ආවේශ නොවූ ක්‍රමවේදයක්

දෙසැම්බර් 17, 2020

එය 2008 වසරයි. හොලී නම් කාන්තාවක් එක්තරා උත්සවයකට සහභාගී වේ. එම උත්සවයේදී ඇය අතින් ධනවත් නීතිඥවරයකු පිහි ඇනුමකින් ඝාතනයට ලක් වෙයි. අනතුරුව තමන්ද තුවක්කුව ගෙන තම මුහුණ දෙසට හරවා සියදිවි නසා ගැනීමට තැත් කරන විටදී එම ස්ථානයට පොලිසිය පැමිණේ. එම අවස්ථාවේදී තමන් දෙසට ඉලක්ක කර තිබූ තුවක්කුව පොලිසිය දෙසට එල්ල කිරීමත් සමඟ පොලිස් වෙඩි පහරට මුහුණ දී හොලී මරණයට ලක් වේ. මේ අතර ටස්‍යා නම් කාන්තාවක සම්බන්ධ කර තිබූ උපකරණයකින් මුදා හැරේ.

අදෘශ්‍යමාන බලවේග සමඟ යකුන්, අමනුෂ්‍යයන් මිනිස් සිරුරට ඇතුල් වූ පුවත් අතීතයේ සිට අපට අසන්න ලැබේ. ගැමියන් විසින් එවැනි අවස්ථාවල බලි, තොවිල් සිදුකර එම අමනුෂ්‍ය බලාවේග පලවා හරිනු ලබයි. අපරදිග රටවලින් පවා මෙලෙස අමනුෂ්‍ය බලවේග පිළිබඳ කතා අසන්නට ලැබේ. නමුත් ජීවතුන් අතර සිටින මිනිසෙකුට තවත් මිනිසෙකුගේ සිරුරට ඇතුල්වී ඔහු හෝ ඇය මෙහෙයවිය හැකිද? ටස්‍යා යනු එවැනි කාන්තාවකි. ඇය කුළියට මිනි මරණ තැනැත්තියකි. ඇය වෙනත් පුද්ගලයෙකුගේ සිරුරට ඇතුල්වී ඔහු හෝ ඇය මඟින් මෙම ඝාතන සිදු කරනු ලබයි. ඇයට එම හැකියාව ලැබෙන්නේ යම් උපකරණයකට සවි කිරීමෙන් අනතුරුවය.

හොලී පිළිබඳ සිදුවීමේදි සියදිවි නසා ගැනීමට කළ උත්සාහය නැවැත්වීමට ටස්‍යාට නොහැකි විය. මේ හේතුවෙන් ඇය සිය ආයතන ප්‍රධානියා වන ගර්ඩර්ගේ පසුවිපරමට ලක්වීමට සිදු වේ. එම අවස්ථාවේදී ඇය තම මනසේ ප්‍රශ්නයක් නොමැති බව වටහා ගනී. කුඩා වියේදී සමනලයකු මැරු පසු දුක් වූ අයුරුත් ඇයට සිහි වේ. දැන් ඇයට උවමනා වී තිබෙන්නේ සැමියා සහ දරුවා සමඟ සතුටින් ජීවිතය ගත කිරීමටයි. ඇය සේවයේ නිරත ආයතනය මෙතෙක් ලද ඉහළම මිල නියම වූ කාර්යය පැවරෙන්නේ මේ අතරතුරදීය. රීඩ් නම් තරුණයකු විසින් ජෝන් නම් තම සුළුපියා සහ එවා නම් ඔහුගේ දියණිය ඝාතනය කර දේපළ හිමිකර ගැනීමට සැරසේ. ගර්ඩර් මෙයට දැඩි සේ ඇල්මක් දක්වන්නේ පසුව රිඩ්හට තර්ජනය කර එම දෙපළ සියල්ලේද පාලන බලය සියතට ගැනීමේ කපටි අරමුණැතිවය. මේ සියලු කාරණා පෙරදැරිව ජෝන්ගේ දියණියගේ පෙම්වතා වන කොලින් ටේට්ගේ සිරුරට ඇතුල්වීමට ටස්‍යා වෙත නියම වේ. ඔක්තෝබර් 02 වැනිදා සිට විද්‍යා ප්‍රබන්ධ, මනෝවිද්‍යාත්මක, ත්‍රාසජනක චිත්‍රපටයක් වන Possessor දිග හැරෙන්නේ මෙවැනි පසුබිමකය.

බ්‍රැන්ඩන් ක්‍රොනෙන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ Possessor චිත්‍රපටය විචාරක ප්‍රතිචාර ඉහළින් ලද චිත්‍රපටයකි. විශිෂ්ට සිනමාකරුවකු වන ඩේවිඩ් ක්‍රොනන්බර්ග්ගේ පුතණුවන් වූ බ්‍රැන්ඩන්ගේ චිත්‍රපටවල ප්‍රේක්ෂකයා ආතතියට ලක් කරන ස්වභාවය නොඅඩුව තිබෙන බව විචාරක අදහසයි. රොට්න් ටොමැටෝස් අඩවියේ එයට ලකුණු 93%ක් හිමි වී ඇති අතර අයිඑම්ඩීබි දර්ශකයේ 6.4/10ක් හිමි වී ඇත. ඇන්ඩ්‍රයා රයිස්බර්ග්, ක්‍රිස්ටෝපර් ඇබෝර්ට්, රුසෙයිෆ් සදර්ලන්ඩ්, ෂෝන් බීන් ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වී ඇත.