කලාමැදිරි දස දහසක් දෙනවද සඳ දෙන ආලෝකේ

“ඔක්කොම හරි”
දෙසැම්බර් 31, 2020

1964 වර්ෂ⁣යේ දී, 'යටගිය දවස ' නම් චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින්, ලාංකික සිනමා ක්‍ෂේත්‍රයට පැමිණි විජේපාල හෙට්ටිආරච්චි ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය 'ඔක්කොම හරි' ය.

ඒ එස්.රාමනාදන් සමඟ සම අධ්‍යක්ෂණයකි. විජයපාල හෙට්ටිආරච්චි චිත්‍රපට නිපදවූයේ බිසවා ෆිල්ම්ස් නම් ලේබලය ඔස්සේය.

ඔහු, ලාංකික සිනමාවට ෆැන්ටැසිය ගෙන ආවේ, සංගීතය, ගීතය, හා, තාරුකා රශ්මිය මගිනි. ඔහු ගේ මුල් චිත්‍රපටය 'යටගිය දවස' තුළින් එකී ෆැන්ටැසිය අරඹා, එය ඔහු ගේ 'ඔක්කොම හරි' චිත්‍රපටයට ද, ගෙන ආවේ ය. නමුත් ඉන් පසු, ඔහු නිෂ්පාදන අධ්‍යක්ෂණය කළ 'පේනව නේද?' තුළ නම් අර ෆැන්ටැසිය තිබුණේ නැත. එය මන්දගාමී චිත්‍රපටයක් වූ අතර එහී සුපුරුදු තාරුකා රශ්මිය ද අඩු වී තිබිණි.

'ඔක්කොම හරි' වඩාත් ම 'ස්කෝර්' කළේ ආර්. මුත්තුසාමි ගේ සංගීතය හා ලතා, සුජාතා, ධර්මදාස, මිල්ටන්, හා මල්ලිකා කහවිට ගේ ගී ගායනා ය. 'ආදරේ මන්දිරේ සඳළු තල එළිවෙලා' ' ආවේ කොහින්දෝ', ' පිපෙන මලක මී මධු රස', ' දෙවියන් වන්නේ තිරිසන් වන්නේ' වැනි ස්වතන්ත්‍ර ගීත තුළ තිබූ මිහිරියාව, 50 වසරක් පහු වුණද, අදටත් වලංගු විය.

'ඔක්කොම හරි' චිත්‍රපටයේ ජනප්‍රිය විය හැකි අංග කීපයක් තිබිණි. ගීතයට හා සංගීතයට අමතර ව, එහී හොඳ 'ස්ටාර් වැලිව්' එකක් තිබිණි. ඇතැම් නළු නිළියන් චිත්‍රපටය 'බරින්' පිරවූ අතර, තවත් අය ' ආකර්ෂණයෙන්' පිරවී ය. ගාමිණි, ජීවරාණි, සන්ධ්‍යා, කුලතුංග, නෙල්සන්, තලතා, හර්බට්, ඇන්තනි සී, ක්‍රිස්ටි ලෙනාඩ්, බී.එස් වැන්නවුන් චිත්‍රපටය ජවයකින් පිරවී ය. එයට මුත්තුසාමි ගේ සංගීතය හා ඉහත කී ගායක ගායිකාවන් ගේ ගායනා මුළු චිත්‍රපටය ම ෆැන්ටැසියක් කළේය.

1965 දී 'චන්ඩියා' චිත්‍රපටයේ දී හෙණ ගෙඩි දෙකක් පුපුරනවාක් මෙන් එකිනෙකට හැප්පුණු ගාමිණි හා එච්.ඩී. කුලතුංග, දෙවැනි වරට ද එකට හැප්පුණේ 'ඔක්කොම හරි' චිත්‍රපටයෙනි. ගාමිණීට මෙල්ල කරන්න බැරි ම ප්‍රතිවාදය වූයේ එච්.ඩී.කුලතුංග ය. ඇතැම් අවස්ථාවල දී ගාමිණීව ද අබිබවා යන තරමේ ජවයක් හා රළු ආකර්ෂණයක් කුලතුංග සතු විය. ඉන් පසු ද ඔවුන් දෙ දෙනා චිත්‍රපටවල එකිනෙකට හැප්පුණු අතර, ඒ අතරින් ද 'ආත්ම පූජා', හා 'සූර චෞරයා ' කැපී පෙනිණි.

