සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කළ ආසු

දෙසැම්බර් 24, 2020

යොවුන් සිනමාකරුවන් අතර සිටින වෙනස්ම චින්තනයකින් යුතු සිනමාකරුවකු ලෙස ප්‍රකට සංජීව පුෂ්පකුමාර සිය නවතම සිනමා නිර්මාණය මේ දිනවල තනමින් සිටී. ඉගිළෙන මාළුවෝ, දැවෙන විහඟුන් වැනි ආන්දෝලනාත්මක සිනමා පටය නිර්මාණය කළේ මෙම නිර්මාණකරුවාය. සංජීවගේ නවතම නිර්මාණය සඳහා නම තබා ඇත්තේ ආසු යනුවෙනි.

 

සංජීව ආසු කියන නමේ තේරුම මොකක්ද කියා අප පාඨකයෝ දැනගන්න කැමැත්තෙන් ඇති?

ඒකෙ තේරුම මම දැන්මම කියන්නේ නැහැ. මොකද චිත්‍රපටය නරඹලා ඉවර වෙද්දි ආසු කියන නමේ තේරුම මොකක්ද කියන එක පැහැදිලි කිරීමක් සිද්ධ වෙනවා.

ආසු නිර්මාණය කරන්නට මුල පිරුණේ කොහොමද?

ලොස්ඇන්ජලීස්වල තියෙනවා නෙක්ස්ට්ටෙන් කියලා සිනමාකරුවන් වෙනුවෙන් තිබෙන ආයතනයක්. එය පරිපාලනය වන්නේ මැලේසියාවේන්. ඔවුන් තීරණය කරලා තිබෙනවා තෝරාගත් සිනමාකරුවන් විසි දෙනකු වෙනුවෙන් සිනමාපටයන් නිර්මාණය කරන්නට ආරාධනා කරන්න. එම ආයතනය මඟින් තමයි එම සිනමා සිනමාපටය සඳහා මූල්‍යමය දායකත්වය සපයන්නේ. ඔවුන් පවත්වනවා ඒෂියා ෆියුචර් මාස්ටර් කියලා සිනමා උළෙලක්. මේ චිත්‍රපට ඇතුළත් කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මේ ආරාධනය මත තමයි ආසු සිනමාපටය නිර්මාණය වන්නට පටන් ගන්නේ.

 

ඔබ සිනමාපටය සඳහා මෙවර පාදක කර ගන්නේ අතිශය සංවේදී කතා පුවතක්. කොහොමද මේ සඳහා වස්තු බීජය හොයාගත්තේ?

මේක සත්‍ය කතාවන් පාදක කරගනිමින් ලියැවුණු තිර රචනයක්. ආසු සිනමාපටයේ කතාවේ ප්‍රධාන චරිතය නෙළුම්. ඇයට පියයුරු පිළිකාවක් වැලඳීලා තියෙනවා. මේ වන විට ගැබිනියක්ව සිටින ඇය තමන්ගේ දරුවාව නීරෝගීව ප්‍රසුති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඇය මහඟු කැප කිරීමක් කරනවා. ඔය මම කිව්වේ මූලික කතාව පමණයි. නෙළුම්ගේ ඒ ජීවන අරගලයේ කතාව තමයි ආසු සඳහා ඇතුළත් වෙන්නේ. ඔබ අසා ඇති ඉන්දිරා ජයසූරිය ඒ කියන්නේ හිටපු කථානායක කරු ජයසූරිය මහත්මයාගේ දියණිය. ඇයටත් මේ අන්දමේ රෝගයක් වැලඳීලා දිවියෙන් සමුගන්න සිද්ධ වුණා. නමුත් ඇය අන්තිම මොහොත දක්වා තම සමීපතමයින් වෙනුවෙන් මහත් වූ කැප කිරීමක් කළා. මෙය වස්තුබීජය කරගනිමින් තමයි ආසු. ලියැවෙන්නේ. මේක ඉන්දිරා මහත්මයගෙම කතාව නෙමෙයි. ඇගේ ජීවිත කතාවෙන් යම් යම් දේවල් ටිකක් රැගෙන ඒ හා සමාන ජීවිතයක් හිමි කාන්තාවන් කිහිප දෙනෙක්ගේ අත්දැකීම් එකමුතුවෙන් ආසු සිනමාපටයේ තිර රචනය මා අතින් ලියවෙනවා.

 

ඔබ මින් පෙර නිර්මාණය කළ චිත්‍රපටයක් ආන්දෝලනාත්මක කතා පුවත් මැවීමට සමත් වුණා. ආසු එහෙම වෙයිද නොවෙයිද?

පළමු කාරණය මම සිනමාපට නිර්මාණය කරේ නැහැ ආන්දෝලනාත්මක කතා මැවෙන්න. සිනමාපට නැරඹූ පිරිස තමයි ඒක තීරණය කළේ. සිනමාපටයක් නිර්මාණය කරලා ප්‍රේක්ෂකයින්ට බාර දුන්නට පස්සේ ඔවුන් තමයි තීරණය කරන්නේ එය තියන්න ඕන තැන කොතැනද කියලා.

