ආදරයේ සමහර නිර්වචන වැරැදියි

‘එක්තරා ආදර කතාවක්’ හැදූ යශෝධරා කාරියවසම්
ජනවාරි 7, 2021

පසුගියදා පැවති "Agenda 14" කෙටි චිත්‍රපට උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට "එක්තරා ආදර කතාවක්" කෙටි චිත්‍රපටය සමත් වුණා. කුටුම්භගත ජීවිතයේ එක්තරා ප්‍රචණ්ඩකාරී පැතිකඩක් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ගෙනහැර පෑමට සමත් එම චිත්‍රපටය තරුණ අධ්‍යක්ෂවරියකගේ නිර්මාණයක්. ඇය නමින් යශෝධරා කාරියවසම්. ලැබුණු සම්මාන ගැන වගේම කෙටි චිත්‍රපටය ගැන කතා කරන්න අපි ඇයව එකතු කරගත්තා.

 

"එක්තරා ආදර කතාවක්" කියන්නේ මොකක්ද?

ඒක මගේ දෙවෙනි කෙටි චිත්‍රපටය. සමාජයේ අපි ගොඩක් එක එක විදිහේ ආදර කතා දකිනවා. ආදරය කියන එකට අපිට කවදාවත් නිර්වචන දෙන්න බැහැ. මනුස්සයාගෙන් මනුස්සයට ආදරෙයි කියන එක වෙනස් වෙනවා. දෙන්නෙක් එකට එකතුවෙලා ආදරය භුක්ති විදින විදිහත් වෙනස්. මේ චිත්‍රපටයට එක්තරා ආදර කතාවක් කියලා නම දැම්මේ ඒ නිසා. මේ විදිහටත් ආදරය දකින අය ඉන්නවා කියන එක පෙන්වන්න ඕනේ නිසා. කුටුම්භගත ජීවිතයේ මිනිස්සු මූණදෙන එක් පැත්තක් අපි මේ චිත්‍රපටයෙන් කතා කළා. අපිට මේකෙන් කියන්න ඕනේ වුණේ ආදරයට ගොඩක් නිර්වචන තිබුණට සමහර නිර්වචන වැරදියි. අපි ආදරයේ එක පැත්තක් මේ චිත්‍රපටයෙන් සමාජයට පෙන්වනවා නමුත් ඒක හැමෝටම සමාන නොවෙන්න පුළුවන්.

 

මේ කෙටි චිත්‍රපටයට ඔබ තෝරගත්තේ වෙනස් විදිහක වස්තු විෂයක්?

කෙටි චිත්‍රපටයක ලොකු දේවල් කතා කරන්න අමාරුයි. ඒ නිසා ලොකු දෙයක් ගොඩක් සංක්ෂිප්ත කරල අපිට කියන්න ඕන වුණා. එකම ආකාරයේ නිර්මාණ ගොඩක් අපි දකිනවා. ඉතින් මට වෙනස් වැඩක් කරන්න ඕනේ වුණා. මගේ චිත්‍රපටවල ගොඩක් පෙන්වන්නේ කුටුම්භගත ජීවිතය ගැන. "එක්තරා ආදර කතාවක්" කෙටි චිත්‍රපටයට කලින් මම කෙටි චිත්‍රපටයක් කළා "තේකහට" කියලා. ඒකට වඩා මේ චිත්‍රපටියේ තාත්වික බව වැඩියි. මේ කෙටි චිත්‍රපටයෙන් අපි කතා කරන්නේ විවාහ ජීවිතයේ වෙන ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, වඳභාවය වගේ ප්‍රශ්න ගැන විවාහ ජීවිතයේ වෙන ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ලංකාවේ නීතියේ අදටත් දඩුවම් නැහැ. මේ වගේ වෙනස් දෙයක් කතා කරන්න හිතුණේ ප්‍රේක්ෂකාගාරයට තමන්ගේ ජීවිතය ගැන යමක් හිතන්න පොළොඹවන්න. ඒ අත්දැකීම කොයි තරම් දරුණු වුණත් මේ වගේ සිදුවීම් මේ සමාජයේ සිදුවෙනවා කියන එක ප්‍රේක්ෂකයා අතරට යවන්නයි මේ වගේ නිර්මාණයක් කළේ.

