තරඟාවලියක් පැවැත්වෙනවා. මෙතනදි සුභානිට තවත් තරුණයකු හමුවෙනවා. ඔහු සහන්. සහන් ගායකයෙක්. සුභානි සහ සහන් අතර මිත්‍රකමක් ඇති වෙනවා. මේ තිදෙනා අතර දෝලනය වන සුභානිගෙ කතාව තමයි තරු අතර සඳහා අන්තර්ගත වෙන්නේ.

 

ඔබ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ?

ඒක මම ප්ලෑන් කරලා කරපු වැඩක් නෙමේ. ඇත්තටම අහම්බෙකින් තමයි මට ඒ අවස්ථාව හම්බ වෙන්නේ. මගෙ ඥාතීන් මෙහෙ ඉන්නවා. ඉතින් ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ ඇප්ලිකේෂන් යොමු කරල මට මේ රටට එන්න අවස්ථාව උදා වුණා. මම ඒ අනුව තමයි ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවෙ.

 

තරු අතර චිත්‍රපටයෙන් පසුව ඔබ නිර්මාණකරණයේ යෙදෙන්නේ නැද්ද?

ඔබ ඔය ප්‍රශ්නය අහන්න ඇත්තෙ. මම ඕස්ට්‍රේලියාවේ ඉන්න හින්දා වෙන්න ඇති. මෙහෙ හිටියට මම මගේ ඊළඟ චිත්‍රපටය මේ වෙනකොට සැලසුම් කරලා ඉවරයි. එය ලබන වසරේ රූපගත කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල තමයි එහි රූපගත කිරීම් සිද්ධ වෙන්නේ. කොරෝනා වසංගතයේ නිසා නළු නිළියෝ මෙහෙට ගෙන ඒමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි ටිකක් වැඩ කටයුතු කල් ගියේ. මෙල්බර්න් නුවරත් ලංකාවේ කලාකරුවෝ රැසක් වාසය කරනවානේ. ඒ සම්පත්වලින් ප්‍රයෝජනයක් ගන්න මම බලාපොරොත්තු වෙනවා.

 

තරු අතර තිර ගත කරද්දී ඔබට ලංකාවට එන්න සිද්ධ වෙයි නේද?

කොහොමත් මම ඉන්ඩ ඕනෙනේ මේකේ වැඩ කටයුතු කරගෙන යන්න. චිත්‍රපටය සිනමා මණ්ඩලවලට තවම පෙන්නුවේ නැති වුණාට යම් යමි සිනමා උළෙලවල තරු අතර චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. එම අවස්ථාවන්වල දී චිත්‍රපට තිරගත කිරීම හා සම්බන්ධ පාර්ශ්වයක් කිහිපදෙනකුත් හිටියා. ඔවුන්ගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇතැම් අය කිව්වා මේ චිත්‍රපටිය එගොල්ලන්ට දෙන්න කියලාත් ප්‍රදර්ශනය සඳහා. කොයි දේ කරන්නත් මං ලංකාවට එන්න ඕනනේ. නිවාඩුවක් අල්ලල ලංකාවට ඇවිත් ඒ වැඩ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.

 

ඕස්ට්‍රේලියාවේ සිනමා ක්ෂේත්‍රය හා සසඳලා බලද්දී, ඔබට හිතන පරිදි, ලංකාවේ සිනමා කලාව තුළ වෙනස් වෙන්න ඕන තැන් මොනවද?