චිත්‍රපටයේ කථාව ගෙතී ගියේ සුදන්ත නම් තරුණයෙක් වටාය. ඔහු කඩවසම්, එ ලෙස ම කිසි යම් වැදගත් රැකියාවක නියුතු, නිතර ම අත් දිග කමිසවලින් සැරසුණු, කළු අව් කණ්ණාඩි පැලඳ ගත් 'ස්කූටරයකින්' පැමිණෙන, විනෝදකාමී පුද්ගලයෙක් විය. එ කල ස්කූටරයක් පාවිච්චි කිරීමට හැමෝට ම නොහැකි ය. එදා ස්කූටරයක් තිබෙනවා යනු අද කාර් රථයක අයිති කරුවෙකු සේ පිළිගැනීමක් තිබිණි. එහෙයින් සුදන්ත වැදගත් පුද්ගලයෙක් ලෙස කවුරුත් පිළිගත් හ.

සුසිලා, ද එ සේ සාරවත් පවුල් පසුබිමක් තිබූ රූමත් තරුණියකි. සුසිලා හා සුදන්ත අතර කෙ‍ලෙසක, ආදරයක් හට ගත්තා දැයි නොදත් වූව ද, ඔවුන් ගේ හදවත් නම් එකට බැඳී තිබිණි.

“ආදරේ මන්දිරේ

සඳළු තල එළිවෙලා

ජීවිතේ, මී පිරේ

පිටාරය එයි ගලා”

රෙජී යනු සුසිලා ගේ නිවසේ නැවතී සිටින සුසිලා ගේ පියා ගේ සොහොයුරා ගේ පුත්‍රයෙකි. ඔහු ගේ පියා හා මව දෙ දෙනා ම මිය ගොස් සිටි අතර, ⁣රෙජී හැදෙන්නේ, වැඩෙන්නේ, සුසිලා ගේ දෙමාපියන් යටතේ ය. රෙජී ද සුසිලාට ආදරය කරන්නට වූ අතර, කවදා හෝ සුසිලා අයිති විය යුත්තේ තමාට යැයි යන සිතුවිල්ලෙනි ඔහු ජීවත් වූයේ. එහෙත් සුසිලා තම දෙමාපියන් ව කැමති කර ගත්තේ සුදන්තට ය. ඔවුන් ද සුදන්ත ගේ පිළිවෙළට කැමති විය. දුෂ්ටයෙක් නිර්මාණය වූයේ ඔය අතරේ දී ය. දුෂ්ටයා රෙජී ය.

මැණිකා මෙම කථාව තුල තවත් ප්‍රබල චරිතයකි. ඇය ජිවත් වූයේ කැලෑබද ප්‍රදේශයක ගම්මානයක ය. එක් අවස්ථාවක ඇය තම මාමා කෙනෙකු සමඟ කොළඹට පැමිණියේ දොස්තර කෙනෙකු මුණ ගැසීමට ය. එකී දොස්තරව මුණගැසීමට ඇයට උපකාර කරන්නේ සුසිලා ය. ඒක වෙන අලකලංචියකි. එය සුසිලා වත්, මැණිකා වත් මුණ ගැස්වීමට එහි තිරනාටක රචකයා ඇටවූ ප්‍රයෝගයකි. හේතුව යළි ඔවුන් දෙ දෙනා චිත්‍රපටයේ අවසන් භාගයේ දී අත්‍යවශ්‍ය ම කාරණයකට මුණගැස්වීමට නියමිත ව තිබූ නිසා ය.