 

මේ නිර්මාණයට දායක වුණු පිරිස ගැන මතක් කරමු?

 

"තේකහට" කෙටි චිත්‍රපටයෙන් මට හමු වෙනවා දීප්ති ජයසිංහ කියලා කෙනෙක්ව. "එක්තරා ආදර කතාවක්" මුලින්ම කතාව තිර පිටපත ලිව්වේ දීප්ති. ඒ තිරපිටපත පසුව විවිධ ලෙස සංස්කරණය කළා. එතැනින් තමයි මේ චිත්‍රපටය කරන්න අපි පටන් ගත්තේ. මට ලොකුවට චිත්‍රපටි කරන්න ධෛර්යයක් තිබුණේ නැහැ.මේ වැඩේ හරියට කරන්න පුළුවන්ද කියන එක ගැන මට පොඩි සැකයක් තිබුණා. දීප්ති නිසා මට ලොකු පෙලඹවීමක් ඇති වුණා චිත්‍රපටි කරන්න. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් දීප්තියි මමයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මම. සහාය අධ්‍යක්ෂණය දියනාත් මාරසිංහ. කැමරාකරණය සහ සංස්කරණය කළේ සතිෂ් රත්නරාජා. කලා අධ්‍යක්ෂණය කළෙත් මම. වේශ නිරූපණය ඔපියුලා ෆොන්සේකා. ඇඳුම් නිර්මාණය ප්‍රිමෙයා ශෙහෙඩ්ඩීන්. ශිවන්ත ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂණය කළා. අෂාන් ඩයස්, ක්‍රිස්ටිනා බ්‍රිටෝ, හෂේන් රත්නායක රංගනයෙන් දායක වුණා.

 

රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කළොත්?

ලොකු සහයෝගයක් ලැබුණා. පිටපත ලියලා ඒ ගැන රංගන ශිල්පීන්ව අපි හමුවෙලා කතා කළා. ඒ චරිත ගැන දෙබස් හුවමාරුව ගැන අපි හැමදේම කතා කළා. මම මේ ක්ෂේත්‍රයට අලුත්. ඒත් අශාන් සහ ක්‍රිස්ටිනා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න පළපුරුදු රංගන ශිල්පීන්. එහෙත් ඔවුන් කවදාවත් මගේ දිහා නවකයෙක් විදිහට බැලුවෙ නැහැ. ඒ අය මට සැලකුවේ අධ්‍යක්ෂවරයෙක් විදිහට. "ඔයාට මේකෙන් දෙන්න ඕන පණිවිඩය මොකක්ද" කියලා අශාන් සහ ක්‍රිස්ටිනා හැමවෙලේම මගෙන් ඇහුවා. ඒ අය ලොකු අවබෝධයකින් අපි එක්ක වැඩ කළා. ඒ ගැන ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

 

එක්තරා ආදර කතාවකට ලැබුණු සම්මාන ගැන කිව්වොත්?

"Agenda 14" සිනමා සම්මාන උලෙළේදී හොඳම කෙටි චිත්‍රපටය, හොඳම තිරපිටපත, හොඳම සංස්කරණය, හොඳම නළුවා, හොඳම නිළිය යන සම්මාන ලැබුණා. මට මේ වගේ චිත්‍රපටයක් හදන්න ලැබුණු එකත් සම්මානයක්.

 

තරුණ නිර්මාණකරුවන් කෙටි චිත්‍රපටි නිර්මාණකරණයේ ප්‍රවණතාවයක් දැන් ඇතිවෙලා තියෙනවා නේද?