ඕස්ට්‍රේලියාවේ සෝලෝ සිනමාශාලා, ඒ කියන්නේ තනි සිනමා ශාලා නැහැ. ඒවා මීට වසර දහයකට පහළොවකට කලින් නැත්තටම නැති වෙලා ගිහින්. මෙහෙ තියෙන්නෙ මල්ටි සිනමා සංකල්පය. ලොකු ෂොපින් මෝල් එකක් වගේ හදද්දි ඔවුන් සිනමා ශාලා තුනක් හතරක් හෝ පහක් එම ශාලාවේ උඩ තට්ටුවේ ගොඩනඟනවා. එතකොට එම සාප්පු සංකීර්ණයට පැමිණෙන බොහෝ පිරිසක් චිත්‍රපටයකුත් බලලා තමයි යන්නේ. ලංකාවේ මේ සංකල්පය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් කියනවා හැබැයි නාගරික මට්ටමේ. මම හිතන්නේ නගරයට පමණක් නොවේ ගමටත් මේ මල්ටි සිනමා කියන සංකල්පය යා යුතුයි. චිත්‍රපටයක් බලන්නම නෙමේ එම තැනට එන පිරිස ඉබේම චිත්‍රපටයක් බලන්න යොමු වෙනවා. ඕස්ට්‍රේලියාවේ එහෙමයි. 50% ක් පමණ පිරිස ප්ලෑන් කරගෙන චිත්‍රපටි බලන්න යන්නේ නැහැ. යම් යම් අවශ්‍යතාවලට සාප්පු සංකීර්ණයට ගියාම සිනමාපටයක පූර්ව ප්‍රචාරක පට හෝ එම සිනමාපටයට සබැඳී දැන්වීම් දුටුවම ඉබේම චිත්‍රපටයකුත් බලලා තමයි ගෙදර යන්නේ.

 

ඔබ සිනමාකරුවෙකු වන්නට අදහස් කළේ ඇයි?

චිත්‍රපටයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණා. වසර පහළවක් විතර මම සිනමාපටයේ කතාව එහෙම මනසේ තියාගෙන ඒ හීනයත් එක්ක තමයි ජීවත් වුණේ. මම චිත්‍රපට පිළිබඳ සෑහෙන ස්ටඩී කළා. විදෙස් චිත්‍රපට නැරඹුවා. ඔහොම ඉඳලා සෑහෙන කාලයකට පස්සේ තමයි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ පසුබිම සකස් කර ගත්තෙ. මම චිත්‍රපටයක් කරන්න ආවම හිතුවෙ නැති විදියට මට නළු නිළියන්ගෙන් කාර්මික කණ්ඩායමෙන් ඉතා විශාල සහායක් ලැබුණා. අපේ ක්ෂේත්‍රය ගැන සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ඒක මොකද සමහර දවස්වල අපේ ෂූටිං පටන් ගත්තා මහ පාන්දර. එතකොට උදේ තුනට විතර මේකප් එහෙම දාගෙන ආර්ටිස්ට්ලා ලෑස්ති වෙනවා. අපේ නළුනිළියෝ හරිම ප්‍රොෆෙෂනල්. චිත්‍රපටය රූගත කරද්දී දිල්හානි ඒකනායක අක්කගේ තාත්තා නැති වෙලා සතියයි. ඇය එහෙම මානසිකත්වයකින් ඉද්දි තමයි මගේ චිත්‍රපටයේ රූපගත කිරීම් වලට සහභාගි වුණේ. ඒ කැප වීමට මම හිස නමා ආචාර කරනවා.

 

තරු අතර සිනමා පටයේ නළු නිළියන් පිරිස ගැන මතක් කළොත්?

පාලිත සිල්වා, දිල්හානි ඒකනායක, ශේෂාද්‍රී ප්‍රියසාද්, රොෂාන් රවීන්ද්‍ර,පුබුදු චතුරංග වගේ පිරිස තමයි මෙම චිත්‍රපටයේ රඟපාන්නේ. සුභානිගෙ චරිතය ශේෂාද්‍රි රඟපානවා. උදිත් තමයි පුබුදු චතුරංග. සහන් හැටියට රඟපාන්නේ රොෂාන් රවීන්ද්‍ර.

 

තරු අතර සිනමා පටය සාර්ථක කරගැනීමට තිරය පිටුපස සිට දායකත්වය දැක්වූ පිරිස ගැන මතක් කරමින් මේ කතාව අවසන් කරමු?

කැමරාකරණය ධම්මික රත්නායක,සහාය අධ්‍යක්ෂණය ජනක දොම්මනිගේ, සංස්කරණය රංගන සින්හාරගේ විසින් සිදු කළා.

වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාරගේ, වේශ නිරූපණය අපේ හර්ෂ මංජුල, කලා අධ්‍යක්ෂණය : සුනිල් ප්‍රේමරත්නගේ.