ගුවන් හමුදා නිලධාරියකු තිරයට ගෙන එන හිතුමතේ ජීවිතේ

ජනවාරි 7, 2021

සත්‍ය කතා ඇසුරෙන් සිනමාපට නිර්මාණය වීම ඉතිහාසයේ සිට සිදු වෙන දෙයකි. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් තිබේ. සත්‍ය කතා පාදක කර ගනිමින් තැනෙන සිනමාපට නැරඹීමටද ඇතැම් ප්‍රේක්ෂකයෝ ද වැඩි උනන්දුවක් දක්වති. තවත් නොබෝ දිනකින් ඒ කුලකයේ සිනමාපටයක් තිරයට පැමිණීමට නියමිතය. හිතුමතේ ජීවිතේ යනුවෙන් ඒ සිනමාපටයට නම තබා තිබේ. හිතුමතේ ජීවිතේ යන වචන ද්විත්වය කන වැකුණු සැණින් ඔබට නියතව යම් සිදුවීමක් සහ ඊට සබැඳී පුද්ගලයෙකු මතක් වනු ඇත. මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් එම සිදුවීම අළලා උදේනි සමන් කුමාර හිතුමතේ ජීවිතේ නමින් ග්‍රන්ථයක් රචනා කරන ලදී. හිතුමතේ ජීවිතේ චිත්‍රපටයේ තිරනාටකය සකස් වන්නේ එකී ග්‍රන්ථයේ කතාව අනුවය. එම සිනමාපටය සමගින් තවත් සිනමා අධ්‍යක්ෂවරයෙක් සිනමා ක්ෂේත්‍රයට එක් වෙයි. ඔවුහු නමින් ක්‍රිශාන්ත මනම්පේරිය. කලක් ටෙලිනාට්‍ය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ හෙතෙම වෘත්තියෙන් ගුවන් හමුදා නිලධාරියකු වේ.

 

ක්‍රිෂාන්ත, හිතුමතේ ජීවිතේ වගේ චිත්‍රපටයක් ඔබ කරන්න පෙලඹෙන්නෙ ඇයි?

මගේ ඉතිහාසය ගත්තොත් කලාවට සම්බන්ධ වෙලා මං අවුරුදු විසිපහකට වැඩියි. මේ කාලය අතරතුර දී මම ටෙලි නාට්‍යය අටක් විතර අධ්‍යක්ෂණය කළා. අභාග්‍යයකට මගේ රැකියාවත් එක්ක ඉන් ඇතැම් ටෙලි නාට්‍යවලට මගේ නම දාගන්න මට බැරි වුණා. ඉන්න අයගේ නම්වලින් තමයි විකාශය වුණේ. ඒවායින් සමහර නාට්‍ය සම්මාන වලට පවා පාත්‍ර වුණා. ඔහොම කාලයක් කටයුතු කරද්දී මට හිතුණා සිනමාවට ආවොත් හොඳයි කියන කාරණය. සිනමා පටයක් කරන්න නම් හොඳ තිර රචනයක් තියෙන්නට ඕනේ. ඔය අතරතුර දී මට කියවන්න ලැබෙනවා උදේනි සමන් කුමාර ලියපු හිතුමතේ ජීවිතේ නව කතාව. එතකොට මම ඒ කතාව පුවත්පත් පුවත්පත්වලින් කියවලා තිබුණා. ජාතික පුවත්පත් කිහිපයකම සෑහෙන කාලයක් ඒ කතාව කොටස් වශයෙන් පළ වුණා. ඉතින් මම ඒ කතාව ආශ්‍රය කර ගනිමින් තිර නාටකයේ සකස් කළා. වසරක් පමණ එයට කාලය ගත වුණා. එය සම්පූර්ණ කර ගන්න ප්‍රියංකර රත්නායක, අපේ සීනියර් කලාකරුවා බොහොම උදව් කළා. තිරනාටකය සකස් කරල ඉවර උනාට පස්සේ මං කල්පනා කළා මේක නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. මම සිනමාවට අලුත් කෙනෙක්. එහෙම කෙනෙකුට නිෂ්පාදකවරයෙකු හොයා ගන්න හරිම අමාරුයි. එහෙම කියලා චිත්‍රපටය නොකර ඉන්නත් බැහැනේ. අන්තිමේ මම තීරණය කරා අපේ පවුලේ මුදල් වලින් මේ චිත්‍රපටය කරන්න. ඔහොම තමයි හිතුමතේ ජීවිතේ චිත්‍රපටය පටන් ගත්තේ.

 

මේ කතාව හා සබැඳී කිහිපදෙනෙකු තවම ජීවතුන් අතර ඉන්නවා. ඔවුන්ගෙන් හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ යම් බලපෑමක් ආවේ නැද්ද මේ චිත්‍රපටය කරගෙන යද්දි?

මම ගුවන් හමුදා නිලධාරියෙක් හින්දමද මං දන්නෑ ඒ වගේ බලපෑමක් ආවේ නැහැ. නමුත් මට ඇතැම් අවස්ථාවලදී අවස්ථාවල දී පොලිසියෙන් කතා කරලා තියෙනවා ඔවුන්ගේ ඥාතීන් කතා කරලා මම කරන මේ චිත්‍රපටය ගැන විස්තර ඇහුවායි කියලා. නමුත් ඔවුන් බලපෑම් කරන තරමට කතා කරේ නැතිලු.

චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගත්තේ ඔබද?