සුසිලා ගේ පියා ගේ හිත දිනාගෙන ඔවුන් ගේ විවාහයට දින වකවානු ලැස්ති කරමින් සිටි සුදන්තව, වෙනත් උගුලකට පටලවා, ඔහු කෙරේ , සුසිලා ගේ පියා ගේ සිතේ ඇති ඇල්ම නැති කිරීමේ සැලැස්මක් රෙජී විසින් දියත් කළේ ,ඔහු ගේ හිතවත් ඉන්ධන පිරවුම් හලක අයිතිකරුවෙකු සමඟ ය.

සැලසුමට ඔවුන් හඳුනන රූමත් තරුණියකව සහභාගි කර ගති. සැලසුමේ මුල් පියවර වශයෙන් රෙජී සුසිලා ගේ පියා⁣ට ඒත්තු ගැන්වූයේ,සුදන්ත සෙල්ලක්කාරයෙකු බව ය. ඔහු තවත් රූමත් තරුණියක් සමඟ ද පෙමින් වෙළී ඇති බවත්, ඔවුන් දෙ දෙනා ස්කුටරයේ එකට රවුම් ගසන බවත්, කවදා හෝ එය අතට ම හසු කර දීමට හැකි බවත්, රෙජී විසින් සුසිලා ගේ පියාට කියා, සුසිලා ගේ පියා ගේ සිත ඔද්දල් කෙරී ය.

දිනක් සුදන්ත තම ස්කූටරයට ඉන්ධන පුරවා ගැන්මට එම පිරවුම් හලට පැමිණි පසු අර තරුණිය සුදන්ත ලඟට පැමිණ, ඇයව ස්කූටරයෙන් රෝහලට රැගෙන යන ලෙසට අයැද සිටියේ, ඇය ගේ මව එම රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවක් කීමෙන් ය. එවන් අවස්ථාවක උපකාරයක් ඉල්ලු පසු එය ඉවත දැමීමට නොහැකි නිසා, සුදන්ත ඇයව ස්කූටරයේ නංවාගෙන රෝහල වෙත ගෙන යන විට ,රෙජී, සුසිලාගේ පියා සමඟ රථයක පැමිණ සැංගී, ඒ දෙස බලා සිට, සුදන්ත යාළු තරුණිය ඇය බව කියා රෙජී විසින් සුසිලා ගේ පියාට එය ඒත්තු ගැන්වී ය. සිදුවීම සියැසින් දුටු සුසිලා ගේ පියා එය වරදවා වටහාගෙන සුසිලාට, සුදන්ත සමඟ ගෙන යන ප්‍රේමය නතර කරන ලෙස තරවටු කර, ඔවුන් ගේ විවාහය ද අවලංගු කළේ ය. සුසිලා,මෙය කෙලෙසකවත් විශ්වාස නොකෙරූ අතර, මෙය අනිවාර්යනේ ම රෙජී ගේ සැලැස්මක් බව, ඇය අනුමාන කළා ය.

කේ.ඒ.ඩබ්ලියූ පෙරේරා, තම තිරනාටකය, කුතුහලයකට හැරවූවේ, මිනීමැරුමක් එකතු කරමිනි. රෙජී ගේ යහළුවා ගේ ඉන්ධන පිරවුම් හලේ සේවකයෙක්, සුදන්තට හිතවත්ව සිටියේ ය. සුදන්ත තම ස්කූටරයට ඉන්ධන පුරවාගන්නේ මෙම පිරවුම් හලේ ය. එකී සේවකයා සුදන්ත සමඟ කුලුපග වූයේ එසේ පැමිණෙන අතරේ දී ය. එ දා ඉන්ධන පිරවුම් හලේ අයිති කරු , ඔහු ගේ හිතවත් තරුණිය හා රෙජී සමඟ කථා කරමින් සිටි කුමන්ත්‍රණය මේ සේවකයා අසා සිටියේය. ඔහු එය දැනගත් පසු වහා දුව ගියේ සුදන්තගේ කාමරයටය. ඒ මෙම කුමන්ත්‍රණය සුදන්තට කීමට ය. ඒ වන විට සුදන්ත එකී සිදු වීමට මුහුණ දී තිබුණ ද, එම කුමන්ත්‍රණය කළේ කවුදැයි ඔහු මෙම සේවකයා ගෙන් දැන ගති. ඔහු දිව යනවා ඉන්ධන පිරවුම් හලේ අයිති කරු දිටි ය. ඔවුන් ඔහු සොයා සුදන්ත ගේ කාමරයට ගිය හ. එම සේවකයා රෙජි අතින් මරණයට පත්වුණේ එ විට ය. රෙජි සහ ඔහු ගේ මිතුරා එතනින් පැන ගිය පසු, එතැනට එන්නේ සුදන්ත ය. අර සේවකයා ගේ මරණයට අසුවන්නට යන්නේ සුදන්තව ය. එහෙයින් ඔහු එතැනින් පැන ගියේය.