 

ආසු සිනමාපටය සඳහා ඔබ රංගන දායකත්වය ලබාගත් වැඩිදෙනෙක් මින් පෙර ඔබේ සිනමාපටය සඳහා රංගනයෙන් දායක නොවුණු අය?

මගෙත් එක්ක මීට පෙර වැඩ කරපු එකම එක නළුවායි ආසු සිනමාපටයට දායක වුණේ. ඔහු ශ්‍යාම් ප්‍රනාන්දු. මේකේ නෙළුම් කියන චරිතයට මට ශරීර ප්‍රමාණයෙන් පවා ගැළපෙන රංගන ශිල්පිනියක් වුවමනා වුණා. අනික එය ආවට ගියාට රඟපාන්න පුළුවන් චරිතයක් නෙමෙයි. ඒ වගේම නිළියක් විදිහට පැමිණිලි ඉදිරිපත් නොකරන අයෙකුත් වුණොත් හොඳයි කියලා තමයි මට හිතුණෙ. මොකද නිර්මාණයක් කරද්දි අපිට හැමෝම සතුටු කරන්න බෑ. යම් යම් ප්‍රශ්න ගැටලු මතු වෙනවා. ඒ වගේ අවස්ථාවන් අපි හැමෝම විසින් විඳදරා ගත යුතුයි. මෙවර මම වෙනමම පිරිසක් තෝරා ගත්තේ ඒකයි. ඔවුන් එවන් තත්ත්වයන්ට මුහුණ දීමට කියාව ඇති පිරිසක්. ඒ වගේම චිත්‍රපටයේ රඟපාන කණ්ඩායම චිත්‍රපටයට හානියක් නොකරන පිරිසක් වෙන්න ඕනේ. පසු සඳහා නළු නිළියන් සහ නිෂ්පාදන කණ්ඩායම තෝරා ගනිද්දි මම බැලුවේ මේ වගේ කාරණා ටිකක්.

 

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක ඔබ නැවතත් රංගන ශිල්පියකු විදිහට ප්‍රේක්ෂකයන් අතරට ගෙන එනවා ආසු චිත්‍රපටය හරහා?

ඔව්. ආචාර්ය සෝමරත්නයන් අන්තිමට රඟපෑවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජෙම්ස් පීරිස් මහත්මයගෙ අහසින් පොළොවට චිත්‍රපටියේ. වසර තිස් ගණනකට පසු තමයි ඔහු මෙහෙම නළුවෙක් විදිහට නිර්මාණයකින් දකින්නේ. සෝමෙ අයියා මේ චිත්‍රපටයේ වෛද්‍යවරයෙක්. මට අවශ්‍ය වුණා මින් පෙර වෛද්‍යවරයෙක් ලෙස දැක නැති නළුවෙක් ඉදිරිපත් කරන්න. අනික සෝමේ අයියා හා මා අතර ඇත්තේ ලොකු මිත්‍ර සම්බන්ධතාවයක්.

මගේ ජීවිතයේ ලබපු ලොකු ගොඩක් ජයග්‍රහණය පිටුපස ඔහු සිටියා. ඒකත් හේතුව වුණා වුණා ඔහුට මේ චරිතය ලබා දෙන්න.

 

ආසු සිනමා පටයේ නළු නිළියන් සහ නිෂ්පාදන කණ්ඩායමේ පිරිස මතක් කළොත්?

උදාරි වර්ණකුලසූරිය තමයි ප්‍රධන චරිතය. ආචාර්ය සෝමරත්න දිසානායක සහ ඔහුගේ බිරිය, සිනමා නිෂ්පාදක රේණුකා බාලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ධිනාරා පුංචිහේවා, ස්වේතකී වාදිසිංහ, චාන්දනී සෙනෙවිරත්න, අතුල වේරගොඩ තමයි නළු නිළියෝ.

තිර රචනය මගේ. සංගීතා නිල්නදී ගොඩගම සම තිර රචනයෙන් දායක වුණා. කැමරා අධ්‍යක්ෂණය විශ්වා බාලසූරිය, නිෂ්පාදන සහයෝගීත්වය සුරංග හඳපාන්ගොඩ, රේඛීය නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙන් සිද්ධ වුණා. නිරෝෂන් එදිරිමාන්න සහාය අධ්‍යක්ෂවරයා. හැරල්ඩ් කරුණාතිලකගේ නිෂ්පාදන කළමනාකරු. අජිත් කුමාරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් සහ අජිත් රාමනායක සංස්කරණයෙන් නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ආසු චිත්‍රපටයට දායකත්වය ලබා දුන්නා. පූර්ණ ජය ශ්‍රී කලා අධ්‍යක්ෂවරයා, අජන්ත අලහකෝන්ගේ රංග වස්ත්‍ර නිර්මාණය කළා. ගයාන් රුක්ෂාන් පෙරේරා නිශ්චල ඡායාරූප ශිල්පියා.