අනිවාර්යනේම ඒ වගේම හොඳ ප්‍රවණතාවයක් දැන් තියෙනවා. මමත් එක්තරා ආදර කතාවක් සහ තේකහට යන කෙටි චිත්‍රපට හැදුවේ අත්හදා බැලීමක් විදිහට. මේ චිත්‍රපටි දෙකම ගැහැනිය වස්තු විෂය කරගෙන හැදුවේ නමුත් මම ඊළඟට හැදෙන චිත්‍රපට ගැහැනිය මුල්කරගෙන හැදෙනවා කියලා නියමයක් නැහැ. මින්පසුව වෙනත් වස්තු විෂයයන්වලට මම යන්න පුළුවන්. ඒ වගේම ගොඩක් තරුණ චිත්‍රපට නිර්මාණකරුවන් කෙටි චිත්‍රපටි හදන්නේ අත්දැකීමක් ගන්න. හැමෝම ඒ වැඩේ හරියට කරනවා. එකකින් එකකට වෙනස් විදිහට විවිධ අත්හදා බැලීම් ඒ නිර්මාණකරුවන් කරනවා. කෙටි චිත්‍රපටි කියන්නේ තරුණ නිර්මාණකරුවන්ට අත්දැකීම් ගන්න හොඳ මාධ්‍යයක්. ඔවුන් නිසා ලංකාවේ සිනමාව ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

 

ඒත් කෙටි චිත්‍රපටි වටා ප්‍රේක්ෂකාගාරය හැදෙන්නේ අඩුවෙන්?

ඒක ඇත්ත. කෙටි චිත්‍රපටි කියන්නේ එක්තරා පරම්පරාවකට සීමා වුණු දෙයක් වෙලා ලංකාවේ. මොකද වැඩිහිටි පරම්පරාව අන්තර්ජාලය භාවිතා කරන්නේ අඩුවෙන්. හැමෝටම යූටියුබ් බලන්නේ නැහැ. ඒ පහසුකම් අවමයි. ඒ නිසා විද්‍යුත් මාධ්‍ය තුළින් කෙටි චිත්‍රපටයේ තවත් ඉදිරියට ආවා නම් හොදයි කියලා මට හිතෙනවා. තරුණ පරපුර විතරක් නෙමෙයි හැමෝම දැන් හදන කෙටි චිත්‍රපටි බලන්න ඕනේ කියල මම හිතනවා. තරුණයන්ට වඩා වැඩිහිටි පරම්පරාවට තමයි මේ නිර්මාණවලින් පණිවිඩයක් දෙන්නේ. ඒ නිසා ඔවුන් මේවා අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි.

 

ස්තූති කරන්න පිරිසක් ඇති ඔබට?

මගේ කණ්ඩායමට මම ස්තුති කරන්න ඕනේ. මොකද කණ්ඩායමක් නැතුව අධ්‍යක්ෂවරයෙක් කවදාවත් සාර්ථක වෙන්නෙ නැහැ. ඒ වගේම දීප්ති ජයසිංහ, සතිෂ් රත්නරාජා, දියනාත් මාරසිංහ, අෂාන් ඩයස්, ක්‍රිස්‍ටිනා බ්‍රිටෝ යන අයට මම විශේෂයෙන් ස්තූති කරනවා ලබාදීපු සහයෝගයට. ඒ වගේම තරූෂ කුමාරසිංහට ස්තූතියි කරනවා මම. මගේ අම්මා, තාත්තා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මගේ පළවෙනි චිත්‍රපටයේ (තේකහට) වියදම දැරුවේ තාත්තා. මගේ තාත්තා කවදාවත් මෙසේ විය යුතුයි කියලා නැහැ. එයා බොහොම නිශ්ශබ්ද මඟපෙන්වීමක් කළේ. තාත්තාත් ඉස්සර චිත්‍රපට කරලා තියෙනවා. මම පොඩි කාලේ ඉඳලා තාත්තා දිහා බලාගෙන හැදුණේ. අම්මා ගැන කතා කළොත් අම්මාට මම මොන දේ කළත් හරි. එයා මගේ සාර්ථකත්වය දිහා බලාගෙන හැමදාම සතුටු වෙනවා.