පැන යන සුදන්ත මේ අහිකුණ්ඨිකයන් පිරිසක් සමඟ කැලෑබද ගම්මානයකට පිවිසේ. සුදන්ත නගරබද ජීවිතයෙන් වෙනස් ව, ගම්බද ජීවිතයකට පරිවර්තනය වන්නේ 'ආරොං' නමිනි. ඔහු එහි ට්‍රැක්ටර් රියදුරෙකු ලෙස රැකියාවක් සොයා ගනී. මැණිකා ,ආරොංට මුණ ගැසෙන්නේ මෙහි දී ය. ඒ මුණ ගැහීමෙන් මැණිකා ගේ හිතේ ආරොං ගැන ආදරයක් ඇති වෙයි.

“පිපෙන මලක මී මධු රස පිරෙන්නයි,

මධු රස පිරෙන්නයි

අඳුරු හිතක රන් එළියක් වැටන්නයි,

එළියක් වැටෙන්නයි

හමන සුලඟ අතු පැල තුළ රැදෙන්නයි

පැල තුළ රැදෙන්නයි”

කළු බංඩා එම ගමේ හයිරංකාරයෙකි. ඔහු ඇත් ගොව්වෙක් වූ අතර, ඔහු ගේ සිතේ මැණිකා ගැන ආලවන්ත හැඟීමක් පහළ වී තිබිණි. ඇතැම් විට මැණිකා ගේ සිතේ එවන්නක් මුලින් තිබෙන්නට ඇත. එහෙත් සුදන්ත ආරොං වී ආ පසු මැණිකා එය සිතෙන් අත්හැර ආරොංට ආදරය කරන්නට විය.

කළු බංඩා, ආරොං සමඟ හැප්පෙන්නට ප්‍රධානතම හේතුව මැණිකා ය. අනිත් අතට, එතෙක් ගමේ ආධිපත්‍යය තම අතේ තබා ගෙන සිටි කළු බංඩාට, දැං දැං ආරෝං අභියෝග කිරීම දරා ගැන්මට නොහැකි විය. එක් දිනක් කළු බංඩා අරෝං ගෙන් හොඳ හැටි ගුටි කෑවේ, මැණිකාගේ හුට්ටප්පරයකට ය. එදා සිට කළු බංඩා මාන බැලුවේ ආරොංව නැති කරන්නටය. කළු බංඩාට වඩාත් දරා ගැන්මට නොහැකි වූයේ මැණිකා, ආරොං ගේ පෙම්වතිය වීමට දැඟලීමත්, ඇය ආරොං ගේ හයිය අර ගෙන කළුබංඩාට ආඩම්බර කථා කියමින් ඔහුව හැම විට ම මගහැරීමට උත්සහ කිරීම නිසා ය.

මේ අතර ආරොං වෙසින් සිටින සුදන්ත තමා නොකළ වරදකට වරද කරුවෙකු වී තම පෙම්වතිය වූ සුසිලාගෙනුත් වෙන් වී ගත කරන මේ ජීවිතය ගැන ඉමහත් සේ කලකිරී සිටියේ ය.

“දෙවියන් වන්නේ ,

තිරිසන් වන්නේ මිනිසා ම යි ලෝකේ

කලාමැදිරි දස දහසක් දෙනවද

සඳ දෙන ආලෝකේ

සඳ දෙන ආලෝකේ”

මැණිකා ආරොං ගැන කොතෙක් බලාපොරොත්තු වී සිටිය ද, ඔහුගේ සිත තිබුණේ නගරයේ පෙර ඔහු ගත කළ ජීවිතයට හා සුසිලාට ය.