ඇත්තටම නළුනිළිවරණයට මට බොහෝ උදව් කරා සනත් ගුණතිලක මහත්මයා. ඒ වගේම ප්‍රියංකර රත්නායකත් ඒ සඳහා දායකත්වය ලබා දුන්නා. ඔවුන්ගේ අනුදැනුම යටතේ තමයි නළු නිළියෝ මම තෝරා ගත්තේ.

 

චිත්‍රපටයේ දර්ශනතල සඳහා යොදා ගත්තේ කොහෙද?

මේක හැත්තෑවේ දශකයේ කතාවක් හින්දා අපිට සෙට් අලුතෙන්ම හදන්න වුණා. ඒ නිසා කොළඹ නගරයේ සියලු දර්ශනතල අපි අලුතෙන් හැදුවා. කොළඹ කොටුව වගේ ප්‍රදේශවලට අමතරව කුලියාපිටිය ගිරිවුල්ල වැනි ප්‍රදේශවලත් අපි රූපගත කිරීම් කළා.

 

හිතුමතේ ජීවිතේ චිත්‍රපටය රූපගත කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකීම් එහෙම තියෙනවද?

හිතුමතේ ජීවිතයේ කියන චරිතය ගැන ඔබ අසා ඇති. අපි චිත්‍රපටය රූපගත කරන්නට පෙර ඔහු හෙවුවා. නමුත් අපිට ඔහු මුණ ගැසෙන්න හැකියාව ලැබුණේ නැහැ. චිත්‍රපටයේ රූපගත කිරීම් කරද්දී ආරංචි වෙනවා ඔහු අපේ ලොකේෂන් එකටම ඇවිත් කියලා. අන්තිමේ අපේ චිත්‍රපටය තනද්දී තමයි ඔහු මුණ ගැසුණේ. ඇත්තටම ඒක තමයි මේ චිත්‍රපටය රූපගත කිරීමේ දී මතක තියෙන අමතකම නොවන සිදුවීම.

 

චිත්‍රපටයේ රූපගත කරලා කොපමණ කල්ද?

දැනට වසර දෙකකට ආසන්නයි. චිත්‍රපටය අදින් වසර කට කලින් තමයි ප්‍රදර්ශනය කරන්නට තිබුණේ. නමුත් කොවිඩ් ප්‍රශ්නය නිසා සෑහෙන කාලයක් කල් ගියා. මම හිතනවා මේ වසරේ මාර්තු වගේ වෙද්දී චිත්‍රපටය නරඹන්නට පුළුවන් වෙයි කියලා ප්‍රේක්ෂකයින්ට.

 

මෙහෙම චිත්‍රපටයේ චිත්‍රපටය ප්‍රදර්ශනය කල් යාම නිර්මාණකරුවෙකු විදිහට ඔබට මොනවගේ බලපෑමක් ද කළේ?

ඇත්තටම ඒක ලොකු පාඩුවක් වුණා. මොකද මම ප්ලෑන් කළේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණාට පසුව තමයි ඊළඟ චිත්‍රපටය කරන්න. නමුත් එන්න එන්න ප්‍රදර්ශනය කල් යද්දි මගේ නිර්මාණ ජීවිතය තමයි පසුබෑමට ලක් වෙන්නේ. මේ මාර්තු වන චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

 

හිතුමතේ ජීවිතයේ නළු නිළි පිරිවර ගැන මතක් කළොත්?

මහේන්ද්‍ර පෙරේරා, රොජර් සෙනවිරත්න, පාලිත සිල්වා, ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, ප්‍රියංකර රත්නායක, කුමාර තිරිමාදුර, ජගත් චමිල, දිනෙත් ද සිල්වා, දමිතා අබේරත්න, අනුරුද්ධිකා පාදුක්කගේ, මරියාන් වෙත්තසිංහ, ඉශාන් ගම්මුදලි, සරත් චන්ද්‍රසිරි අනිල් ජයසිංහ,වගේ නළු නිළියො පිරිසක් තමයි මෙහි රඟපාන්නේ.

 

නිෂ්පාදන කණ්ඩායම?

නිෂ්පාදනය විහාරා සමරසිංහ, කැමරා අධ්‍යක්ෂණය නිශාන්ත ප්‍රදීප්, සංස්කරණය රුක්මල් නිරෝෂ්, මේකප් ප්‍රියන්ත ඊශ්ව, කලා අධ්‍යක්ෂණය රංජිත් සිල්වා, සහය අධ්‍යක්ෂණය චමින්ද හේවාවසම්, ජනක අබේසේකර සහ පබසරා සමරවික්‍රම, නිෂ්පාදන කළමනාකරණය විරාජ් වර්ණකුලසූරිය, සංගීතය ගයත්‍රි කේමදාස සාගර විජේසිංහ, 5.1 ශබ්ද සැලසුම ඩිලාන් ගුණවර්ධන, විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග විනෝයි ජයසිංහ, පොලේ ශබ්ද මිශ්‍රණය දිනේෂ් ඒකනායක, හඬකැවීම් අධ්‍යක්ෂණය බනුර මලික් හෙට්ටිආරච්චි, විශේෂයෙන් මට හැමපැත්තෙන්ම උදව් කළා සනත් ගුණතිලක ප්‍රියංකර රත්නායක, දිනිඳු ජාගොඩ, සරත් ධර්මසිරි, ශාන්ත සොයිසා ඇතුළු පිරිස.