මේ අතර නගරයේ පොලිසිය ඉදිරිපිට, සුදන්ත ගේ ඡායාරූපයක් සහිත පත්‍රිකාවක් අලවා තිබුණේ ඔහු ව දුටු තැන අත්අඩංගුවට ගන්නට කියා ය. දිනක් නගරයට පැමිණි කළු බංඩාට මේ පත්‍රිකාව ඇස ගැටිණි. ගමේ උඩු රැවුලක් දමා ගෙන ට්‍රැක්ටර්කරුවකු ලෙස අරෝං යන නමින් පෙනී සිටින්නේ මේ සුදන්ත බව කළුබංඩා හදුනා ගති. ඔහු වහා ගමට ගොස් මැණිකාට මේ විස්තරය කියන්නට විය. ඇය අරෝංව හමුවී බොරු රැවුල ගැලවූ පසු අරෝං මෙතෙක් රැකගෙන සිටි බොරුව අහුවන්නට විය. ඔහුට මැණිකාට ඇත්ත ම කියන්නට සිදු විය.

දැං ආරොං යළි පෙර සිටි සුදන්ත විය. මැණිකා ඔහුව වැඩි ආරක්ෂාවට ගල් ගුහාවක සැඟවූවා ය. මේ අතර, සුසිලා, ලද ආරංචියක් අනුව සුදන්තව සොයා මේ ගම්මානයට පැමිණියා ය. මැණිකා මෙහි සිටින බව ඇය දැනගෙන ඇයව සොයා ගියා ය. මැණිකා සුසිලාව ගල් ගුහාවට රැගෙන ගොස් සුදන්තව මුණ ගැස්වූවා ය.

ඒ අතරේ දී, කළු බංඩා මැණිකාට බලහත්කාරකම් කරන්නට යන විට, ඔහු⁣ගේ අතින් ඇගේ ගෙල සිර වී ඇය මරණයට පත් වූවා ය. එම සිදුවී ම කළු බංඩාගේ ඇතා දුටුවේ ය. ඌ කළු බංඩා පසු පස එළවා ගොස් කකුලෙන් පාගා කළු බංඩාව මරා දැමී ය.

කේ.ඒ. ඩබ්ලියූ , කථාන්දර ලිවීමට අතිදක්ෂයෙකි. චරිත කීපයක් කේන්ද්‍රීය කරගෙන ඒවා පටලවන්නටත්, අවසානයේ ඒවා ලිහා දමන්නටත් ඔහු හරිම සූරයෙකි. ' ඔක්කොම හරි' කථාව එ ලෙස පටලවා දැම්මේය. එය පැටලී තිබූ ආකාරයට, මේවා මේ ආත්මයේ දී නම් ලිහා ගැන්මට බැරි වේ වි යැයි ප්‍රේක්ෂකයන් හට සිතෙන්නට විය. එහෙත් අවසානයේ දී කේ.ඒ.ඩබ්ලියු විසින් ඒවා ලිහා දමා සිරගත වන්නට ඔන්න මෙන්න කියා සිටි, සුදන්තව බේරා, එම මිනීමැරුම සිදු කළ රෙජීව පෝරකයට ඇර, සුසිලා හා සුදන්තව එක් කළේ ය.

සුදන්තව බේරා දෙන්නට නම්, සුසිලා තමා හා විවාහ විය යුතුයැයි, රෙජී විසින් සුසිලාට කොන්දේසියක් පැනවී ය. සුදන්තව බේරෙනවා නම්, තමා ඕනෑ ම කොන්දේසියකට යටත් වෙන බවක් සුසිලා කීවා ය. ඒ හෙයින් රෙජී උසාවියේදි සුදන්තව බේරා දුනි. පොරොන්දු වූ පරිදී සුසිලා රෙජි සමඟ යන්නට වූ අතර, සුදන්ත ඒ දෙස තුෂ්නිම්භූත ව බලා සිටියේ ය.

එහෙත් අවසාන⁣ය එ සේ වීමට 'ඔක්කොම හරි' අධ්‍යක්ෂක විජේපාල හෙට්ටිආරච්චි, ඉඩ තිබ්බේ නැත. එදා රෙජි විසින් මිනීමැරුම කරන අවස්ථාවේ කැමරාකරුවෙකු විසින් හොර රහසේ එය ඡායාරූප ගත කළේ ය. මේ කැමරාකරුවන් කොහෙන් එනවාද කියා දන්නේ ඉතිං කථා රචක කේ.ඒ.ඩබ්ලියු සහ අධ්‍යක්ෂක විජේපාල හෙට්ටිආරච්චි පමණි. එම කැමරාකරුවා මෙම ඡායාරූපය සී.අයි.ඩී. එකට භාර දී තිබිණි. හරියට ම ඒ වෙලාවට ම සී.අයී.ඩී. එක පැමිණ, රෙජිට එම ඡායාරූපය පෙන්වා මිනිසෙකු මැරූ වරදට අත් අඩංගුවට ගත්තේය. සුසිලා, සුදන්ත ළඟට ගියා ය. ප්‍රේක්ෂකයන් විසිල් ගහමින් හුරේ දැමුවේ සුදන්ත බේරුණු නිසා නොව, ගාමිණි ෆොන්සේකා බේරුණු නිසා ය. ගාමිණී ෆොන්සේකාව හිරේට දැමුණ හොත්, ප්‍රේක්ෂකයන් විසින් ඔහුව බේරා ගෙන, අධ්‍යක්ෂක විජේපාල හෙට්ටිආරච්චි හා කථා රචක කේ.ඒ.ඩබ්ලිව් ව අල්ලා සිරගත කරන්නට ඉඩ තිබිණි. එ තරම් ආකර්ෂණයකි, ගාමිණි ෆොන්සේකාට එ කල තිබුණේ.

සුදන්ත හා ආරොං ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑ අතර, ජීවරාණී කුරුකුලසූරිය (සුසිලා ) සන්ධ්‍යා කුමාරි (මැණිකා), එච්.ඩී. කුලතුංග (කළු බංඩා) නෙල්සන් කරුණාගම (රෙජී) අනෙක් ප්‍රධාන චරිත රඟපෑ හ. ඇන්තනී සී. පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ්, බී.එස්.පෙරේරා, හර්බට් අමරවික්‍රම, තලතා ගුණසේකර, ජෝශප් සෙනවිරත්න , හෙලන් කුමාරි, චන්ද්‍රකලා, එම්.වී.බාලන්, සෙසු චරිතවලට පණ දුනි.

ගාමිණී ෆොන්සේකා සුදන්ත හා ආරොං ලෙස එකිනෙකට පරස්පරව දක්ෂ රඟපෑමක නිරත විය. එච්.ඩී.කුලතුංග ද තම සුපුරුදු දුෂ්ටයා ගේ චරිතය ඇගට දැනෙන්නට රඟපා තිබුණි. සන්ධ්‍යා කුමාරි ආකර්ෂණීය විය. ජීවරානී කුරුකුලසූරිය තම සුවිශේෂිත රූපයෙන් තිරය මනස්කාන්ත කළාය. නෙල්සන් කරුණාගම , ඇන්තනී සී පෙරේරා කැපී පෙනුණි. අනෙක් අය තම තමන්ගෙ චරිත හරහා තම තමන් පෙනී සිටියහ.

විජේපාල හෙට්ටිආරච්චි , එස්.රාමනාදන් සමඟ එක්ව 'ඔක්කොම හරි' අධ්‍යක්ෂණය කළ අතර, සුමියුරු, ගී තනු හා සංගීතය ආර්.මුත්තුසාමි ගෙනි

විජේපාල හෙට්ටිආරච්චි විසින් ම නිෂ්පාදනය කළ 'ඔක්කොම හරි' තරු ප්‍රභාශ්වරයෙන් සපිරි අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපටයක් විය. එය 1967 ඔක්තෝබර් 23 වන දින සිට තිරගත කිරීම ආරම්භ කළේ ය.